සෑම ශ්‍රී ලාංකිකයකුටම එකම වෙසක් සඳක්

සෑම ශ්‍රී ලාංකිකයකුටම එකම වෙසක් සඳක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය ආරම්භ කරමින් එදා පෑයූ රන් පැහැති වෙසක් සඳ නැෙඟනහිර අහසින් මෝදුවන්නට දඟලන්නේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණය සනිටුහන් කරන්නටය. සැමදා පායන වෙසක් සඳ කිසිම වෙනසක් නැතිව උදාවන්නේ සියලු සතුන් වෙත එක සේ වෙසක් සිසිලස බෙදා දෙන්නටය. වෙසක් පෝදාට පාසල් නිවාඩු නිසා සිකුරාදා පෙරවරුවේ පාසල් දරු දැරියෝ පාසල් තුළම සිල් ගත්හ. තෙල් මල් පහන් රැගෙන පාසලට පේන තෙක් මානයේ ඇති පන්සලට ගොස් මල් පහන් පූදා බණ ඇසූහ. වෙනදාට ඝෝෂාකාරී වන පන්ති කාමර සිල් සුවඳින් නැහැවුනේ ය. කලින් දා සන්ඩු සරුවල්වලින් නොඅඩු පන්ති කාමර සාධු නාදයෙන් පාසල් දරුවන්ගේ සිත් සතන් පහන් කළේය. තමන්ගේ පුංචි උපාසක මහතාටත් උපාසක මහත්මියටත් මව්පියෝ පාසලට ගොස් හද බැතියෙන් දන් පිළිගැන්වූහ.

වෙනදාට අම්මාට තාත්තාට වඳින දුව-පුතා සිල් සමාදන් වී සිටි නිසා සුවපත් වේවායි ආශීර්වාද කළා පමණි. වෙසක් පොහොයට අපට ලෙහෙසියෙන් අමතක නොවන අන්‍යාගමිකයෙකු අපට සිහිපත් වේ. ආගම් භේදයෙන් හිස අවුල් නොකරගෙන සියලු ආගම් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් තාර්කිකව විමසා බලා හොඳ දේ සිත් හි ධාරණය කරගත් ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා මෙහිදී අප සිහිපත් කරන්නේ වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කරන්නට ගත් වෙහෙස ඵල දැරූ නිසාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඔහු ගෙන ගිය සටන අනුව වෙසක් පොහොය දා එම සංවිධානය ද පිංකම් කොට වෙසක් සැමරුවේය.

ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා අන්‍යාගමිකයෙකු වුවත් ඉන්දියාවේ සිට ගෙන ආ බෝධි අංකුරය තම නිවසේ තැන්පත් කොට සති 2ක් සාත්තු සප්පායම් කොට ශ්‍රී මහා බෝධිය අසල රෝපණය කළ ආකාරය අපට අද වගේ මතකය. එදා රෝපණය කළ බෝධි අංකුරය අතු රිකිලි ලා වර්ධනය වුවා සේ රට පුරා ආගමික සහජීවනය වර්ධනය විය.

සියලු ආගම් අදහන අය එකම මතයක පිහිටා වෙසක් පොසොන් ආදී සියලු පෝදා එකම මතයක සිට පිංකම් කරනු අප දැක තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය ගොඩනගන්නට ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගත් උත්සාහය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාග් ශක්තියෙන් තහවුරු වී තිබේ.

මෙවන් පින් කැමති මිනිසුන් සිටින බෞද්ධ රටේ වෙසක් පෝය ළං වන ෂට ද පව් කරන අය සිටිති. වෙසක් පෝය ලබන, පුරන වේලාව සිල් ගන්නා දිනය, දන්සලක් දෙන ආකාරය, වෙසක් කූඩුවක් පත්තු කරන හැටි විමසිය යුතුව තිබුණ ද පව්කාරයන් විමසිලිමත් වන්නේ තැබෑරුම් අරින වහන වෙලාව ගැන පමණි. අපි ඒ අයට අනුකම්පා කරමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා