රට යළි භීෂණයට බිලි දීමට කවදාවත් ඉඩ දෙන්න බැහැ

රට යළි භීෂණයට බිලි දීමට කවදාවත් ඉඩ දෙන්න බැහැ

ගලබොඩ ඤණිස්සර හිමියෝ හෝමාගමදී කියති

වසර 30ක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන් රට විනාශ කළා. ඔවුන් විනාශ කිරීමට ජනාධිපති ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට හැකි වුණා. සමහරුන්ට මේක අමතකයි. කොහොමටත් යළි භීෂණ යුගයක් ඇති කිරීමට ඉඩ දෙන්න බැහැ.

කොළඹ ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේෂ්වර විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරි ගලබොඩ ඤාණිස්සර හිමියන් එසේ පැවසුවේ හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථ විද්‍යාවර්ධන පිරිවෙනේ පැවැත්වූ කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යාපනික හා සංස්කෘතික ( යතිවර ප්‍රතිභා) ප්‍රදර්ශනයේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදාන උළෙලේදීය.

ගලබොඩ ඤාණිස්සර හිමියන් අනුශාසනාවක් කළ අයුරු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර සහ මාධ්‍යවේදී ප්‍රේමසර ඈපාසිංහ මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය - හෝමාගම සංචාරක

ගලබොඩ ඤාණිස්සර හිමියෝ මෙසේද පැවසූහ.

මෙරට පිරිවෙන් හත්සිය දොළහක් පමණ තිබෙනවා. එක් පිරිවෙනකට දිනකට රජයෙන් ලබා දෙන මුදල රුපියල් පහකටත් වඩා අඩුයි. ස්වාමින් වහන්සේලාට අපහසුකම් රැසක් මධ්‍යයෙයි, පිරිවෙන් පවත්වාගෙන යාමට සිදු වී තිබෙන්නේ.

පිරිවෙන් වැඩි දියුණු කිරීමට විධිමත් සැලසුමක් සැකැසීමට අවශ්‍ය වෙනවා. දීර්ඝ කාලයක් මෙරට පැවැති ප්‍රධාන ප්‍රශ්නය අවසන් කිරීමට හැකි වී තිබෙනවා.

මේ ප්‍රශ්නය පැවැති කාලයේදී බොහෝ අය ප්‍රභාකරන්ට ප්‍රභාකරන් කියා සෘජුව කතා කිරීමට බය වුණා. ඇතැම් අය කතා කෙළේ හොඳ යහළුවකුට කථා කරන ආකාරයටයි.

මේවා අමතක කිරීම නොකළ යුතුයි. අද සෑම දෙනාටම නිදහසක් ලැබී තිබෙනවා. මොන ගැටලු ප්‍රශ්න ඇතත් මෙය අගය කළ යුතුයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ මෙසේ පැවසූහ.

පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂුන්වහන්සේලා නිසි මාර්ගයට යොමු කිරීමෙන් පමණයි අනාගතයේදී බුද්ධශාසනය රැක ගැනීමට හැකි වන්නේ.

මේ සඳහා සෑම දෙනාගේම සහයෝගය සහ කැපවීම අවශ්‍ය වෙනවා.

ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, වටිනාපහ සෝමානන්ද නාහිමියෝද ආචාර්ය පාතල්වේ පඤ්ඤාරාම මාදෝවිට වජිර බුද්ධි හිමිවරුද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඒ. ජේ. කරුණාරත්න මහත්වරුද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා