ජනපති මහින්දට මෙරට ජනවරම නොබෙල් තෑග්ගටත් වඩා වටනේය

ජනපති මහින්දට මෙරට ජනවරම නොබෙල් තෑග්ගටත් වඩා වටනේය

නොබෙල් සාම ත්‍යාගය අමෙරිකා ජනපති බරක් ඔබාමා උතුමාණන් වෙත ගෞරව පුරස්සරඹ ඔප්පු කොට හමාරය. ශ්‍රී ලංකාවේ පුවත්පත් හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ මේ බව පවසමින් ඔබාමා කළ සාම මෙහෙවර කුමක්දැයි විමසීය.

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් මේ සඳහා උචිතම පුද්ගලයා ලෙස ද අපේ ඇතැම් මාධ්‍යකරුවන් අදහස් දක්වා තිබුණි. ඒ අපේ පැත්තෙන් අපේකමට අපේ මනුස්සයා නිසා කියන කතාවක් නොවේ. එහෙත් එය එසේම යයි සිතමු. ගෙවී ගිය සතියේ කැනේඩියානු පුවත්පත් ප්‍රමුඛ ලෝක ජනමාධ්‍ය ඔස්සේ ද ශ්‍රී ලංකා ජනපතිවරයාට නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ ඇති සුදුසුකම් අනාවරණය කෙරිණි.

එහෙත් අපේ මහින්ද නෝර්වේකාරයාගේ “නොබෙල්” කෙන්ගෙඩිය බලාගෙන රටට වැඩ කළේ නැත. සෝල්හයිම්ලා දෙපත් නයින් බව ලෝකය හමුවේ එළිදරව් කරමින් ඔවුන්ගේ සාම කොටි වල්ගයට කරගහන්ට ගියේ නැත. ඔහු රට වෙනුවෙන් රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් අපේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් දේශයේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් මිනීමරු ත්‍රස්තවාදය මේ බිමෙන් අතුගා දැම්මේය. ඔහු ඩයිනමයිට් කරයාගේ සාම බිබික්කම බලාගෙන වැඩ කළා නම් සෝල්හයිම්ලාට මල් පුදා පාවාදීමේ ගිවිසුමට දුම්මල ඇල්ලීමට කොතෙකුත් අවස්ථා එළඹුණේය.

නොබෙල් යනු ලෝකයම පුපුරවා දැමිය හැකි ඩයිනමයිට් ලෝකයට හඳුන්වා දුන් තැනැත්තා තමා ලෝකය පුපුරවන්නට ඩයිනමයිට් සාදා දුන් පශ්චාත්තාපයෙන් පුද කළ තෑග්ගකි. එනිසාම නොබෙල් තෑග්ග 90 වාරයක් ප්‍රදානය කර ඇතත් එය බෙදා හදා ගත්තේ බටහිර නොබෙල්ලා වරුය. එය ලෝක තෑග්ගක් නොව අමෙරිකා නෝර්වේ හිතවාදීන්ට පිදෙන ඩයිනමයිට් කරලකි.

ඒ බව හොඳින්ම ඔප්පු වන්නේ අනූ වාරයක් පිදූ නොබෙල් තෑග්ග ආසියාවට හිමිවුණේ අට වාරයකදී පමණක් නිසාය.

දළයි ලාමා තුමාටද අවුන්සාන් සුකී හට ද අමෙරිකන් හිතවාදී දකුණු කොරියා නායකයාට ද ඉරාන රජයේ මානව හිමිකම් ගැන හඬ නැඟූ කිමි ඩා ජුන්ට ද දී බංග්ලාදේශයේ මොහමඩ් යුනිස් ආදී වශයෙන් පල නොකියා ආසියාවට පලා සොච්චමක් බෙදා ඇත. මේ හැරුණ විට නොබෙල් ගෙඩිය ආසියාවට කොකා පෙන්වමින් අමෙරිකාව ඇතුළු බටහිර යුදවාදීන් බෙදා ඛ්දාගෙන වළඳති.

ඔබාමා ජනපති වී සති කීපයකින් පමණ අයදුම්පත් කැඳවූ නොබෙල් ත්‍යාගය දීමට ඔබාමා ලෝකයට කළ සාම මෙහෙවර කුමක්දැයි බොහෝ දෙනා විමසති.

දිනෙන් දින අති බිහිසුණු මිනිස් ඝාතන කෙරෙන ඇෆ්ගනිස්තානයට හා ඉරානයට ඔහු උදා කළ සාමය කුමක්ද? අමෙරිකා අනුදැනුම මත පකිස්තානයේ ඇවිලෙන යුධ ගින්නට ඔහු ළඟා කළ සාමය කුමක් ද? ඔබාමා ජනපති පදවියට පැමිණ දෙසතියකදී කළ කී දෑ පිළිබඳව නොබෙල්කරුවන් අවධානය යොමු කළ යුතුව තිබුණි.

අවම වශයෙන් අදාළ වර්ෂයේ සිදුවූ පුද්ගල මෙහෙවර සැලකිය යුතු වුවත් දෙසතියක මෙහෙවරේ හෝ කුමන සාම ක්‍රියාවක් ඉටු කළාද යන්න අදාළ කමිටුව ලෝකයට ප්‍රකාශ කළ යුතුව තිබිණි.

එහෙව් අයෙකුට සාම පොට්ටනිය කරේ එල්ලීමට පෙර ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ප්‍රායෝගික ආදර්ශයක් ලොවට දුන් අපේ ජනපති ගැන සිතා බැලිය යුතුව තිබුණි. එහෙත් මහින්ද බටහිරුන්ගේ අබුට ගැට තද කළ නායකයෙක් නොවේ. සෝල්හයිම්ලාට කොකා පෙන්වූ නායකයෙකි යුරෝපා අළුගොඩේ ලගින කැහැටු බලු කුක්කෙකු සේ උන් කියන ආකාරයට බුරන්නට තරම් මහින්ද නිවට වූයේ නැත.

එනිසාම මහින්ද මුළු ලෝකයටම සාමය උදාකළ නෝර්වේ ඇත්තන්ඩ මහින්ද අරහන් ය. හිරලි නෝනලාගේ නිර්දේශ අනුව අමෙරිකාවට ද මහින්ද නයාට අඳුකොළ ගානය.

එහෙත් මැද මුලනේ කුරහන් යායේ දඬු වැට පැනපු අපේ මහින්දට ඔය ඩයිනමයිට් තෑග්ග කියන අටන්ගෙඩියට වඩා මේ පිං බිමේ වැලි දෝතක් වටනේය. චීනය, ඉන්දියාව, ජපානය, පකිස්තානය වැනි ආසියාතික බලවතුන් ප්‍රමුඛ සමස්ත ආසියාවම මහින්දට ලබා දී ඇත්තේ සහෝදරත්වයේ තෑග්ගය.

මානව දයාවෙන් ලෝකයම මවිත කළ ශ්‍රේෂ්ඨ අවිහිංසාවාදියා වූ මහත්මා ගාන්ධි වැනි උතුමෙකුට නොදී යටි කූට්ටුවන්ට දුන් සාමයේ ඩයිනමයිට් පොට්ටනිය මොකාට දුන්නත් අපට ඇති කැක්කුමක් නැත.

මහින්දත් නොබෙල් පොට්ටනියට ඉව අල්ලමින් සුනාමි සහන මණ්ඩලය පුදා නෝර්වේ කාරයාව හුරතල් කළා නම් මෙලහකටත් ඩයිනමයිට් සාම රජා ඔහු වීමට ඉඩකඩ තිබුණි. එහෙත් රට ජාතිය පාවා දී අහිගුණ්ටිකයින්ට කූඩාරන් ගැහීමට මහින්ද සූදානම් වූයේ නැත.

ඔහු උපන් දේශයේ පූජනීය උරුමය සිය පණටත් වැඩියෙන් වටිනා බව ක්‍රියාවෙන් ම ඔප්පු කළේය. ප්‍රභා කියන මිනීමරුවා ගල ග්‍රහණයෙන් ගෙන නන්දිකඩාල් කළපුවේ ඔබනතුරු බටහිර බිරිල්ල තුට්ටුවකට මායිම් කළේ නැත. ඒ ඔහුගේ දේශාභිමානයයි. ඒ ඔහු උපතින් ලද ජාතිකාභිමානයයි.

එවන් වූ කොන්ද පණ ඇති මහින්දට මොකා මොකී මොනවා කීවත් ඔහුට පළමුවටත් රටය. දෙවනුවත් රටය.

තෙවනුවත් රටය. ඒසා ප්‍රෞඪ පෞරුෂත්වයක් හිමි මහින්දට නොබෙල් තෑග්ගත් තෑග්ගක් ද? දෙකෝටියක ජනවරම නොබෙල් තෑගි දහසකට වඩා මහින්දට වටනේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා