ජෙනරාල්ගේ දේශපාලනය

ජෙනරාල්ගේ දේශපාලනය

ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදා දිවියෙන් සමුගත්තා. මේ සමුගැනීම සිදු වුණේ එතුමාගේ ම ඉල්ලීමට. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ තවදුරටත් රාජකාරී ආවරණය කිරීමට ඔහුට කිසිදු බාධකයක් තිබුණේ නැහැ. ඊට අවශ්‍ය සුවිශේෂී ආරක්ෂක විධිවිධාන හා වරප්‍රසාද නො අඩුව ලැබුණා. ඒත් එතුමා සමුගත්තා. ඒ ගැන පැතිර ගිය කට කතාව වුණේ ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බාර නොගනී කියලයි. ඒවා නිකම්ම නිකන් කතාන්දර විතරයි. එහෙම වුණේ නැහැ. ඒ ගැන සැල වූ වහාම ජනාධිපතිවරයා කීවේ ඉල්ලා අස්වීමක් එව්වොත් වහාම බාරගන්නා බවයි. කවදත් මහින්ද රාජපක්ෂ කියන්නේ තමන්ට තරගයක් දෙන්න සූදානම් වන කෙනෙක් බාධක දාලා නවත්වන ජාතියේ පුද්ගලයෙක් නොවෙයි.

ඔහුගේ සාමාන්‍ය පැවැත්ම අභියෝගවලට මුහුණ දීම. එය ප්‍රස්තූතයක් නොවන්නේ ප්‍රභාකරන්ට මුහුණ දීම දෙස බලන විට. එල්.ටී.ටී.ඊ.විරෝධී සටන මැද දී නොර්වේ විශේෂ නියෝජිත සොල්හයිම් විවිධ කතා ජනාධිපතිවරයාට කී බව ඒ කාලේ මාධ්‍ය වාර්තා කර තිබුණා. සමහර කතා බය හිතෙන ජාතියේ ඒවා. එල්.ටී.ටී.ඊයේ ශක්තිය තක්සේරු කරමින් කළ නිගමන මේ අතර තිබුණ බවයි මාධ්‍ය වාර්තා කළේ.

ඒත් සොල්හයිම් ට ජනාධිපති මහින්ද කීවා යැයි මාධ්‍ය වාර්තාකර තිබුණේ ප්‍රභාකරන් විනාශ කිරීමෙන් තොරව මේ සටන අත් නොහරින බවයි. ගමේ ගොඩේ භාෂාවෙන් ඉන් අදහස් කළේ උගේ බෙල්ල අර ගන්නේ නැතුව මගේ සටන නවත් වන්නේ නැති බවයි. එහෙව් මහින්ද රාජපක්ෂට ජෙනරාල් සරත් ෆොන්සේකාට ඉල්ලා අස්වීම නොදෙන්න හේතුවක් නැහැ. කට කතා ප්‍රචාරක මාධ්‍යවල හැටි එහෙමයි.

ජෙනරාල් අස්වුණේ ඇයි ද කියන එක පැහැදිලියි. විශ්‍රාම සුවයෙන් හාන්සි පුටුවක් උඩට වෙලා උදේ 10ට පමණ මිදි යුෂ හෝ දොඩම් යුෂ පානය කරමින් නිසොල්මනේ කල් ගෙවන්න නොවෙයි. කැලණියට ගියාට බණක් භාවනාවක් කරමින් ඉන්නත් නොවෙයි. දේශපාලනය කරන්නයි. ඒත් එයා දිගින් දිගටම කීවේ තමා යුනිෆෝම් එක දාගෙනත් කළේ දේශපාලනය ම තමයි.

ජෙනරාල් යුනිෆෝම් එක ඇඳගෙන ම තමයි දේශපාලනය පටන් ගත්තේ. ඒ ගමන ආරම්භ කළේ අමෙරිකාවෙන්. නිව්යෝක් විහාරෙදී එතුමා කතා කළේ දේශපාලනය. හමුදාවේ කෙනෙක් නොකරන කතාවක්. එතැන් සිට ඔහුගෙන් ප්‍රශ්න කරන්න යනවා යැයි මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒත් ප්‍රශ්න කළේ නැහැ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එතුමාගේ රජය තානාපති මට්ටමින් හා විදේශ අමාත්‍යාංශ මට්ටමින් ඊට විරෝධය දැක්වූවා.

ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න කියන ස්ථාවරයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටියේ. එතුමා කිව්වේ පෝරකයට වුනත් මම යන්න ලෑස්තියි කියලයි. අවසානේ ජෙනරාල්ගෙන් ප්‍රශ්න කෙරුනේ නැහැ. ඒත් ප්‍රශ්නයක් වගෙයි. ඒ සමස්ත කතාවෙනුත් එතුමා දේශපාලන ලකුණු දාගත්ත වගෙයි. ඒත් ආණ්ඩුව හා ජනාධිපතිවරයා එතුමා වෙනුවෙන් අවංකවම ඉදිරිපත් වුණා.

මේ සියල්ල සිදු වුණේ ජෙනරාල් දේශපාලනයට එනවා කියන පසුබිම යටතේ. වෙනත් කාලෙක නම් මෙහෙම නොවෙන්න ඉඩ තිබුණා. ඕන කුදයක් ගහ ගනින් කියලා නිහඬ වෙන්න තිබුණා. ඒත් ආණ්ඩුව එහෙම කළේ නැහැ. මේ හැම තැනම හීන් නූලෙන් දිව ගියේ ජෙනරාල්ගේ දේශපාලන සූදානමයි. දේශපාලනය සූදානම කියන්නෙත් දේශපාලනය කිරීම තමයි.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය හරහා කලෙත් දේශපාලනයක්. ඒක ජනාධිපතිවරයාට යවන ගමන් පත්තරවලට ලීක් කළා. එය රහසිගතයි කියා ශීර්ෂ පාඨයක් යොදා තිබුණාට රහසිගත වුනේ නැහැ. ඒත් පුවත්පත්වල පල වූ ලිපියයි, ජෙනරාල් ජනාධිපතිවරයාට යැවූ ලිපියයි අතර පරස් පරයක් තිබෙනවා.

ඒ දෙක දෙකක්. ජනාධිපතිවරයාට යැවූ ලිපියේ මාධ්‍ය නිදහස ගැන හෝ සරණාගත කඳවුරු ගැන හෝ සඳහනක් නැහැ කියලයි දැන් මාධ්‍ය වාර්තා කරන්නේ. කව්රු හරි ජෙනරාල් සරත් වෙනුවෙන් මේ ලිපිය ලිය වූ අයට ඕනෑ වූ කාරනා ඔහු සංස්කරණය කර තිබෙන බවයි පෙනෙන්නේ. ඒ අයට ඕනෑවූ මාධ්‍ය නිදහස ජෙනරාල් අතින් සංස්කරණය වෙලා.

සරණාගත කඳවුරු පිළිබඳ ඔහුගේ මතයත් එහෙමමයි. මේ නිසා එතුමා මෙහෙයවන බලවේග හමුවේ ඔවුන්ට ඕනෑ විදියට නැමෙන්න ජෙනරාල් සරත් ෆොන්සේකා සූදානම් නැහැ වගෙයි. නැත්නම් ජනාධිපතිතුමා අතට යැවෙන ඉල්ලා අස්වීමේ ලිපියෙන් පත්තරවලට යැවූ ලිපියේ අඩංගු කාරනා අඩු වෙන්න විදියක් නැහැ.

ජෙනරාල් සරත් එඩිතර හමුදා නිලධාරියෙක්. ඒ නිසා ඔහු මෙහෙයවන අයට දැන්මම අනියමින් කියන්නේ නුඹලාට ඕනෑ දේවල් දාන්න මම සූදානම් නැහැ කියලා වගෙයි. නැත්නම් පත්තරවලට දුන්න ලිපියම අඩුවක් නැතුව ඔහුට යවන්නම තිබුණා. මේ ඉල්ලා අස්වීමේ ලිපිය යුනිෆෝම් එක දාගෙන ලියපු කරපු දේශපාලන ලියවිල්ලක් වුනාට එය හසුරුවන බලවේගවලට ඔහු පණිවිඩයක් දෙනවා. මම යුනිෆෝම් දැම්මත් නොදැම්මත් ජෙනරාල් කියලා.

පසුගිය මාස දෙකක පමණ කාලයේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපිට සැලියුට් කරමින් දැක්වූ අවසන් හමුදා රංගනය දක්වා ඔහු කළේ යුනිෆෝම් ධාරී දේශපාලනයක්. විශේෂත්වය එහෙම දේශපාලනය කරන්නත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉඩ තිබීමයි. අනෙක් පැත්තෙන් තම අනාගත සටන් සගයා ඉදිරිපිට ඍජුව සිටගෙන සරත් මම ඔබට සුබ පතනවා කියන්නත් ජනාධිපති මහින්ද රාජපක්ෂට කොන්දක් තිබීමයි.

ජනාධිපතිවරයාගේ එම ගාම්භීර මෙන්ම මානුෂීක දසුන, එම දසුනේ සිට ඔහුගේ පළවෙනි පදවිප්‍රාප්තිය දක්වා නෙත් යොමු කරන කෙනෙකුට සිහිවන්නේ කුමක්ද?

විශ්‍රාම යෑමට නියමිතව එම දිනය ආසන්නයටම පැමිණ ඇති සෙන්පති සරත් ෆොන්සේකා යි. අනෙක් පැත්තෙන් එල්.ටී.ටී.ඊ.ය සමතලා කිරීමට සෙන්පතියෙක් සොයමින් සිටින නව ජනාධිපති මහින්ද රාජපක්ෂයාණෝ ය. ජෙනරාල් සරත්ගේ දෛවය යළි අංක 360 ක් ම ආපස්සට කැරකෙන්නේ මහින්ද රාජපක්ෂ තමන් මෙහෙයවනු ලබන සිව් වැනි ඊළාම් යුද්ධය අවසන් සටන ලෙස කල්පනා කිරීමට පටන් ගත් තැන සිට ය.

ඒ අනුව පැය දෙකක් ඇතුළත එවකට සිටි හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ විශ්‍රාම යවා සෙන්පති සරත් ෆොන්සේකා එතැනට පත්වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේම තෝරාගැනීමක් විදියට. ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණ ගන්නේ එහෙමයි. කවදත් ඔහුට රෝසමල් යායක් මැදින් යන දේශපාලන ගමනක් තිබුණේ නැහැ.

ඇත්තේ කටු පදුරු, ගිරි දුර්ග පමණක් නොව තමන් ඔසවා තැබූ අය විසින් ම අටවනු ලබන මරුවැල් හා මර උගුල් මැදින් යන ගමනක්. මහ පොළවේ පය ගැසූ නායකයෙක් කියන්නේ එහෙම කෙනෙකුට. ඕනෑම අමාරු තීරණයක් පහසුවෙන් ගන්නා කෙනෙකුට. ප්‍රභාකරන් සමඟ අවසන් සටනට සූදානම් වුණෙත් එහෙමයි.

අද ඒ ගමනට ඔහු තෝරාගත් අයගෙන් කෙනෙක් ඔහු සමග සටනට එන හැඩ මතුවෙලා. ජනතාව සිටින්නේ මේ සියල්ල දෙස නිවැරැදිව බලාගෙන. බහුතර ජනතාවගේ සූදානම ආණ්ඩුවේ සමහර අයගේ මොන වැරැදි තිබුණත් ජනාධිපති මහින්දට යුතුකමක් ඉටු කරන්න. ඒක ආණ්ඩුවේ අයටත් වැඩිය නිවැරැදිව දන්නේ විපක්ෂය.

විපක්ෂයේ දේශපාලනය කරන කාටවත් මෙවර මහින්දට තරගයක් දෙන්න බැහැ. යන්තම් හෝ ඊට සමීප විය හැක්කේ එස්.බී.දිසානායකටයි. ජය පරාජය කෙසේ වෙතත් එස්.බී. ට ඔහුගේම පක්ෂයේ ටීම් ලීඩර් බයයි. කවදාත් දේශපාලනය නොකළ කෙනෙක් වුණත් හොඳයි. ඒ නිසා හොඳම දෙය එස්.බී. ද මඟහැර මහින්දට යුතුකමක් ඉටුකිරීමට බලාපොරොත්තු වන ජනතාවගේ බලාපොරොත්තු අවුල් කිරීමයි. ඒක කොහොමද කරන්නෙ. කවුද ඒකට තෝරා ගන්නේ?

විපක්ෂය මහින්දගේම අතීත තෝරාගැනීමක් සොයාගත්තේ ඒ නිසයි. මේ නිසා දිනුම් පැරදුම් කෙසේ වෙතත් තරග කිරීම ලොකු දෙයක්. විපක්ෂයටද තමන්ගේ නොහැකියාව වසාගෙන දේශපාලනය කරන්න හොඳ පොටක් පාදා ගැනීමක්. ජෙනරාල් යුද්දෙට දක්ෂ බව ඇත්ත. කවුරුවත් ඒක නැහැ කියන්නේ නැහැ. එහෙම කියලා විහිළුකාරයො වෙන්න වුවමනාවකුත් නැහැ.

ඒත් යුද්ධයට දක්ෂ අයට අණ දෙන්නේ දේශපාලන නායකයො. දේශපාලන නායකයො තමයි මේ දක්ෂයා සොයා ගන්නෙ. ඒක දේශපාලන දක්ෂකමක්. ජෙනරාල් අවුරුදු 40ක් තිස්සෙම එහෙම අණදීම්වලට යුද්ධ කළා නේද? ජනතාවට මේක තේරුම් ගන්න ප්‍රඥාලෝකය ලබා ගන්නා ටියුටරිවලට යන්න ඕන නෑ. සාමාන්‍ය මොළයට තේරෙනවා. ජනරාල් නිවැරැදිව යුද්ධය මෙහෙයවනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයෙන්.

මේ සත්‍යය ජනතාව නොදන්නවා කියා ජනරාල් සිතනවාද කියා කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් විපක්ෂය ජනරාල්ට හොඳ ලණුවක් දී තිබෙන බව නම් බැලූ බැල්මට වුවද පෙනෙනවා. මේ නිසා ගෙවී ගිය සිව්වසර තුළ ඊළාම් විරෝධී සටනට නායකත්වය දුන්නේ කව්ද? නායකයාගේ අණට වෙඩි පිටියට ගියේ කව්ද? කියා තේරුම් ගැනීමේ ආබාධයක් ජනතාවට නැහැ. විශේෂයෙන්ම කෘතවේදී ජනතාවට කොහෙත්ම නැහැ.

ඒත් තමන් අබියස වැඳ වැටෙන විපක්ෂය වෙනුවෙන් තමා කුමක් කරන්නේ ද කියා ජනරාල් සරත් ෆොන්සේකා කල්පනා කරනවාද ඇති. සමහර නායකයන්ගේ වසර තිස් හතළිස් ගණන්වල දේශපාලනය දවසක්වත් දේශපාලනය නොකළ ජෙනරාල් ගේ කකුල් දෙක පාමුල තැබුවාම ඕනම කෙනෙක් හොල්මන් වෙනවා. එහෙම අයට ජනරාල්ගේම පිහිටයි. ඒත් ජනරාල්ට කාගේ පිහිට ද? අවසානයේ මහින්දගේම පිහිට ද?

තමා විශ්‍රාම යන බව හා දේශපාලනයට පැමිණෙන බව ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා ඉදිරියේ පැවසූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා. එහිදී ජනාධිපති මහින්ද ඔහුට පවසා තිබුණේ ‘සරත් මට ප්‍රශ්නයක් නැහැ. කල්පනා කරලා තීරණයක් ගන්න. මේ සටනින් මම දිනනවා. ඊට පසුවත් සරත්ට ප්‍රශ්නයක් වුණොත් මේ මහින්ද ඉන්නවා. නැවතත් අප සමඟ සම්බන්ධ වෙන්න කියා මම ආරාධනා කරනවා” සති අන්ත පුවත්පත් වාර්තාකර තිබූ පරිදි මහින්ද රාජපක්ෂ ජෙනරාල් සරත් ෆොන්සේකාට කියා තිබෙන්නේ එහෙමයි. මේ නිසා අවසානේ ජෙනරාල්ට කාගේ පිහිට ද?

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා