2012-11-02

 

ධර්මයෙන් සැබෑ පිළිසරණ ලබමු

ධර්මයෙන් සැබෑ පිළිසරණ ලබමු

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන විදිහට ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම අතිශය දුෂ්කර දෙයක්. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේව මුණගැහුන වෙලාවකදී ප්‍රකාශකර සිටියා, "ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ ලිච්ඡවී රාජ කුමාරවරුන් ඊතලෙන් ඉලක්කයට විදින්ට ඉතාම දක්ෂයි, හරිම පුදුමයි, විස්මිතයි. එතරම්ම දක්ෂ කමක් ඒ කුමාරවරුන් තුල තිබෙනවා" කියල.

ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනව, "පින්වත් ආනන්ද, ඔබ කියන්න ඊතලයෙන් ඉලක්කයට විදින එකද දුෂ්කර දේ එහෙම නැත්නම් අශ්වයෙකුගේ ලොම් ගහක් හතකට පළල ඒවගේම හතකට පළපු අශ්ව ලෝමයකින් හතට පළපු අශ්ව ලෝමයට විදිනව ඒකද අමාරු දේ" කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ අසා සිටිනව, "අර ලිච්ඡවී කුමාරවරුන් විදින ඒ දුන්නෙන් විදීමද අමාරු, එහෙම නැත්නම් මේ හතක පළපු අශ්ව ලෝමයෙන් තවත් ඒ වගේ හතකට පළපු අශ්ව ලෝමයකට විදින එකද අමාරු.

එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනව, "ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ දුන්නෙන් ඊතලයකින් ඉලක්කයට විදින එක එච්චර අමාරු නෑ. නමුත් අශ්ව ලෝමයක් හතකට පළල ඒ වගේම හතට පළපු අශ්ව ලෝමකයකින් අශ්ව ලෝමයකට විදින එක තමයි අමාරු දේ කියල.

එතකොට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව, "පින්වත් ආනන්ද ඒකට වඩා අමාරුයි සක්ඛාය දිට්ඨිය බිඳගන්න එක කියල". එතකොට බලන්න මේ සක්ඛාය දිට්ඨිය දුරු කිරීම කියල කියන්නේ ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය ඇතිකර ගැනීම. යමෙක් ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය ඇතිකර ගත්තොත් අන්න එයා තුළ තමයි සක්ඛාය දිට්ඨිය නිරුද්ධ වෙන්නෙ.

ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණයක් ඇතිකර ගන්නෙ නැතුව ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය උපදව ගන්නෙ නැතුව සක්ඛාය දිට්ඨිය නිරුද්ධ වෙන්නෙ නෑ. එතකොට සක්ඛාය දිට්ඨිය නිරුද්ධ කිරීම කියන දුෂ්කර කටයුත්ත කරගන්ට නම්, ඒ අතිශය දුෂ්කර කටයුත්ත ඒ සියුම් කටයුත්ත කරගන්ට නම් ඒ කෙනා මොකක්ද කළ යුත්තේ? චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥාණය උපදව ගත යුතුයි.

එතකොට අපි කවුරුත් තේරුම් ගතයුතු දෙයක් තමයි චතුරාර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥානයක් උපදව ගැනීම ඉතාම සියුම් ඉතාම දුෂ්කර වූ දෙයක් බව. නමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල මේ පිරිසිදු පරිපූර්ණ වූ ධර්මය අපි හොදින් ඉගෙන ගත්තොත් මේ දුෂ්කර කටයුත්ත අපි කාටත් කරන්ට පුලුවන්.

අපි තුළ තිබිය යුතු ගුණධර්මය තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපදවගත්ත, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ කෙරෙහි අප තුළ උපදවගත්ත විශ්වාසය. ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය කෙරෙහි අප තුළ උපදවගත් විශ්වාසය. අන්න ඒ විශ්වාසය අපි තුළ තිබෙනවා නම් ඒ ධර්මයට අනුව කටයුතු කරමින් මේ පරම ගම්භීර වූ අතිශය සියුම් වූ ඒ දුෂ්කර වූ කටයුත්ත කාටත් කරන්ට පුළුවන්.

අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව කටයුතු නොකට මේක අමාරුයි මේක බෑ කියල අපි අතහැර ගත්තොත් නොකර හිටියොත් අපි විසින් අපේ ආරක්ෂාවයි අතහැර ගන්නෙ.

නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව කටයුතු කළොත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්ට පුළුවන් කම තිබෙනවා. අන්න ඒ විශ්වාසය උපදවගැනීම පිණිස මේ ධර්මය අපි හොදින් ඉගෙන ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විදිහට ධර්මය අපි ඉගෙන ගත්තොත් පුරුදු කළොත් මේ ජීවිතය ගෙවෙන්ට මත්තෙන් මේ ධර්මයෙන් සැබෑ පිළිසරණ ලබන්ට අපිට පුලුවන්කම තිබෙනවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!