ඔළු බක්කෝ නැති පී‍්‍රති වෙසක් !

ඔළු බක්කෝ නැති පී‍්‍රති වෙසක් !

අප ජීවත්වන පෘථිවියේ සිට චන්ද්‍රයා තෙක් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් තුන්ලක්ෂ අසූහාර දහසකි. චන්ද්‍රයා හෙවත් සඳ පෘථිවිය වටා ඉලිප්සියාකාර ගමනක යෙදෙන අතර වරින්-වර පොළොවට සමීප වේ. එවන් අසිරිමත් කාලයක් වෙසක් මාසයත් සමඟ උදාවී ඇත. මේ දිනවල නැඟෙනහිර අහසේ බැබළෙන පූර්ණ චන්ද්‍රයා ප්‍රමාණයෙන් විශාල ය. වටකුරු ය. වෙනදාට වඩා දිස්නයෙන් වැඩි ය. 14%ක වැඩි විශාලත්වයක් ද, 30%ක වැඩි දිස්නයක් ද චන්ද්‍රයා වෙතින් අපේක්ෂා කළ හැකි බව තාරකා විද්‍යාඥයන් පවසා තිබිණි.

සඳ දුටු කළ පහළ වන්නේ සෞම්‍ය සිතිවිලි ය. පූර්ණ චන්ද්‍රයා දෙස බලමින් කවි - සින්දු ලියන අය සිටිති. ප්‍රේමණීය ගායනා හා සංවේදී සංගීත ප්‍රබන්ධ නිමවන අය සිටිති. ඒ හැරෙන්නට සමස්ත සමාජය ම යම් නිවී - සැනසීමකට පත් ව ඇති බව අවට ලෝකය දෙස බලන විට දකින්නට ලැබේ. ශ්‍රී ලංකාව පුරා දකින්නට ලැබෙන්නේ ද නිවී - සැනසීමකි. විනයගරුක බවකි. ශාන්ත බවකි. වෙසක් උත්සවය පැවැතියේ වුව ලේ රත් වී කරන අරගල මීට පෙර දකින්නට ලැබිණි. එහෙත් මෙවර ගම්-නියම්ගම්-නගර-උප නගර ඔස්සේ ශාන්තිය ගලා යනු දක්නට ලැබිණි.

බුද්ධ යන වචනයේ එක් අදහසක් වන්නේ අවබෝධ කර ගැනීම හෙවත් වටහා ගැනීම ය. බෞද්ධ දර්ශනය තුළ අණ කිරීමක් නැත. බලහත්කාරයක් නැත. එහි ඇත්තේ ලෝකයෙහි හා ආත්මයෙහි යථාර්ථය වටහා ගැනීම සඳහා මිනිසා පෙලඹවීම ය. මේ වෙසක් උත්සවයේ දී අපේ සමාජය අවබෝධයකින් කටයුතු කරන බව ඉතා පැහැදිලි ය. ඈත පිටිසරබද පළාත්වල සිට මහ නගර දක්වා ද, අගනගරය දක්වා ද බෞද්ධ සිද්ධස්ථාන උපාසක – උපාසිකාවන්ගෙන් පිරී-ඉතිරි තිබෙනු දක්නට ලැබිණි. ආමිස පූජාවලට මෙන් ම ප්‍රතිපත්ති පූජාවලට ද ප්‍රධාන තැන ලැබී තිබිණි. මෙතරම් විශාල පිරිසක සිල් සමාදන් වූ පොහොයක් මීට පෙර නොතිබෙන්නට ඇත.

ඔළු බක්කෝ සංදර්ශන නැත. කොටි නැටුම් නැත. බයිලා සාජ්ජ නැත. මත්පැන් සංග්‍රහ නැත. මැජික් සංදර්ශන නැත. රූකඩ නැත. බොරු කකුල්කාරයන් නැත. ඒ වෙනුවට බොදු බැති ගී ඇත. දන්සල් ඇත. තොරණ ඇත.

වෙසක් සැරසිලි ඇත. තවත් විස්මයජනක කරුණු කිහිපයක් ද වාර්තා වී ඇත. පළමුවන්න ලොව විශාල ම බෞද්ධ කොඩිය ශ්‍රී ලංකාවේ වෑවල ප්‍රදේශයේ දී නිර්මාණය වීම ය. ජනාධිපතිවරයා ද එම කොඩිය නැරඹීමට ගියේ ය. එහි විශාලත්වය ව.අ. 20,000කි. මීට පෙර නිර්මාණය කළ ලොව විශාල ම බෞද්ධ කොඩිය ඇත්තේ තායිලන්තයේ ය. එහි විශාලත්වය ව. අ. 9000කි.

ලොව දිග ම පිරිත් නූල හෙවත් පිරිත් හුය නිර්මාණය වූයේ ද මේ වෙසක් මාසයේ ය. ඒ මහනුවර - බෝගම්බර බෝධිමළු විහාරස්ථානයේ දීය. බෞද්ධයා මෙබඳු දැවැන්ත නිර්මාණ සඳහා යොමුවන්නේ අප්‍රමාණ බෞද්ධ භක්තියකින් යුතුව ය. අනෙක් අතට, ඉවසීම, විභව ශක්තිය හා කලා විඥානය ද ඒ මගින් ප්‍රකට කෙරේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙබඳු කුසලතා හැඳින්වූයේ ‘වැටහෙන නුවණ’ යන විශේෂ යෙදුමකින් ය. ‘වැටහෙන නුවණ’ යනු අලුත් දේ තැනීමේ හැකියාව යි’ හෙවත් පරිකල්පන හැකියාව යි. සෑම පුරවැසියකු ම වැටහෙන නුවණින් යුතුව කටයුතු කරන්නේ නම්; අපගේ ජීවන තත්ත්වය මීට වඩා උසස් වනු ඇත.

මෙවර වෙසක් අසිරියත් සමඟ ශ්‍රී ලාංකේය සමාජය යම් පරිවර්තනයකට ලක් වූ බව අත්දැකීමෙන් ම අවබෝධ කර ගන්නට ලැබිණි. නගරවල සෙන¼ඟ පිරී-ඉතිරී සිටි’මුත්, ගැටකපන්නන්, මංපහරන්නන්, ස්ත්‍රීනට කොළොප්පම් කරන්නන් දකින්නට නො ලැබිණි. ඔළුබක්කෝ වැනි කෝළම් දර්ශන නැති නිසා ද; මත්පැන් තහනම් කර තිබූ නිසා ද මේ සංසුන් තත්ත්වය උදාවූයේ යැයි සමහරු කියති. කෙසේ වුව දූ –දරුවන් කැටුව වැඩිහිටි මවුවරුන්, පියවරුන් ශාන්ත ලෙස බුද්ධාලම්භන පී‍්‍රතිය භුක්ති විඳිනු දකින්නට ලැබිණි. නගර කරා ඇදී එන ජන ගංගා හැසිරවීම සඳහා පොලිස් නිලධාරීහු ඉතා විශිෂ්ට සේවාවක් ඉටු කළහ.

ප්‍රධාන වෙළෙඳ නගරය වූ කොළඹ ඉතා රමණීය හා විධිමත් වෙසක් උත්සව රැසක් පැවැත් වේ. ජනාධිපති කාර්යාලයේ හා ගංගාරාම විහාරස්ථානයේ මෙහෙයැවීමෙන් පවතින “බුද්ධ රශ්මි” වැඩසටහන, ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයැවීමෙන් බෞද්ධාලෝක මාවතේ පවතින වෙසක් උත්සවය, ලේක්හවුස් ආයතනය මගින් පවත්වනු ලබන ”අමා දහර” වෙසක් වැඩසටහන හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් පැවැති නෙළුම් පොකුණ වෙසක් උලෙළත් ඒ අතර ප්‍රධාන යැයි අපට හැඟේ. එහි වෙසක් සැරසිලි විචිත්‍ර ය. මහජනයාට සහභාගී විය හැකි බෞද්ධ වැඩසටහන් ද මේ අතර පවතී.

මෙවර වෙසක් උත්සවයේ දකින්නට ලැබෙන තවත් විශේෂ වෙනසක් තිබේ. එනම්; දන්සල් සඳහා ප්‍රමිතියක් ඇති කිරීම ය. සෞඛ්‍ය අමාත්‍යංශය ඊට මැදිහත් ව සිටී. දන්සල් දීම බෞද්ධයාගේ පුරාණ චාරිත්‍රයකි.

එහෙත් තරගයට දන්සල් දෙන විට ආහාරවල පිරිසුදුභාවය, සෞඛ්‍යාරක්ෂක බව කෙලෙසී යයි. එහෙත් මෙවර එය දක්නට නො ලැබිණි. ආහාර පිසින ජලය ගැන පවා සෙවිල්ලක් තිබිණි. “දන්සලෙන් බත් කෑ - දෙදෙනකු රෝහලේ” යන පුවත්පත් සිරස්තලය තව ම අප දුටුවේ නැත. එහෙත් මීට පෙර සෑම වෙසක් උත්සවයක දීම ඉහත “හෙඩිමෙන්” පුවත්පත් සැරසිණි.

රටේ බොහෝ දේ යහපත් යන විට ජාතික උත්සව ද සාර්ථක වනු ඇත. යහපත් වනු ඇත. අදට වඩා හෙට හොඳ වනු ඇත. අපි මීළඟ වෙසක් උත්සවය ගැන ලියන්නට දින ගනිමු !

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා