අල්ලා ගත් පලස්තීන ප්‍රදේශවල ඊශ්‍රායල ජනාවාස පිහිටුවීම පිළිබඳ ඊශ්‍රායල අමෙරිකා මතභේද

අල්ලා ගත් පලස්තීන ප්‍රදේශවල
ඊශ්‍රායල ජනාවාස පිහිටුවීම පිළිබඳ ඊශ්‍රායල අමෙරිකා මතභේද

අත්පත් කැර ගත් පලස්තීන ප්‍රදේශවල ඊශ්‍රායල් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා එක්සත් ජනපදය අතර මතභේදයක් මතුව තිබේ.

1967 යුද්ධයේදී ඊශ්‍රායලය ඈඳාගත් බටහිර ඉවුරේ හා ජෙරුසෙලම් නගර ප්‍රදේශයේ නිවාස 900 ක් ඉදිකිරීමට ඊශ්‍රායල් බලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් මෙම මතභේදය ඉස්මතුව ඇත.

මෙය ගිලෝ ජනාවාසය ලෙස හැඳින්වෙන අතර එහි නිවාස ඉදිකිරීම අත්හිටුවන ලෙස එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමාගේ නියෝජිත ජෝර්ජ් මිෂෙලි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ලන්ඩන් රැස්වීමකදී දන්වා තිබිණ.

එහෙත් දැනටමත් ඊශ්‍රායලිකයන් 40,000 ක් පදිංචි ගිලෝ ප්‍රදේශයේ තවත් නිවාස 900 ක් ඉදිකිරීමට “ඊශ්‍රායල් රාජ්‍ය සැලසුම් කොමිසම” අනුමැතිය ලබා දී තිබේ.

ඔවුන්ගේ මෙම තීරණයෙන් එක්සත් ජනපද බලධාරීන් කනස්සල්ලට පත්ව ඇත. ඔවුන් පවසන්නේ මෙම ඊශ්‍රායල් ක්‍රියාදාමය ඉකුත් දෙසැම්බරයේ සිට අත්හිටුවී තිබෙන පලස්තීන සාම සාකච්ඡා යළි පණගැන්වීමේ බැරැක් ඔබාමා ප්‍රයත්නයට අකුල් හෙලීමක් බවය. ඒ සමඟම නැඟෙනහිර ජෙරුසෙලමින් පලස්තීනුවන් ඉවත් කිරීම හා ඔවුන්ගේ නිවාස බිඳ දැමීමට විරුද්ධ බව ද එක්සත් ජනපදය කියා ඇත.

ඊශ්‍රායල් ක්‍රියාවලිය සාම ප්‍රයත්නය අඩාල කිරීමක් සේම ද්වි – රාජ්‍ය විසඳුම සාක්ෂාත් කිරීම සම්බන්ධයෙන් සැක පහළ කරන්නක් බව එ. ජා. මහලේකම් බැන් – කී මූන් ද කියා තිබේ.

මේ අතර පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් පවසා ඇත්තේ ඊශ්‍රායල් ක්‍රියාදාමය සාමය ප්‍රයත්නයේ අවසන් වරම සිඳ බිඳ දමන්නක් බවය.

එහෙත් ජෙරුසෙලම් ඊශ්‍රායල් නගරාධිපති නීර් බර්කට් කියා ඇත්තේ ජෙරුසෙලමේ ඊශ්‍රායල් ජනාවාස පිහිටුවීම අත්හිටුවන ලෙසට අමෙරිකාව සිදුකරන ඉල්ලීමට එකහෙලා විරුද්ධ බවය. ජෙරුසෙලම ඔවුන්ගේ අගනගරය වන බව ද ඔහු කියා ඇත.

1967 ඊශ්‍රායලය අත්පත් කැර ගත් බටහිර ඉවුර හා නැඟෙනහිර ;ජරුසෙලමේ වාසය කරන පලස්තීනුවන් මිලියන 2.7 ක් අතර 50,000 ක යුදෙව්වන් පිරිසක් සිටින බව පැවසේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා