චීන මිතුදම තවත් ශක්තිමත් කර ගැනීම...

චීන මිතුදම තවත් ශක්තිමත් කර ගැනීම...

ඉන්දියාව අපේ කිට්ටුම අසල්වැසියායි. ඉන්දියාවේ පිහිටීමේ බලපෑම හා සම්බන්ධතාවන් අප දන්නා ඉතිහාසයටත් පෙර සිට පවතිනවා. මේ අසල්වැසියා කවදත් දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍යයක්ව පැවැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය වර්තමානය වන විට දකුණු ආසියාවේ පමණක් නොව මුළු ආසියාවේ ම බලවත් රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා.

මේ වන විට ආසියාවේ ලෝක මට්ටමේ යෝධයන් දෙදෙනෙක් බිහි වෙලා. ඉන් එක් යෝධයෙක් චීනය. අනෙකා ඉන්දියාවයි. චීනය පිළිබඳ අනාවැකි පළවන්නේ ඉදිරි දශකයේ දී එය ලොව බලවත්ම රාජ්‍යය විය හැකි බවයි. නැතිනම් අමෙරිකාව අභිබවා යා හැකි බවයි. එසේ ම ඉන්දියාව මේ වසර අවසන් වන විට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ සඳහා ඉන්දියාවට සහාය දැක්වීමට අමෙරිකාව පවා සූදානමින් සිටියා. පසුගියදා අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ ඉන්දියානු සංචාරය ඒ පිළිබඳ (එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය පත්වීමේ) සතුට, ප්‍රචාරය හා සහයෝග දැක්වීමේ අරමුණ ද පෙරදැරි කරගෙන පැමිණියා වගෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහෙමයි.

මේ රටවල් දෙකම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන්නේ බෙහෙවින් ම සමීප හිතෛෂී භාවයක්. විශේෂයෙන් ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත් වීමත් සමඟ ම එම හිතෛෂී භාවය වැඩි වුණා වගෙයි. එක්තරා වකවානුවක ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සාධනීය නොවන පැත්තේ වර්ධනයක් දක්නට ලැබුණා. එය සිදුවූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදීයි. එල්. ටී. ටී. ඊ. විරෝධී වඩමාරච්චි සටන අතරමඟ නතර වීම, ඉන්දියානු ගුවන් යානා මගින් ආහාර හෙලීම, ඉන්දු – ලංකා ගිවිසුම, පළාත් සභා ක්‍රමය යෝජනා වීම හා ඉන්දියානු හමුදා පැමිණීම ආදී සිදුවීම්වලින් පසුවයි යළි නොහොඳ නොක්කාඩු සමනය වන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාව වැනි කිට්ටුම අසල්වැසියෙක් අමනාප කර ගැනීම නුවණට හුරු වන්නේ නැහැ. 1994 න් පසුව ක්‍රමයෙන් වර්ධනය වූ ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම 2005 පසු වෙන කවරදාටත් වඩා සමීප වුණා. එල්. ටී. ටී. ඊ. විරෝධී යුද ජයග්‍රහණයට එක් ප්‍රධාන හේතුවක් වූයේ ද මෙම මිත්‍රත්වයයි. ඒ සමඟ ම වර්ධනය වූ චීන මිත්‍රත්වය මේ වන විට රටට වාසියක් වී තිබෙනවා. වරක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ රටවල් දෙක අතර මිතුදමේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළේ “ඉන්දියාව අපේ ළඟ නෑයාය. චීනය අපේ හිතවත් මිතුරාය” යන පාඨයෙන්.

මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ චීනයේ සංචාරයක නිරත වෙනවා. එමඟින් මිතුරාගේ මිතුදම තවත් ශක්තිමත් කර ගැනීම හා එය යහපත් ලෙස නඩත්තු කර ගැනීම ද මේ සංචාරයේ දී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ නිසා ඉන්දියානු ඥාතියා සමඟ ඇති සබඳතාවයට නැත්නම් නෑකමට හානියක් වන්නේ නැහැ. නෑයෝ ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසක් ය කියා කියමනක් තිබෙනවා. එහෙත් ඉන්දියානු නෑකම අපට අත්‍යවශ්‍යයි.

විශේෂයෙන් ම තමිල්නාඩු ප්‍රාන්තයේ සමහර බලධාරීන්ගේ ප්‍රකාශ නිසා පසුගිය සමයේ මේ හිතවත්කම පළුදු වෙලාදෝ යන සැකයක් මතු වුණා. එහෙත් ඉන්දියානු මධ්‍යම රාජ්‍ය හා අගමැති මන් මෝහන් සිං එවන් දුර්මත ප්‍රතික්‍ෂේප කර අපේ මිත්‍රත්වය හා නෑකම තහවුරු කර තිබෙනවා.

ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා පිළිබඳ චීන ඒකාබද්ධ කමිටුවේ ප්‍රථම ගිවිසුම අස්සන් කිරීම.

තමිල්නාඩු ප්‍රාන්තයේ අන්තවාදී නායකයෙකු වන වයිකෝ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා නොපවත්වන මෙන් ඉන්දියානු අගමැතිවරයාගෙන් කළ ඉල්ලීම ඔහු කෙළින්ම ප්‍රතික්‍ෂේප කළා. එසේ ප්‍රතික්‍ෂේප කළා පමණක් නොවෙයි ලෝකයටම ඇහෙන්න ඊට ලොකු ප්‍රචාරයක් ද ලබා දුන්නා. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක දමන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් කළ ඉල්ලීම ද අනියමින් ප්‍රතික්‍ෂේප කිරීමක්.

පසුගියදා ද්‍රවිඩ සන්ධානය දින 10 ක් ඇතුළත තම ඉල්ලීම්වලට රජයේ ප්‍රතිචාරයක් නොලැබුණොත් රජය සමඟ පවත්වනු ලබන සාකච්ඡාවලින් ඉවත්ව යන බවට ඉඟි කළා. ඉන්දියාව එම යෝජනාව සම්බන්ධයෙන් ද දැක්වූ ප්‍රතිචාරය යහපත්. ඉන්දියාව ද්‍රවිඩ සන්ධානයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා රජයට එවන් කොන්දේසි නොදමන ලෙසයි. රජය සමඟ සාකච්ඡාවේ දිගින් දිගටම රැඳී සිටිමින් දේශපාලන සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් විසැඳුමක් ලබා ගන්නා ලෙසයි.

වෙන විදියකට ඉන්දියාව මැද තැනක සිටිමින් ද්‍රවිඩ සන්ධානයෙන් ඉල්ලා ඇත්තේ මෙවන් සංකීර්ණ ප්‍රශ්නයකට විසැඳුම් සෙවීමේදී නම්‍යශීලී වන ලෙසයි. වයිකෝ ගේ ඉල්ලීම තරයේ ප්‍රතික්‍ෂේප කිරීමෙන් හා ද්‍රවිඩ සන්ධානය දිගින් දිගටම සාකච්ඡාවේ රැඳී සිටීමට උපදෙස් දීම තුළින්. ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියානු ස්ථාවරය පැහැදිලියි. ඔවුන් දැවැන්ත රටක් වූව ද ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හා ආත්ම ගෞරවයට ගරු කරමින් ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමකින් ගනුදෙනු කිරීමට සූදානම් වන බවක් දක්නට ලැබෙනවා. එය මේ මොහොතේ අපට වාසිදායකයි.

ඉන්දියාව හා චීනය අප වෙනුවෙන් සහෝදරත්වයෙන් හා මිත්‍රත්වයෙන් පෙනී සිටීම ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ දී අපට වාසියක්. විශේෂයෙන් ම ඉන්දියාවේ හැසිරීම ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර බලවතුන්ගේ බලපෑම අවම හා නිෂේධ කර ගැනීමට හේතුවෙනවා. ඉන්දියාව බටහිර බලවතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජ්‍යයක්. එවන් රටක් අප වෙනුවෙන් පෙනී සිටීම බටහිර බලපෑම අවම කර ගැනීමට හේතුවක්. එසේ ම දකුණු ආසියානු රටවල ප්‍රශ්නවල දී ඉන්දියානු හඬට සවන් දී යහපත් ප්‍රතිචාරයක් දැක්වීමේ ප්‍රවණතාවක් ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ දී පමණක් නොව එක්සක් ජාතීන්ගේ සංවිධානයේ තීරණවල දී ද දක්නට ලැබෙනවා. එසේ ම චීනයේ නිෂේධ බලය ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ශක්තියක්.

මේ සමඟ ම ශ්‍රී ලංකාව ඉන්දියාව අසලින් පිහිටීම අපට වෙනස් කරලන්න බැහැ. එසේ ම අප අසලින් ම පිහිටා තිබෙන තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ ජනතාව කෝටි ගණනින් ජීවත්වීම ද එම ප්‍රාන්තය ඉන්දියානු උප මහද්වීපයේ ශ්‍රී ලංකාවටත් වඩා කීප ගුණයකින් විශාල ලෙස පිහිටීම ද අපට වෙනස් කළ නොහැකියි. මේ සමඟ ම තමිල්නාඩු ප්‍රාන්තයේ මෑතක ඇති වූ දේශපාලන පෙරළිය නැතිනම් පාලක කොංග්‍රස් පක්‍ෂ රජයට එරෙහි කණ්ඩායමක් බලයට පත් වීම ද අපට පාලනය කළ නොහැකියි. මේ සියල්ල සිදු වී තිබෙන්නේ අපේ බලපෑමෙන් හා පාලනයෙන් තොරවයි. එහෙත් දේශපාලනය කිරීමේ දී හා ආණ්ඩු කිරීමේ දී මේ යථාර්ථය තේරුම් ගැනීමට සිදු වෙනවා. එසේ ම ඉන්දියානු හොඳ හිත පළුදු කරගෙන පරිප්පු කෑමේ අත්දැකීම් ද අපේ දේශපාලනඥයන් නොදන්නවා නොවෙයි. මේ නිසා ඉන්දියානු මිත්‍රත්වයේ වටිනාකම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හොඳින් තේරුම් ගෙන සිටිනවා. එතුමාගේ කාලයේ එය වඩාත් හොඳින් වර්ධනය කර ගත්තේ ඒ නිසායි.

මේ නිසා යුද ජයග්‍රහණයට මෙන් ම ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික හා දේශපාලන ජයග්‍රහණවලදී ඉන්දියානු මෙන්ම චීන සාධකය අපට වැදගත්. විශේෂයෙන් ම උතුරු නැඟෙනහිරට දේශපාලන විසැඳුමක් ලබා දීමේ දී ඉන්දියානු සාධකය බෙහෙවින් වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා