ආර්ථික අනාවැකි කියන්න හර්ෂ තවම පුංචි වැඩියි

ආර්ථික අනාවැකි කියන්න හර්ෂ තවම පුංචි වැඩියි

අජිත් නිවාඩ් කබ්රාල්

මහ බැංකු අධිපති

ලැබූ ආර්ථික ජයග්‍රහණ පිළිබඳ හා විපක්ෂය නිරතුරුවම එල්ල කරන විවේචන පිළිබඳත් , ඉදිරි ආර්ථික අභියෝග පිළිබඳත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* පසුගිය වසර හය , හත ඇතුළත රට ලැබූ ආර්ථික ජයග්‍රහණ පිළිබඳ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විවිධ විවේචන ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?

පසුගිය අවුරුදු හය තුළදීම හර්ෂ ද සිල්වා මහතාගේ කතා විග්‍රහ කර බැලුවොතින් පෙනෙන එක දෙයක් තමයි එයාගේ අනාවැකි සියල්ලම පුහු ඒවා බව. සාස්තර කියන්න ඉගෙන ගන්න ආධුනිකයෙක්ට වුණත් හර්ෂ මහතාට වඩා හොඳට අනාවැකි කියන්න පුළුවන් බවයි මගේ මතය.

සියයට සීයයක්ම අනාවැකි වරද්ද ගන්න පුළුවන් වන්නේ බොහොම ටික දෙනාටයි. ඒ ගෞරවය හර්ෂ මහතාට අත්වෙන්නට අවශ්‍යයි. පසුගිය දවස් කිහිපයේදී ඔහු පැවැසුවේ අපේ සංචිත ශීඝ්‍ර ලෙස අඩු වෙනවා කියලා. ඔහුගේ අනාවැකිය ප්‍රකාශ කොට සතියක් ගත වන්නට මත්තෙන්, අපේ සංචිත සියයට 5ටත් වඩා වැඩි වුණා. තව ස්වල්ප දිනයකින් තවත් සියයට 5කින් පමණ වැඩි වෙන්නට නියමිතයි. එසේ නම්, හර්ෂ මහතාගේ කතාවල බොළඳ බව හැමෝටම පැහැදිලි වෙනවා.

දැනට දවස් කිහිපයකට පෙර ඔහු පැවැසුවේ අපේ ඒක පුද්ගල ආදායම, මහ බැංකුව විකෘති කරලා ජනතාවට ලබා දුන්නා කියලායි. මෙතැනදී ඔහුගේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට අපිට සිදුවෙනවා. අපේ රටේ ඒක පුද්ගල ආදායම ගණනය කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවයි. ඒ නිසා ඒ ක්‍රියාවලියේ කිසිම වැරැද්දක් නෑ.

ප්‍රශ්නය තිබෙන්නේ හර්ෂ සිල්වා මහතාගේ කටයුත්ත වන්නේ ඒකපුද්ගල ආදායම අඩුවීමක් දැකීමයි. එය සිදුවන්නේ නැතිකොට ඔහු හා ඔහුගේ පක්ෂය මහ බැංකුවට බැණලා වැඩක් නෑ. ඒ අයගේ කාලයේ අද අපි කරන දේවල් ඒ අයට කරන්නට බැරි වූ නිසා අපට බැණලා වැඩක් නෑ. මේ ආකාරයටම යුද්ධය කරන විටත් ඔවුන් යුද්ධය පිළිබඳ අභූත චෝදනා නැගුවා. කිලිනොච්චිය මුදා ගන්නා විට ඒ අය කිව්වේ මැදවච්චියට ගියා කියලායි. අලිමංකඩ හිටි ත්‍රස්තවාදියා පරද්දන විට කිව්වේ පාමංකඩ ගියා කියලයි. මේවා ජනතාවට මතකයි.

* විපක්ෂය මොකද මේ ආකාරයේ විවේචන කරන්නේ?

අද, අපේ රටේ පුදුුමාකාර සංවර්ධනයක් දකින කොට සමහර අයට මේ තත්ත්වය උහුලන්න බැරි වෙනවා. එතකොට අපිව දකින්නේ “මිසයිල” හැටියටයි. ඒ කාලයේ ඒ අය තොප්පිගල හැඳින්වූයේ අනවශ්‍ය කැළෑවක් හැටියටයි. එහෙම අය අපට අපහාස කරන කොට, අපි සංතෝෂ වෙනවා. තොප්පිගල නැවැත නැවැතත් ඒ අයගේ මතකයට එනවා වාගේම, ඉදිරි කාලයේදී මිසයිල ගැනත් ඒ අයට මතකයට එන බව අපිට විශ්වාසයි. අද අපේ රටේ යටිතල පහසුකම් ශීඝ්‍රයෙන් හා මනා ලෙස වර්ධනය වෙනවා ඕනෑම කෙනෙකුට පේනවා.

* ආර්ථික වර්ධනය පිළිබඳ මේ ඉලක්කම්, සංඛ්‍යා දත්ත තොරතුරු කන්නද? කියා ඇතමෙකු අහනවා.

උද්ධමනය මනින ක්‍රමයත් , එය ජාත්‍යන්තරය අනුගමනය කරන ක්‍රමය නිසාත් ඒ ක්‍රමයට යම් කෙනෙක් පහර ගසනවා නම් එයින් පෙනෙන්නේ ඒ අය මේ විෂය ගැන හොඳ අවබෝධයක් නැති බවයි. පසුගිය යුගයන් හිදී ඉතා දක්ෂ ආර්ථික විශේෂඥයින් කියන අය, මේ රට පාලනය කළ සමයන්හිදී උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීමට ඔවුන්ට හැකිවුණේ කලාතුරකින්. ඔවුන්ට සියයට 4ක පමණ වර්ධන වේගයක් තමයි සාමාන්‍යයක් හැටියට පවත්වාගෙන යන්නට හැකි වුණේ. ඒ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකිවෙලා තිබෙනවා.

* මෑතකදී අපේ ආර්ථිකයේ සිදුවූ පසුබෑම් එසේම තියෙයිද?

මෑතකදී අප දුටු එක් දෙයක් නම්, අප රටේ විදේශ වෙළෙඳ පරතරයෙහි යම් වැඩිවීමක් තිබීමයි. ඒ වැඩිවීම පාලනය කිරීම අවශ්‍යයයි. ඒ සඳහා රජයට හා මහ බැංකුවට යම් ක්‍රියාවලියක් දියත් කිරීමට අවශ්‍ය වුණා. යම් පුද්ගලයෙකුට රෝගී තත්ත්වයක් මතු වුවහොත්, ඒ පුද්ගලයාට ඉක්මනින් ප්‍රතිකාර කැර, සුවකර ගැනීම අවශ්‍යයයි. සමහර විට ටික කලකට ලබාදෙන ඖෂධ නීරස වෙන්නට පුළුවන්. එහෙත් ඖෂධය ඇඟට වැටුණාට පස්සේ පුද්ගලයාගේ රෝගී තත්ත්වය සුව වූ විට නැවතත්, ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. ඒ ආකාරයටම අප රටේ වෙළෙඳ පරතරය යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුව අපට නව සමතුලිතතාවක් ආර්ථිකයේ දක්නට පුළුවන් වෙනවා. එය සිදුවන්නට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. ඒ වුවත් ආර්ථික වර්ධන වේගයේ යම්කිසි අඩුවීමක් මේ වසරේ දක්නට ලැබේවි. එහෙත්, එවැනි අඩුවීමක් සමඟත් 2012 වසරේදී අපේ ආර්ථික වර්ධන වේගය සියයට 7.2 වෙනවා ඇති. ඒ අගය, පසුගිය කාලයන්හි තිබූ වර්ධනය සමඟ සසඳද්දී දෙගුණයක පමණ අගයක්.

* ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආර්ථිකය මෙහෙයවනවා. එහි ඇති සුවිශේෂී බව කුමක්ද?

ජනාධිපතිතුමාගේ සංකල්පය වූයේ ආර්ථිකය පාලනය කරද්දී ජනතාව ප්‍රමුඛ කරගෙන ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ පදනම මත ආහාර සුරක්ෂිතාවට හා සාධාරණ මිලකට දේශීය ආහාර සපයන්නට විශාල වැඩපිළිවෙළක් රජය දියත් කොට තිබෙනවා. එම ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යනු ලබනවා. ඒ නිසා අද ලෝකයේ අර්බුද මධ්‍යයේ වුණත්, අප රටේ ආහාර සංචිත සෑහීමකට පත්විය හැකි මට්ටම්වල පවතිනවා. ඉදිරියේදී එවැනි තත්ත්වයක් රඳවා ගැනීමට අපට හැකිවෙලා තිබෙනවා. එපමණක් නොව, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ට, ව්‍යවසායකයින්ට දැඩි සහයෝගයක් ලබාදී තිබෙනවා. ගමේ පාරවල්වලට කොන්ක්‍රීට් දැමීම නිසා සියලුම ගම්මාන අද දැවැන්ත ලෙස සංවර්ධනය වෙලා තිබෙනවා.

* වසර 2005 රටේ පැවැති ආර්ථික, සමාජ වටපිටාව ගැන කතා කළොත්?

2005 දී අප රටේ විදුලිය ලැබුණේ රටේ ජනගහනයෙන් සියයට 72කට පමණයි. එහෙත් අද වන විට ඒ සංඛ්‍යාව සියයට 92කට වැඩිි වී තිබෙනවා. 2013 අවසන් වන්නට පෙර, විදුලිය සියයට සියයක්ම ලබා දීමට රජය කටයුතු කරගෙන යනවා. මේවා හැමෝගේ ම ඇස් ඉදිරියේ සිදුවන දේවල්. ගමේ මේ දේවල් සිදුවනවාත් සමඟම ජාතික මට්ටමේ වරායන් 5ක් අද තැනෙනවා. ජාත්‍යන්තර ගුවන්තොටුපළක් තැනෙනවා. ශ්‍රී ලංකාව වටේම අධිවේගී මාර්ග ඉදිකරනවා. දේශීය ගුවන්තොටුපළ 14ක් අලුත්වැඩියා කරනවා.

අද වන විට මාස 38ක් වැනි දීර්ඝ කාලයක් තුළ, අපට දිගින් දිගටම උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීමට හැකිවෙලා තිබෙනවා. එය ලංකා ඉතිහාසයේ වැඩිම කාලයක් උද්ධමනය තනි ඉලක්කමක තිබුණු කාලයයි. ඒ අතර, ඒ අයගේ පාලන කාලයේදී, සියයට 8ක වර්ධන වේගයක් වාර්තා කර ගත හැකිවූයේ 1978 දී පමණයි. ඊට පසුව, ආර්ථික වර්ධනය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. එය පවත්වාගෙන යන්නට බැරිවුණා. එහෙත්, පසුගිය අවුරුදු 2 තුළදීම, අපට සියයට 8කට වැඩි වර්ධන වේගයක් වාර්තා කර ගන්නට හැකිවුණා. එපමණක් නොවේ. ඒ අයගේ පාලන කාලයේදී විදේශ සංචිත තිබුණේ ඇ. ඩො.මිලියන 2,000ක පමණ අගයක පමණයි.

එහෙත්, අද විදේශ සංචිත ඇ. ඩො. මිලියන 6,100ත් පසු කරලා. තව ටික දවසකින් ඇ. ඩො. මිලියන 6,500ත් පසු කරනවා. තව මාස කීපයකින් ඇ. ඩො. මිලියන 7,000ක් පමණ වාර්තා කරනවා. ඒ අයගේ කාලයේදී ලියාපදිංචි වූ මූල්‍ය ආයතන 13ක් සහ බැංකුවක් කඩා වැටුණා. මේ යුගයේදී, ඒවා සියල්ලක්ම රැකගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේදී, රුපියලේ අගය අවපාත වුණේ සියයට තුන හතරකින් නෙමෙයි. සියයට පනහටත් වඩා වැඩි අගයන්වලින්, මේවා ඔවුන්ට මතක නැද්ද? ඒ කාලවල එක රැකියාවක්වත් දෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට චක්‍රලේඛ ගැසුවා. රජයේ ආයතන වික්කා. රජයේ සේවකයන් ගෙදර යවන්න සැලැසුම් ඉදිරිපත් කළා. එහෙත් , දැන් එවැනි කිසිදු දෙයක් කෙරෙන්නේ නැහැ. මේවා රටේ ජනතාව හොඳට දන්නවා. සමහරවිට, දැන් පවතින ආර්ථික වාර්තා සහ වර්ධනය දකිද්දී, විපක්ෂයට ඊර්ෂ්‍යාවක් හැඟෙන්නට පුළුවන්.

ඔවුන්ගේ බලයට පත්වීමේ සිහින බොඳවී යනවා යැයි සිතෙන්නට පුළුවන්. එසේ සිතීම සාධාරණයි. එවිට, ජනාධිපතිතුමාට හෝ ඇමැතිවරුන්ට හෝ නිලධාරීන්ට අපහාස කරන්නට සහ බණින්නට ඔවුන්ට සිතෙන්නට පුළුවන්. එවැනි හැඟීම් ගැන අපි බුද්ධිමත්ව සිතලා, ඔවුන් කෙරෙහි අනුකම්පා කරන්නට ඕනෑ. ඔවුන් එක්ක රණ්ඩුවලට, වාද විවාදවලට පැටලෙන්නට අවශ්‍ය නැහැ. නමුත්, ඇත්ත තත්ත්වය ජනතාවට පැහැදිලි කරලා දෙන්නට ඕනේ.

අද සෑම ගමක්ම ආවරණය වන ලෙස ගම්දනව් 14000 “දිවිනැගුම” හරහා ව්‍යාපෘති කෙරීගෙන යනවා. අපේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරන අයට මේවා පෙනෙන්නේ නැද්ද? ඒ අය මේ පාරවල්වල යනකොට යන්නේ ඇස් වහගෙනද?

* මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වෙලා ජනතාවට පීඩනය ගෙන දෙන ප්‍රතිපත්ති ගන්නවාද ?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා අපි මුලින්ම ණය මුදලක් ගන්නට යන කොට හර්ෂ සිල්වා මහත්මයා කිව්වේ, යන්න එපා! කියලා. එහෙම ගියොතින් රට විනාශ වෙයි කියලා කිව්වා. ඒ වුණාට කිසිම අනවශ්‍ය හෝ රටට බර පැටවෙන හෝ කොන්දේසි නොමැතිව අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණයක් ලබා ගත්තා. මෑතකදී අපි තවත් ණය ගත යුතු ද? නැද්ද? යන බව සාකච්ඡා කරද්දි, ඒ විවාදයට කඩාපැනලා ඔහු පවසා සිටියේ දැන් මුදල් ලබා ගත යුතුයි කියලායි. ඒ අයම දන්නේ නෑ. ඒ අය මීට පෙර කිව් දේ මොනවාද කියලා. ඒකෙන් පෙනී යන්නේ රටේ අවශ්‍යතාවවත්, ආර්ථික විශ්ලේෂණයක්වත් අනුව නොවෙයි, ඔවුන්ගේ මතය ඉදිරිපත් වන්නේ. ඔවුන් එසේ කරන්නේ දේශපාලන කෝණයකින් පමණයි. මෙය ඉතා කනගාටුවට කරුණක්.

* ශ්‍රී ලංකා මහ බැංකුව වැඩකරන්නේ රටේ ජනතාව, යහපත ගැන සිතලා බවයි ඔබ කියන්න හදන්නේ?

අපේ කටයුතු අපි දියත් කරන්නේ රට ගැන සිතලායි. රටේ අවශ්‍යතාව අනුවයි. රටේ යහපත උදෙසායි. එසේම නම් අවශ්‍ය වූ විට ණය ලබා ගැනීමටත්, අවශ්‍ය නොවන්නේ නම්, එසේ ණය ලබා නොගන්නත් අපිට ආත්ම ශක්තියක් තිබෙනවා. ඒත්, ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ අපේ මේ ක්‍රියාවලිය හරහා අපට ඉතා සාර්ථක ලෙස ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට හැකි වූ බවයි. අප කර ඇති සමහර ක්‍රියාවල යහපත් ප්‍රතිඵල අවබෝධ වන්නේ තව ටික කලකින්. බොහෝවිට ආර්ථිකමය වශයෙන් ගන්නා ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රතිඵල දවසින් දෙකෙන් දකින්නට බැහැ. ඒවායේ කාලෝචිතභාවය සහ ඒවායේ ප්‍රඥාවන්ත භාවය සමස්තයක් වශයෙන් වැටහෙන්නේ ටික කලකට පසුවයි. එම කාල පරතරය තුළදී සමහරවිට අප විවේචනයට ලක්වන්නට පුළුවන්. එය ස්වභාවිකයි. ඒ වුණාට අපි ඒ කාලය තුළදී ඉවසීමෙන් එම විවේචන දරාගෙන සිටින්නට ඕනෑ.

චීනයේ හිටපු නායක මාඕ සේතුංතුමා කිව්වේ, සතුරන් ඔබට බනිනවා නම්, ඒ ගැන සංතෝෂවන්න, සතුරන් ඔබට ප්‍රශංසා කරනවා නම්, ඒ ගැන පරෙස්සම් වන්න කියලායි.ඒ අවවාදය මම අනුගමනය කරන කෙනෙක්!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා