බි‍්‍රක් රටවල මංගල සමුළුව රැස්වෙද්දී ඩොලරයේ අනාගතය අවිනිශ්චිතතාවක

බි‍්‍රක් රටවල මංගල සමුළුව රැස්වෙද්දී ඩොලරයේ අනාගතය අවිනිශ්චිතතාවක

බ‍්‍රසීලය, රුසියාව , ඉන්දියාව හා චීනය ඇතුළත් බි‍්‍රක් රටවල පළමු සමුළුව පෙරේදා රුසියාවේ යෙකාටරින් බර්ග්හිදී පැවති අතර ගෝලීය සම්මත සංචිත ඒකකය ලෙස සැලකෙන ඩොලරයේ අනාගත අවිනිශ්චිතතාව මැද වඩාත් වෙනස් අන්තර්ජාතික මූල්‍ය පද්ධතියකට ලෝකය යොමු විය යුතු බව ඊට සහභාගි වූ රාජ්‍ය නායකයෝ එහිදී කියා සිටියහ.

රුසියානු ජනාධිපති දිමිති‍්‍ර මෙද්වදේව්, චීන ජනාධිපති හියු ජින්ටාඕ, බ‍්‍රසීල අගමැති ලූලා ඉනාසියෝ ද සිල්වා සහ ඉන්දීය අගමැති මන්මෝහන් සිං මේ ඓතිහාසික සමුළුවට සහභාගි වූ අතර වඩාත් සාධාරණ ලෝක පිළිවෙතකට යොමුවන මංපෙත හෙලි කිරීමට බි‍්‍රක් රටවල් පෙරමුණ ගත යුතු බවට ගිවිසගත් හ.

ඔවුන්ගේ අවසන් නිවේදනයෙන් කියැවුණේ ස්ථාවර, අපේක්ෂිත හා සංශෝධිත මුල්‍ය පද්ධතියකට යොමුවිය යුතු අතර ලෝක ආර්ථිකයේ පවත්නා වෙනස්කම් පිළිබිඹු වන පරිදි අන්තර් ජාතික මුල්‍යායතන සංශෝධනය කිරීමට කැප විය යුතු බව ය.

ලෝකයේ සංචිත මූල්‍ය ඒකකයන් හා ප‍්‍රධාන මුල්‍ය ඒකකය වන ඩොලරය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන බැවින් ඒ සියල්ල අතික‍්‍රමණය කරන නව මූල්‍ය ඒකකයක අවශ්‍යතාව පවත්නා බව මේ රාජ්‍ය නායකයෝ ප‍්‍රකාශ කළහ.

රුසියානු ජනාධිපති මෙද්මදේව් මෙහිදී කියා සිටියේ මූල්‍යමය නිෂ්පාදනයන් අගැයීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල යොදාගන්නා මුල්‍ය ඒකකයන් අතර රුසියාවේ රූබලය හා චීනයේ යුවාන් මුදලද ඇතුළත් වන පරිදි සංශෝධනයක් සිදු විය යුතු බව ය. මේ ‘බි‍්‍රක්’ රටවල් 4 කෙතරම් වේගයෙන් සංවර්ධනය වන්නේ ද යත් 2050 වන විට ඔවුන් ලෝක බලවතුන් වනු ඇති බව අමෙරිකානු ආයෝජන බැංකු විශේෂඥයකු කියා තිබේ.

වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉන් ඉක්මනින් අත් මිදීමට බි‍්‍රක් රටවල් කැපවිය යුතු බවත් ඒ අනුව එම රටවල ආර්ථික සංවර්ධන රටාවන් වෙනස් විය යුතු බවත් චීන ජනාධිපති හියු ජින්ටාඕ මෙහිදී පැවසී ය.

මෙහිදී ආර්ථිකය ශක්තිමත් කිරීමට හා පුළුල් කිරීමට මෙන්ම වෙළෙඳ සහයෝගීතා වර්ධනයට, විවෘත වෙළෙඳ පොල පැවැත්ම අඛන්ඩව සිදුවිය යුතු සේම ආරක්ෂණවාදයට එරෙහි විය යුතු බවද ඔහු කීය.

තවද එ.ජා. සහශ‍්‍රක සංවර්ධන අරමුණු පණගැන්වීමට බි‍්‍රක් රටවල් මුල් විය යුතු බවත් ආහාර සුරක්ෂිතතාව බලශක්ති සම්පත් හා ජන සෞඛ්‍ය සහතික කැරෙන පියවර අනුගමනය කළ යුතු බව කී ඔහු කෘෂිකාර්මික ආයෝජන වැඩි කිරීමට, කෘෂි තාක්ෂණය අභිවර්ධනය කිරීමට හා වෙළෙඳපොල අවිනිශ්චිතතා මැඩලීමට බි‍්‍රක් රටවල් කි‍්‍රයා කළ යුතු බව ද පැවසී ය. මේ අතර බි‍්‍රක් සාමුහිකය තවමත් තොටිල්ලක බිළිඳු අවස්ථාවේ පසුවන අතර එය සැබෑ අන්තර්ජාතික ව්‍යූහයක් බවට පත්වීමට දිගු කලක් ගතවනු ඇතිබව හා ඉදිරි කාලයේදී එය ලෝක මුල්‍ය පද්ධතිය හෙල්ල‍්‍රුම් කවනු ඇති බව විමර්ශකයින් පෙන්වා දී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා