ජාතික සමගියට එරෙහි වනු බෑ

ජාතික සමගියට එරෙහි වනු බෑ

වෙඩි වරුසා වැටී විස දූවිල්ලක් බවට පත් කළ උතුරුකරයේ සරු පස දැන් යළිත් රන් පැහැ ගැන්වී තිබේ. රන් පැහැ ගැන්වුණු පස පෙරලා උතුරේ ගොවි ජනතාව දැන් යළිත් පලබර මිරිස් යායක්, එළවළු කොටුවක්, ගොයමින් පිරුණු කෙතක් නිර්මාණය කර තිබේ. ඒ නිසාම ගොවි සතියක් වවුනියාවේ පවත්වන්නට ආණ්ඩුවට ඉඩකඩ සැලසී ඇත.

එපමණක් නොව වසර 30 කට පමණ පසු උතුරේ ජනතාව හැඳුනුම්පත රැගෙන පෝලීමේ ගොස් වම් සුලැඟිල්ලේ සායම් ගාගෙන ඡන්ද පත්‍රිකාවේ පැන්සල් කොටයෙන් කතිරය ගසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අපටත් ඇතැයි ලෝකයට පෙන්නුම් කළහ. ඒ අයිතියෙන් වසර 30 ක් ප්‍රභාකරන්ගේ කොටි හඬ පාර්ලිමේන්තුව හරහා නිකුත් කළ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පළාත් පාලන ආයතන 18 ක බලය ලබාදී තිබේ. ඒ බලය මෙදා ලබා දුන්නේ ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍ය සිහිනය යථාර්ථයක් කරන්නට නොවේ,

ජාතිවාදී වෛරය පතුරුවා යළිත් වරක් දෙමළ ජනතාවගේ ජීවත්වීමේ ශුද්ධ වූ අයිතියට බාධා කරන්නට නොවේ. ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින සිංහල, දෙමළ, මුස්ලිම්, සමගිය නපුරු ජාතිවාදී බීජ වපුරා විනාශ කරන්නට නොවේ. ප්‍රභාකරන්ට යටවී ඔහු වෙනුවෙන්ම පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාව නොකියා කියන්නේ අපට නිදහසේ ජීවත් වන්නට “ඉඩදීපල්ලා” යන්නයි. වසර ගණනාවක කොටින්ගේ ග්‍රහණයට යටවී සිටි අපේ දරුවන්ට නිදහසේ අකුරු කරන්නට “ඉඩදීපල්ලා” යන්නයි. ඒ නිසා දෙමළ ජාතික සන්ධානය රජය සමඟ සාකච්ඡා වට නවයක් පවත්වා තිබේ.

බලය බෙදන්නට කරන මෙම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානය උදච්චකම ඉස්මතු කොට කොන්දේසි පැනවීමෙන් සැළකිය යුතුය. දින වකවානු නියම කිරීමෙන් වැළකිය යුතුය. ජාතික ගැටලුව විසඳන්නට රජය සූදානමින් සිටී. එයට හරස් වී බාධා කොට බොරු කොන්දේසි පනවා යළිත් වරක් උතුරේ සාමය කඩකොට ජාතිවාදී ගිනිපුපුරු රට පුරා වපුරන්නට දායක නොවන ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පාර්ශ්වයන්ගෙන් සෑදුණු සමස්ත ජාතියම ඉල්ලා සිටී. එම ජාතියට එරෙහි වීමට දෙමළ ජාතික සන්ධානයට දැන් අවසරයක් නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා