2005 සිට මේ දක්වා...

2005 සිට මේ දක්වා...

ලොව සාර්ථක ම රාජ්‍ය තන්ත්‍රය පවතින්නේ කොහේ ද? අතීතයේ නම් ; ඊට ලැබෙන පිළිතුර ගී‍්‍රසිය වන්නට පුළුවන රෝමය හෝ මහා භාරතය වන්නට පුළුවන. නැතහොත් මිසරය හෝ පර්සියාව වන්නට පුළුවන. අදනම්; ඊට ලැබෙන එකම පිළිතුර අමෙරිකා එක්සත් ජනපදය යන්න ය. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෝකයේ බලවත් ම පුද්ගලයා ලෙස සැලකේ.

ඔහු බලවත් විය හැකි ය. එහෙත් ඔහු අසාර්ථක ය. ‘ඔව් අපට පුළුවන්!’ යන සටන් පාඨය ඔස්සේ ඡන්ද සටන ජයගත් බැරක් හුසේන් ඔබාමා අමෙරිකාවේ ජනාධිපති පදවිය දිනා ගත්තේ ය. වසරක් ගෙවී යෑමට මත්තෙන් ඔහුට එරෙහිව ජනතාව වීදි බට හ. එරට ආර්ථිකය ශීඝ්‍රයෙන් පල්ලම් බහින්නට පටන්ගෙන තිබේ.

ඉහත ප්‍රශ්නය නැවත විමසුවහොත්; අප ළඟ පිළිතුරක් තිබේ. ලොව සාර්ථකම රාජ්‍ය තන්ත්‍රය ශ්‍රී ලංකාවේ පවතින බව අපගේ විශ්වාසය යි. එය දේශපාලන තර්ක කිහිපයකින් සනාථ කළ හැකි ය. ඇමෙරිකන් ජනාධිපතිවරයාට ත්‍රස්තවාදය පරාජය කරන්නට නොහැකි විය. ඔහුට සිය රට ආර්ථික අවපාතයෙන් ගොඩගන්නට බැරි විය.

ශ්‍රී ලංකාව තිස් වසරක ශාපයෙන් නිදහස් විය. අද මේ රටේ ජනතාවට බියෙන් - සැකයෙන් තොරව ජීවත් විය හැකි ය. අනාගත පරපුරට ද නිදහස උරුමකර දී තිබේ. එය ලොව ඇති හොඳම ජයග්‍රහණය ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි මියන්මාර රාජ්‍ය නායකයා ශශ්‍රී ලංකාවේ නිදහසත් ආර්ථික වැඩපිළිවෙළත් දැක මවිතය පළ කළේ ය.

ශශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගෙන බැලුවහොත් ස්වර්ණමය යුගයන් ගණනාවක් දක්නට ලැබේ. පණ්ඩුකාභය යුගය, දුටුගැමුණු යුගය, විජයබාහු යුගය, වළගම්බා යුගය, මහා පැරකුම්බා යුගය ඉන් කිහිපයෙකි. මෑත කාලය ගෙන බැලුවහොත් ඩී.එස්.සේනානායක යුගය, ජයවර්ධන යුගය, බණ්ඩාරනායක යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය ලෙස යුග කිහිපයක් ඉතිහාසයට එක් ව තිබේ.

අද අප පසුවන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ ය. එය ආරම්භ වන්නේ 2005 නොවැම්බරයේ අද වැනි දිනක දී ය. මේ යුගය විශේෂයෙන් ඉතිහාස පොතට එකතු වනු ඇත. ඊට හේතුව වන්නේ ඓතිහාසික කාර්යභාරයන් රැසක් එදා සිට මේ දක්වා කාලය තුළ ඉටුවී තිබීම ය.

2005ට පෙර මෙරට ජනතාව පසු වූයේ කාලකන්නි නිස්සාර යුගයක ය. එදා බෙදාගත් බත්පත නිදහසේ ගිල දමන්නට බැරි විය. උදෑසන කාර්යාලයට එන මිනිසා හැන්දෑවේ ගෙදර ඒ දැ’යි සැකයක් පවුලේ සාමාජිකයන් තුළ තිබිණි. සමහරු තම මව්බිම අතැ’ර පිටරට ගියෝ ය. ඔව්හු තම දරුවන් ගේ අනාගතය ගැන සුසුම් ලෑහ.

මේ පසුබිම තුළ රටට හා ජාතියට ආදරයක් නැති දහස් ගණන් මිනිසුන්ගෙන් සමන්විත සමාජයක් බිහි විය. එකිනෙකා ගහමරා ගන්නට පටන් ගත් හ. අවිනිශ්චිතභාවය,බිය , සැකය, සන්තාපය මුළු මහත් සමාජය වෙලාගෙන පැතිර ගියේ ය. අපට හැඟෙන පරිදි උක්ත සමාජ ක්‍රමය වෙනස් කිරීම 2005න් පසු සිදු වූ වැදගත් ම පරිවර්තනය යි.

ශ්‍රී ලංකාවේ නූතන සමාජය සුබවාදී චින්තන පෙරැළියකට මුල පුරා තිබේ. එහි රට ගැන අභිමානවත් ලෙස කල්පනා කරන මිනිස්සු හා ගැහැනු සිටිති. තම ජාතිය ගැන ආඩම්බරයෙන් සිතන මිනිස්සු හා ගැහැනු සිටිති. රටක් අභිවෘද්ධිය කරා ගමන් කිරීමේ පළමු පියවර ඒ යැයි සලකනු ලැබේ. දරුණු විනාශයකින් පසු ජපානය නැඟී සිටියේ රට ගැන සිතන සමාජයක් ඇති කිරීමෙන් ය.

සභාපති මාඕ සේතුංගෙන් පසු චීනය නැඟී සිටියේ ද වියට්නාමය නැඟී සිටියේ ද දේශමාමක උපාය මාර්ගය භාවිත කිරීමෙන් ය. දැන් ඒ අත්දැකීම ශ්‍රී ලංකාවට තිබේ. අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් නිදහස ලබා වසර හැට ගණනකට පසු ශ්‍රී ලාංකේය සමාජය නිය ම පීල්ලට වැටී තිබේ.

ඕනෑම සමාජයක් ඉදිරිගාමී වන්නේ ඒ සමාජයට ලැබෙන නායකත්වය අනුව ය. දැන් අපගේ නායකයා මහින්ද රාජපක්ෂ ය. 2005 නොවැම්බරයේ ඔහු බලයට පත්වන්නේ රට ගොඩනැඟීම පිළිබඳ බලවත් අධිෂ්ඨානයක් ඇතිව ය. එම අධිෂ්ඨානයෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීම ය.

මේ ගැටලුවේ දී ශශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා අසල්වැසි බලවතා වූ ඉන්දියාව කළමනාකරණය කරගත්තේ කෙසේ ද යනු වටහා ගතහොත් ඔහුගේ නායකත්වයෙහි සාර්ථක බව පෙනී යනු ඇත. එය ලෝකයට ඉතා වටිනා දේශපාලන පාඩමක් ලෙස පවතිනු ඇත. එවැනි රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවක් ජේ.ආර්.ජයවර්ධනට තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහට ඇත්තේ ද නැත.

මහින්ද රාජපක්ෂ යනු සරල දේශපාලන චරිතයක් නොවේ. ඔහු ගේ ශරීරය තුළ දුවන ගැඹුරු දේශපාලන දර්ශනයක් පවතී. ඔහු ඉරානයට ඉතා සමීප ය. එහෙත් ඇමෙරිකාව සමඟ තරහ නැත. ඔහු ඉන්දියාවට ඉතා සමීප ය. එලෙස ම පාකිස්තානය සමඟ ද මිතුරු ය.

අරුණාචල් ප්‍රදේශය අසල ඉන්දියන් හමුදාව හා චීන හමුදා අතර උණුසුම් තත්ත්වයක් මතු වුව චීනයෙන් මෙන් ම ඉන්දියාවෙන් ද එකවර උදවු ගන්නට මහින්ද රාජපක්ෂ මහතා සමත් ය. ඒ ඔහු ගේ සූක්ෂ්ම දේශපාලනයේ හැටි ය. මෙබඳු රාජ්‍ය නායකයකු ශශ්‍රී ලංකාවේ පහළවී නැත. ඔහු සතු දේශපාලන කෘතහස්තභාවය තේරුම් ගැනීමට නම් ; ලෝක දේශපාලනය පිළිබඳ මනා වැටහීමක් තිබිය යුතු ය.

2005 සිට ගෙවී ගිය සිව්වසර නිදහසින් පසු මෙතෙක් හමු වූ හොඳම වසර හතර ලෙස සැලකීම අතිශයෝක්තියක් නොවේ. ඒ පිළිබඳ සුබ පැතුම් හා විග්‍රහ ගලා එනු දක්නට ලැබේ. ඇතැම් විට විවේචන ද අසන්නට ලැබේ.

එහෙත් ලැබූ ජයග්‍රහණ යථාර්ථයක් ලෙස අප හමුවේ පවතී. ශ්‍රී ලාංකේය සමාජය වඩාත් හොඳ හෙට දවසක් කරා මෙහෙයැවීම මහින්ද රාජපක්ෂ මහතාගේ ඉලක්කයවී තිබේ. ඒ සඳහා කළ යුතු වැඩ කොටසක් ඉතිරිව තිබේ. එම වැඩ කොටස ඉටු කිරීම සඳහා නායකයාට අවස්ථාව ලබාදීම කෘතගුණ දත් ජාතියක යුතුකම යි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා