මාළු ලෑල්ල !

මාළු ලෑල්ල !

‘නැඟෙනහිර මාළු, වෙළෙඳ පොළට ආවොත්; කොළඹ මාළු මිල 50 % කින් පහත වැටෙනවා’

ඉහතින් සඳහන් වන්නේ පිට කොටුවේ මාළු වෙළෙන්දකු රූපවාහිනිය ට කී කතාවක් ය. ඔහු අත් දැකීමෙන් කළ කතා ව හරියට ම හරි ය. මීට වසර විස්සකට පෙර කොළඹ ට හොඳ ම මාළු ප‍්‍රවාහන ය වූයේ නැඟෙනහිරින් ය. කොටි ත‍්‍රස්තවාදියා ඒ කි‍්‍රයාවලියට තිත තැබී ය. එදා නැඟෙනහිර ට ප‍්‍රධාන ආදායම් මාර්ග තුනක් තිබිණි. එක ගොවිතැන යි. දෙක ධීවර කර්මාන්තය යි.

තුන සංචාරක ව්‍යාපාරය යි. වේළුපිල්ලේ පිරිබාහරන් ගේ ත‍්‍රස්තවාදය විසින් ආදායම් මාර්ග තුන ම විනාශ කරන ලදී. එහි පාඩු ව නැඟෙනහිර ට පමණක් නො ව සමස්ත ශ‍්‍රී ලංකාවට ම හොඳ හැටි දැනිණි. විශේෂයෙන් දේශීය මාළු මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේ නැඟෙනහිර මාළු නිෂ්පාදනය අඩ පණ වීමත් සමඟ ය.

නැඟෙනහිර මුහුදු තීරයේ ධීවර කර්මාන්තයට පනවා තිබූ තහංචි හා සීමා කිරීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නියමයෙන් ඉවත් කර තිබේ. ඒ සමඟ ම කලාපයේ ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබේ. නැඟෙනහිර ධීවරයන ට දැන් පැය විසි හතර පුරා ම සිය කර්මාන්තයේ යෙදෙන්න ට පුළුවන.

දියඹේ කිමිදී විසිතුරු මසුන් අල්ලන පිරිසට ද ස්වකීය කර්මාන්තය කරගෙන යෑමට පුළුවන. ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව ඉතා කාලෝචිත ය. ත‍්‍රස්තවාදය අවසන් කළ මොහොතේ පටන් ම ආණ්ඩු ව ආර්ථිකය නැංවීමට පියවර ගන්නා බව මෙයින් පෙනී යයි. ඉදිරි සති තුන ඇතුළත නැඟෙනහිර මාළු තොග පිටින් කොළඹට එනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය.

ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු තීරය ස්වභාවික ධන නිධානයක් ලෙස සැලකේ. එය මාළුන්ගෙන් ගහන ආර්ථික කලාපයෙකි. නැඟෙනහිර මුහුදු තීරය එයින් ද විශේෂ වේ. නිරිත දිග මෝසම සකී‍්‍රය වීමත් සමඟ බටහිර ට හා දකුණට වාරකන් කාලය පැමිණේ. ඒ සමයෙහි නැඟෙනහිර මුහුදු තීරය නිශ්චල ය. වාරකන් කාලයේ ආරම්භයත් සමඟ දකුණේ ධීවරයෝ නැඟෙනහිරට සේන්දු වෙති.

ඔවුන් ගේ ධීවර ගම් වලට වෙන් කෙරුණු ලෙල්ලම් නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටුවා තිබිණි. නැඟෙනහිර මුහුද රළු වන්නේ ඊසාන දිග මෝසම සකී‍්‍රය වීමත් සමඟ ය. එවිට නැඟෙනහිර ධීවරයෝ දකුණට සේන්දු වෙති. දේශගුණික රටාව ට අනු ව මෙරට ධීවරයන් තම කර්මාන්තය හසුරවා ගත් අයුරු ඉතා කදිම ය.

ශ‍්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම දකින ඕනෑ ම කෙනකු කල්පනා කරනුයේ අප ගේ ප‍්‍රධානම ආදායම් මාර්ගය ධීවර කර්මාන්තය විය යුතු බව ය. එහෙත් දේශීය පරිභෝජනයට අවශ්‍ය මත්ස්‍ය අස්වැන්නවත් අප විසින් නෙළා ගනු නො ලැබේ. මුහුදු තීරයට අමතරව මිරිදිය හා කළපු ආශ‍්‍රිතව ද ධීවර කටයුතු සිදු වේ. කුමන හෝ අවාසනාවන්ත තත්ත්වයක් නිසා අප ගේ මුහුදු තීරය නිසි ලෙස ප‍්‍රයෝජනයට ගෙනනැති බව සත්‍යයෙකි.

මෑත කාලයේ උත්සන්න වූ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් ද ඊට සෘජු ලෙස බලපෑවේ ය. මේ වන විට ත‍්‍රස්තවාදය අවසන් කර ඇති බැවින් ධීවර කර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ය. කලක ට ඉහත අප කෙරෙන් ඈත් වූ විදේශීය ආයෝජකයන් ගෙන්වා ‘ටින්මාළු’ සකස් කිරීමේ කර්මාන්යත ඇති කළ හැකි ය.

යුද්ධයක් පැවැතිය ද මේ රටේ කිසිවකුත් සාගතයෙන් මිය ගියේ නැත. එහෙත් මන්දපෝෂණය හා වෙනත් ශාරීරික දුබලතා පැතිර ගොස් තිබේ. මාළු පරිභෝජනයෙන් මන්දපෝෂණය තුරන් කර ගත හැකිය. එහෙත් මෙරට ආර්ථිකය ට අනුව මාළු යනු සුඛෝපභෝගී භාණ්ඩයක තත්ත්වයට පත් ව තිබේ. සාමාන්‍ය ආදායමක් ඇති පවුලකට දිනපතා මාළු ආහාරයට ගන්නට පුළුවන්කමක් නැත.

පෝෂණ ගුණයෙන් වැඩි තෝර, පරා, පොකිරිස්සන්, ඉස්සන් වැනි මාළු වර්ගවල මිල බෙහෙවින් අධික ය. පොකිරිස්සන් ආහාරයට ගන්නේ විදේශීය සංචාරකයන් හා ධනවතුන් වැන්නන් ය. තෝර මාළු ආහාරයට ගැනීමට ද සැලකිය යුතු වත්කමක් තිබිය යුතු ය. මාළු මිල අධික වන්නේ නිෂ්පාදනය අඩු නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

නගරයක මාළු ලෑල්ල වෙත යන දුප්පත් පාරිභෝගිකයා හූල්ලමින් ආපසු එන හැටි අප දැක තිබේ. මාළු වෙනුවට ආදේශකයක් ලෙස පවතින කරවල හා ටින් මාළු ද මිල අධික ය. මේ අනුව දුප්පත් ම පාරිභෝගිකයා ට සිදු වන්නේ මාළු අත හැර යෑමට ය. රට වටා මහ මුහුදක් ඇති දේශයක ජීවත්වන ජනතාව ට එසේ කරන්න ට සිදු වීම එක් අතකින් අපරාධයෙකි.

මේ රටේ දරුවන් ගේ මොළය වර්ධනය වීම සඳහා කුඩා කල පටන් ම මාළු ආහාරය ට දිය යුතු ය. විවිධ ආගමික මත දරන අය කුමක් කීව ද මාළු ටිකක් ආහාරය ට ගෙන නිරෝගී ව ජීවත් වීම ජනතාවට ත් රටටත් යහපතෙකි. නේපාලයට මුහුදු තීරයක් නැති බැවින් එරටෙහි ගංඟා ආශ‍්‍රිත ව ධීවර කර්මාන්තය සිදු කෙරේ. ශ‍්‍රී ලංකාවට ධන නිධානයක් බඳු මුහුදු තීරයක් ඇති බැවින් ධීවර කර්මාන්තය ට ප‍්‍රමුඛත්වය දී එය සංවර්ධනය කළ යුතු ය.

රටේ ආර්ථිකය ගැන නිරන්තරයෙන් ම කතා කරන විපක්ෂයට වැරැදුණු තැනක් තිබේ. එනම්; ත‍්‍රස්තවාදයට විසැඳුමක් නැති ව ආර්ථිකය ගොඩ ගත නො හැකි බව ඔවුන් තේරුම් නො ගැනීම ය. කොටියා මට්ටු නො කර නැඟෙනහිර ධීවර කටයුතු ආරම්භ කළා නම් පිරිබාහරන් විනාශ කිරීම ට කිසි කලෙකත් නො හැකි වනු ඇත.

ඔවුන් ධීවරයාට මුවා වී නැවත පහරදීම් ආරම්භ කරන බැවිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට නැංවීමේ කි‍්‍රයාවලිය යෝග්‍ය ස්ථානයෙන් ආරම්භ කළේ ය. දැන් එහි දෙවන තුන්වන පියවර බාධාවකින් තොර ව ඉදිරිය ට ගෙන යා හැකි ය. බඩු මිල වැඩි යැයි වළං බිඳීමට වඩා යථාර්ථයට මුහුණ දී නිසි විසඳුම් සොයා ගැනීම බුද්ධිමත් නායකයකු ගේ ගති ලක්ෂණය වේ.

ඉහත කරුණු සමාලෝචනය කරන කල්හි පෙනී යන්නේ ජනාධිපතිවරයා ඉතා නිවැරැදි තීන්දු ගෙන පියවරෙන් පියවර රට ඉදිරියට ගෙන යන බව ය. තව නොබෝ දිනකින් නැඟෙනහිර මාළු අස්වැන්න කොළඹට ලැබෙනු ඇත. ඒ මගින් සියලු මාළු වෙළෙඳ සල්හි තත්ත්වය යහපත් වනු ඇත. ඉනික්බිති අප ගේ දුප්පත් පාරිභෝගිකයාට මාළු ලෑල්ල ළඟට ගොස් හිස් අතින් ගෙදර ඒමට නො සිදු වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා