ඊළඟ සංග‍්‍රාමය

ඊළඟ සංග‍්‍රාමය

මන් ගේ ඊළඟ සංග‍්‍රාමය මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා මෙහෙයැවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබේ. හම්බන්තොට දිස්ති‍්‍රක්කයට අයත් හඳුගල තේ කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා උක්ත අදහස පළකර ඇත.

හඳුගල කම්හල වසර විස්සක් තිස්සේ වසා දමා තිබිණි. ගිරිවාය නවෝදය වැඩසටහන යටතේ පිළිසකර කළ කම්හල දැන් යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ. ඉතා වාසනාවන්ත අවස්ථාවක දී ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය මේ රටේ බුද්ධිමතුන් ගේ පමණක් නොව සියලු බේබද්දන් ගේ ද අවධානයට ලක්විය යුතුය.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ සිටින කාලයේ ඓතිහාසික පා - ගමනක් ගොස් තිබේ. කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සිට කතරගම දක්වා ගිය ඒ පා - ගමන නිසා නිදාසිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවදි විය.

රටේ ජනතාව ගේ දේශපාලන චින්තනය වෙනස් විය. එහෙත් ඓතිහාසික පා - ගමන ආරම්භ කරන විට “පිස්සු වැඩක් !” යැයි බොහෝ දෙනා එය විවේචනය කළහ.

කෙසේ වුව 1994 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදු පෙරමුණ බලයට පත්වන්නේ මුලින් කී පා - ගමන නිසා ය. කොටි සංවිධානයට එරෙහි යුද්ධය ආරම්භ කරන විට ද එබඳු ම චෝදනා එල්ල විය. විවේචන ඉදිරිපත් විය.

මහින්ද රාජපක්ෂ මහතා යනු පුදුමාකාර අධිෂ්ඨාන ශක්තියක් ඇති පාලකයෙකි. ඔහු කියූ දේ ඉලක්කයට ම ඉටුකරන පුද්ගලයෙකි. කරන දේ කියන - කියන දේ කරන රාජ්‍ය තාන්ති‍්‍රකයකු ලෙසද ඔහු ප‍්‍රකට ය.

මේ අනුව කුමන දුෂ්කරතා පැවතිය ද මතට - තිත වැඩසටහන අකුරටම කි‍්‍රයාත්මක වනු ඇත. මත්පැන් පානය මිනිසා ගේ මූලික අයිතියක් යැයි කෙනකු කියන්නට පුළුවන.

ඊට අවහිර කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කරන පහරක් යැයි කියන්නට ද පුළුවන. ස්කාගාර සංස්ථාවෙන් ලැබෙන ආදායම ද මත්පැන්වලට අදාළ බදු ආදායම ද අහිමිවන්නේ යැයි තවත් තර්කයක් නැඟෙන්නට ද පුළුවන. එහෙත් මේ කිසිවක් මනුෂ්‍ය ජීවිතය තරම් වටින්නේ නැත.

බේබද්දන් ගේ පවුල් ආශ‍්‍රය කොට පවත්වන ලද සමීක්ෂණ ගණනාවක් තිබේ. ඒවායෙහි සඳහන් වන අන්දමට නාගරික, ග‍්‍රාමීය, වතු අංශවල කිසිදු වෙනසකින් තොරව පිරිමින් ඉතා තදබල ලෙස මතට ඇබ්බැහි වී තිබේ.

ඇතැමුන් තමන්ගේ දෛනික ආදායමෙන් හරි අඬකට වැඩි මුදලක් මත්පැන් සඳහා වැය කරන අතර සමහරු තමන්ගේ සියලු ආදායම් මත්පැන් සඳහා ම වැය කරති. මෙබඳු අයගේ පවුල් ජීවිත කෙළවර වන්නේ අතිශය ඛේදජනක ලෙස ය. අධික ලෙස මත්පැන් පානයට හුරු වූ තැනැත්තා කටයුතු කරන්නේ උන්මත්තකයකු ලෙස ය. ඒ අනුව ඔහු ඕනෑම අපරාධයකට ද පෙලැඹිය හැකි ය.

නූතන තරුණ පරම්පරාව දෙස බලන විට කනගාටුවට පත්විය යුතු කරුණු ගණනාවක් තිබේ. ඔව්හු වැඩිහිටි පරම්පරාවට නො සලකති. සමහරුන් මාපියන් ළඟ දණ නමන්නටත් කැමැති නැත.

ශ‍්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ දායාදයක් ව පැවැති සාරධර්ම පද්ධතිය එකිනෙක ගිලිහී යටයමින් පවතී. ඊළඟට බිහිවන පරම්පරාවේ විනයගරුකභාවය ගැන උපකල්පනය කිරීමත් දුෂ්කර ය.

ඒ තරමටම සමාජය නරක් වී තිබේ. එක අතකින් පාතාල කල්ලි සමාජය භීතියට පත්කරමින් මහා විනාශයක් සිදු කරති. තවත් අතකින් මත් උවදුර නිසා තරුණයා විකෘති පුද්ගලයකු බවට පත්ව සිටී. අද බහුල ලෙසින් සිදුවන කාම අපරාධ පසුපස ඇති ප‍්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය හා මත්පැන්වලින් තරුණ පරම්පරාව මානසික රෝගීන් බවට පත්ව සිටීම ය.

ශ‍්‍රී ලංකාව මීට පෙර හැඳීන්වූයේ ධර්මද්වීපය නම් ගෞරවණීය නාමයෙන් ය. නූතන ශ‍්‍රී ලංකාවට ධර්මද්වීපය යැයි කිවහොත් එය විහිළුවක් වනු ඇත. නැතහොත් පරුෂ වචනයක් හෙවත් කුණුහරුපයක් වනු ඇත.

 ත‍්‍රස්තවාදය පිටු දැක සමස්ත ශ‍්‍රී ලංකාව ම නිදහස් රාජ්‍යයක් බවට පත් කර ඇතත්, සමාජයේ ශික්ෂණය හෙවත් විනය ගැන සෑහීමකට පත්විය නොහැකි ය. බැලූ - බැලූ අත ස්තී‍්‍ර දූෂණ සිදු වේ.

තත්ත්වය කෙතරම් උග‍්‍ර ව්‍යසනයක් බවට පත් ව ඇතිදැ’යි කිවහොත් පාසල් දැරියකට තනි ව පාසල් යෑමට හැකි තත්ත්වයක් රටේ නැත. ජනාධිපතිවරයා පැහැදිලි කරන ලෙස පාතාල කල්ලි මෙන් ම මත් උවදුර ද වහා පිටුදැකිය යුතු ය. ඒ සඳහා සංග‍්‍රාමයක නිරතවීමට ආණ්ඩුව සූදානම් ය.

මීට පෙර රට පාලනය කළ ඇතැම් නායකයෝ ද මතට තිත ගැන කතා කළහ. නිදසුනක් කිවහොත් හිටපු ජනාධිපති රණසිංහ පෙ‍්‍ර්මදාස මහතා මත්පැන් භාවිතයට කෙළින් ම විරුද්ධ වූ පාලකයෙකි.

කාර්යාල යීය වේලාවන් තුළ දී මත්පැන් පානය කර සිටි නිලධාරීන් හසු වූ මොහොතේ ම ගෙදර යැවීමට තරම් පෙ‍්‍ර්මදාස මහතා එඩිතර විය. එහෙත් සමස්ත ශ‍්‍රී ලංකාවේ මත් උවදුර පිටුදැකීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ඒ මහතාට නො තිබිණි. වගකිවයුතු අංශවලින් ඒ සඳහා සහයෝගයක් ද නොලැබිණි.

අද තත්ත්වය ඊට ඉඳුරා වෙනස් ය. මතට තිත තැබීම සඳහා ද පාතාල කල්ලි නැති කිරීම සඳහා ද ඉතා යහපත් සහයෝගයක් හා උනන්දුවක් රට පුරා ම දකින්නට ලැබේ.

මේ රටේ ශීඝ‍්‍රයෙන් පැතිර යන දුප්පත්කමට, නූගත්කමට හා පවුල් අවුල්වලට බලපාන ප‍්‍රධාන හේතුව පවුලේ ගෘහ මූලිකයා මතට ඇබ්බැහිවීම ය. ග‍්‍රාමීය - නාගරික භේදයෙකින් තොර ව පවුල් අතර එය ව්‍යාප්ත වී තිබේ. ගෘහ මූලිකයා මතට ඇබ්බැහි වූ කල තරුණ දරුවන් ද ඊට ගොදුරු වන ප‍්‍රවණතාවක් දක්නට ලැබේ.

මේ ව්‍යසනයෙන් අන්ත දුකට පත්වන්නේ පවුලේ බර කරට ගත් කාන්තාව යි. හෙවත් ගෙදරක අම්මා යි. මතට තිත වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ අම්මලාගෙන් විශාල ශක්තියක් ලැබෙනු ඇතැ’යි අපට කල්පනා වේ. රටේ සමස්ත ජනගහනයෙන් වැඩි පිරිස කාන්තාවෝ වෙති. ඔවුන්ගේ කැපවීම ඇතොත් 2015 වීමට ප‍්‍රථම මතට තිත තැබිය හැකි ය.

විසිවන සියවසේ මහා ආර්ථික විද්‍යාඥයා යැයි සලකන ජර්මන් ජාතික ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් කියා සිටියේ රටක් සංවර්ධනය කිරීම සඳහා මිනිසා ගේ අධ්‍යාපනය, හැකියාව හා විනයගරුකභාවය ඉතා වැදගත් වන බව ය.

ඒ සාධක තුන ම දියුණු කිරීම සඳහා මතට තිත තැබිය යුතු ය. ත‍්‍රස්තවාදය පරාද කළා සේම මත් රකුසා ද පරාජය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම මව්බිම ගැන කල්පනා කරන කාගේත් යුතුකම වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා