මහේල ජයවර්ධගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

මහේල ජයවර්ධගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකාව කඩුලු 5ට ලකුණු 591 යි ලකුණු 165කින් පෙරමුණේ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන වාර්තාගත ද්විත්ව ශතකයක් ලබා ගනිමින් ඉන්දියාවට එරෙහිව අහමදාබාද්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඊයේ තෙවැනි දින තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 5කට 591ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියේය.

මේ අනුව ශ්‍රී‍්‍ර ලංකාව මේ තරගයේ ඉන්දියාවට වඩා ලකුණු 165 කින් තවත් කඩුලු 5ක් ද අතැතිව පෙරමුණට පිවිස සිටියේය.

ජයවර්ධන නොදැවී ලකුණු 204ක් වාර්තා කොට සිටි අතර පන්දු 339ක ඔහුගේ නොදැවුනු ඉනිමට හතරේ පහර 17ක් හා හයේ පහරක්ද ඇතුළත්ව තිබිණි.

මේ ද්විත්ව ශතකයත් සමඟ ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණය වන ද්විත්ව ශතක හයක් වාර්තා කොට ඇති කුමාර් සංගක්කාර හා මාවන් අතපත්තු සමඟ සම තත්ත්වයට පිවිසියේය.

ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී පළමු ඉනිමේ පෙරමුණට පිවිසි දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉන්දියාවේදී මුළු ලකුණු 450ක් පසුකළ ප්‍රථම අවස්ථාවද මෙය වේ. ඉන්දියානු පොළොවේ සිය ප්‍රථම ශතකය ලබා ගැනීමෙන් නොනැවතුණු මහේල ජයවර්ධන ඊයේ සිය හයවැනි ද්විත්ව ශතකය ලබා ගත්තේ ඔහුගේ දොළොස් වැනි ලකුණු 150ද අබිබවා යමිනි.

ඔහුට මනා සහායක් ලබාදුන් ප්‍රසන්න ජයවර්ධන ඊයේ තරගය නතර කරන විට නොදැවී ලකුණු 84ක් රැස්කර ගෙන සිටියේය. පන්දු 186කට මුහුණදී සිටි ප්‍රසන්න හතරේ පහර 4ක් ද ඔහුගේ නොදැවුනු ඉනිමට ඇතුළත් කර ගෙන සිටියේය. මහේල හා ප්‍රසන්න යන ජයවර්ධන යුගලය හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 216ක නොබිඳි සබඳතාවයක්ද ගොඩ නගා ගෙන සිටියහ.

කඩුලු 3 කට ලකුණු 275 සිට ඊයේ ශ්‍රී ලංකා ඉනිම ඇරැඹූ හිටපු නායක මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක් එක් කළහ.

සමරවීර ලකුණු 70කට දැවී ගියේය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් එක් කිරීමට ජයවර්ධනට සහාය වෙමින් සිටියදී දිවා ආහාරයට පෙර අවසන් ඕවරයේදී මතභේදාත්මක තීරණයකින් මැතිව්ස්ට ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවිය. ලකුණු 17ක් ලබා ගෙන සිටි මැතිව්ස් ‘ෆෝවඩ් ෂෝට් ලෙග්’ හි ගම්භීර් විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය බවට ඔස්ට්‍රේලියානු තරග විනිසුරු ඩැරල් හාපර් තීරණය කළද හර්බජන් සිංගේ පන්දුව ඉපිල ගියේ පිතිකරුගේ පා ආවරණයේ වැදී බව රූපවාහිනී පුනරූපනවලින් පැහැදිලිව දිස්විය.

ඊට කලින් ජයවර්ධන හා සමරවීර, 81 වැනි ඕවරයේදී ඉන්දියා නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් දෙවැනි නව පන්දුව ලබා ගැනීමට පෙර ඕවර 10 ක් දඟ පන්දු යවන්නන්ට කල්පනාකාරීව මුහුණ දුන්හ. මුළු ලකුණු 306 දී නව පන්දුව ලබා ගැනිණි. ජයවර්ධන හා සමරවීර තවත් ලකුණු 26ක් එම මුළු ලකුණු ප්‍රමාණයට එක් කරමින් සිටියදී ඉෂාන්ට් ෂර්මා එම සබඳතාවය බිඳ දැමීය. සමරවීර ‘ස්කුවෙයාර් ලෙග්’ කලාපයට දුන් උඩ පන්දුව යුවරාජ් සිං විසින් දක්ෂ අයුරින් රැක ගනු ලැබීය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 කට ලකුණු 375ක් ලබා ගෙන සිටි ශ්‍රී ලංකාව දිවා ආහාරයෙන් පසුව තේ පානය දක්වා වූ තරග වාරයේ එකම කඩුල්ලක් හෝ අහිමි කර නොගැනීමට සමත් විය. තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 5 කට ලකුණු 483ක් රැස්කර ගෙන සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා