ජනාධිපතිතුමා කියන ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්

ජනාධිපතිතුමා කියන ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්

ශාන් විජයලාල් ද සිල්වා - දකුණු පළාත් සභාවේ මහ ඇමැති

පසුගිය පස් වසර තුළ දකුණු පළාත සංවර්ධනයට පළාත් සභාවෙන් කළ සේවය, පළාත් සභාවට හිමිවිය යුතු බලතල මධ්‍යම ආණ්ඩුව අත්පත් කරගෙන තිබේද? පළාත් සභා ක‍්‍රමය මගින් ජනවර්ග අතර සමඟිය ගොඩනැගිය හැකිද? සහ වර්තමාන දේශපාලන ප‍්‍රවණතා පිළිබඳ දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා සමඟ කළ සංවාදයකි මේ.

යුද්ධය අවසන් වී තිබෙන මේ මොහොතේදී රට ගොඩනැගීමට අනුගමනය කළ යුත්තේ කුමක් ද?

අපේ රටේ අනාගත සුබසිද්ධියට, සංවර්ධනයට ප‍්‍රධාන ම බාධාව වෙලා තිබුණෙ යුද්ධය. ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රණවිරුවන්ට එම බාධාව ඉවත් කරන්න මේ මොහොත වන විට ඉඩ ප‍්‍රස්ථා ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි දැන් පැමිණිලා ඉන්නෙ ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවකට. ඒ නිසා අප මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕනෑ.

එහෙම නොවුණොත් ඒක ඉතිහාස ගතවන අමතක වීමක්, මඟහැර යාමක් විදිහට අතීතයට එකතුවන එක වළක්වන්න බැහැ.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ රටේ නීතිය. ඒ නිසා මෙයින් එළියට ගිහින් වැඩ කරන්න බැහැ. මේ වෙද්දි සර්වපක්‍ෂික සමුළුව ජනවාර්ගික ප‍්‍රශ්නයට යම් යම් විසැඳුම් යෝජනා කිරීමට නියමිතව ඉන්නෙ.

මේ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින්, ඒකීය රටක් තුළ යම් බලය බෙදීමකුයි කළ යුත්තෙ. ඒ මගින් සියලු ජාතීන්ට සමඟි සම්පන්නව ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.

රට ගොඩනැඟීමට වත්මන් නායකත්වයෙන් ලැබෙන දායකත්වය පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

ජනාධිපතිතුමා යුද්ධය මෙහෙයවීම ඉතාමත් සාර්ථකව සිදුකළා. මීට කලින් හිටිය ති‍්‍රවිධ හමුදාවම තමයි අදත් ඉන්නෙ. ඒත් ති‍්‍රවිධ හමුදාව මහා පරිවර්තනයකට ලක්කරමින්, ත‍්‍රස්තවාදය සම්පුර්ණයෙන් ම විනාශ කළා.

මේ සඳහා ජනාධිපතිතුමා ඉතාමත් සෘජු හා එඩිතර නායකත්වයක් ලබා දුන්නා. මෙතැනදී රණවිරුවන්ගේ ආත්ම ශක්තියත්, ඇප කැපවීමත් ඉතාමත් ඉහළින් බලපෑවා.

මේ කරුණු ගැන සලකා බැලුවහම අපට පැහැදිලි වෙනවා ජනාධිපතිතුමාට රට ගොඩනඟන්න පුළුවන් කියලා. මේ වෙලාවෙ ජනාධිපතිතුමාට විතරයි ඒ හැකියාව, ශක්තිය ලැබිලා තියෙන්නෙ. ඒ නිසා දේශපාලන වාද භේද සුළු කාලෙකට හෝ අමතක කරල, ජාතික වැඩපිළිවෙළක් සඳහා මේ මොහොතේ අප හැම දෙනාම එක්විය යුතුයි.

ජනාධිපතිතුමා තමයි අද රටට ඉන්න එක ම නායකයා. ඉස්සර එහෙම නෙමෙයි, බණ්ඩාරනායක මැතිනිය ශී‍්‍ර. ල. නි. ප. නායකත්වයේ සිටිද්දි එ. ජා. ප. නායකයා විදිහට ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන වගේ නායකයො හිටියා.

අද එහෙම නෙමෙයි, එ. ජා. ප. ය එහෙම පිටින් ම හේදිලා ගිහින්. මේ නිසා අද රට ගොඩගන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. ඒ නිසා අප සියලු දෙනා එක දම්වැලක පුරුක් වගේ එකට එකතුවිය යුතුයි.

මේ අවස්ථාවේදී විපක්‍ෂය ඉෂ්ට කරන කාර්යභාරය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?

1948 ඉඳලා මේ රටේ විපක්‍ෂ එවකට බලයේ සිටිය ආණ්ඩුවලට ලබාදීල තියෙන්නෙ ඒ තරම් ප‍්‍රශස්ත සහයෝගයක් නෙමෙයි. ඒ නිසා තමයි රට මේ තරම් අර්බුදයකට, අගාධයකට තල්ලු වෙලා ගියේ.

රටට යහපත් දෙයක් කරන්න උත්සාහ කරද්දී ලැබෙන්න ඕනෑ සහයෝගය විපක්‍ෂයෙන් ලැබුණෙ නැහැ. ඒ වගේ ම හැම ආණ්ඩුවක් ම විපක්‍ෂය දිහා බැලුවෙත් ඒ තරම් යහපත් විදිහකට නෙමෙයි.

ඒත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයට පැමිණි පසු විපක්‍ෂය දිහා බැලුවේ සාම්ප‍්‍රදායික කෝණයෙන් බැහැර වෙලයි. ඔහු නිතරම විපක්‍ෂයට සහෝදරත්වයේ, මිත‍්‍රත්වයේ දෑත් දිගු කළා. ඒත් එ. ජා. ප. ය ප‍්‍රමුඛ විපක්‍ෂයෙන් ඒ සඳහා ධනාත්මක ප‍්‍රතිචාර ලැබුණෙ නැහැ.

මාවිල්ආරු මෙහෙයුමේ ඉඳලා වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා විජයග‍්‍රාහී යුද මෙහෙයුම ඉදිරියට යද්දී, එ. ජා. ප. යෙන් එල්ල වුණේ විවේචන, බාධා කිරීම් පමණයි.

ඔවුන් අනුගමනය කළ කුහක ප‍්‍රතිපත්තියට, ජනතාව මේ වෙද්දි නියම දඬුවම දීලා ඉවරයි. 2005 ජනාධිපතිවරණයේදී එ. ජා. ප. යට ඡන්ද බොහෝ ප‍්‍රමාණයක් ලැබුණා. ඒත් අද වෙද්දි මේ අයගෙ එම ඡන්ද පදනම සියයට 60 ක් ම අඩුවෙලා තියෙන්නෙ.

අතීතයේ දී ඒ දේවල් එහෙම වුණා කියලා අපට අතීතය සිහිපත් කරමින් කාලය කා දමන්න බැහැ. යුද්ධයෙන් පස්සෙ රට ආර්ථික, දේශපාලන හා සමාජීය විදිහට සංවර්ධනය කිරීමේ ප‍්‍රබල ම අභියෝගය අපි ඉස්සරහ තිබෙනවා. මේ අභියෝග ජය ගැනීමට යද්දී විපක්‍ෂයේ සහය තිබීම යහපත් දෙයක් විදිහටයි මං දකින්නෙ.

විපක්‍ෂයත් මේ වෙද්දි සහයෝගිතාවයක් ගැන අදහස් ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ අය මේ අදහස් දක්වන්නෙ අවංක චේතනාවෙන් නම්, ඒක අගය කළ යුතු, පිළිගත යුතු තත්ත්වයක්. එහෙම නැතිව වෙලාවෙ හැටියට ජාම බේරගන්න මේ වගේ ප‍්‍රකාශ කරනව නම්, ඒ දේ පිළිගන්න අමාරුයි. මෙතෙක් කාලයක් එ. ජා. ප. ය අනුගමනය කෙළේ ඔය වගේ ප‍්‍රතිපත්තියක්.

ඒ වගේ ම මේ වෙලාවෙ නිල විපක්‍ෂයෙන් සහයෝගය ලැබුණෙ නැහැ කියලත් රජයට විශාල බලපෑමක් එල්ල වෙන්නෙ නැහැ. ඒකට හේතුව එ. ජා. ප. යේ සහ ජ. වි. පෙ. හිටිය අරටු අද ඉන්නෙ ආණ්ඩුවේ.

මේ අයගෙන් ලැබුණ ශක්තිය රජයේ ගමන් මඟට විශාල ශක්තියක් වුණා. ඉදිරියේදී කි‍්‍රයාත්මක වන රට ගොඩනැගීමේ මෙහෙයුමේදීත් මේ අය ජනාධිපතිතුමාත් එක්ක ඉන්නවා.

ඒ ඔක්කොටම වඩා වැදගත් දේ තමයි මහජන බලය හා මහජන විශ්වාසය. මේ දේත් අද වෙද්දි ජනාධිපතිතුමා වටා ගොනුවෙලා තියෙන්නෙ. ඒ නිසා විපක්‍ෂයේ සහයෝගය නොලැබුණත් රජයට මේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න පුළුවන්.

හැබැයි විපක්‍ෂයේ සහයෝගයත් ලැබෙනව නම් වඩාත් හොඳයි. මෙතැනදි රජයට සහය දීමට විපක්‍ෂය තීරණය කළොත්, එ. ජා. ප. යට වැදිලා තියෙන කළු පැල්ලම් අකා මකා ගන්න පුළුවන්කම ලැබෙයි.

පසුගිය අවුරුදු පහේදී දකුණු පළාත් සභාවෙන් දකුණු පළාතේ ජනතාවට මොන වගේ සේවයක් ද සිදුවුණේ?

මගේ පාලන කාලයේදී ඉෂ්ට කරන්න පුළුවන් වූ සේවය ගැන මං අද වෙද්දි සතුටට පත්වෙනවා. මං දකුණු පළාත් සභාව බාර අරගෙන මාස හතරක් යද්දි තමයි සුනාමි ඛේදවාචකය සිද්ධ වුණේ.

මේ ඛේදවාචකයෙන් වැඩිම හානිය සිදුවුණේ දකුණේ අපට. බෙන්තර පාලම ළඟ ඉඳන් යාල දක්වා වූ මුහුදු ආශි‍්‍රත ප‍්‍රදේශ සම්පූර්ණයෙන් ම විනාශ වුණා.

ඒ නිසා මට මහ ඇමැතිවරයා විදිහට ලොකු වගකීමක් පැවරුණා දකුණු පළාත යළි ගොඩනැගීමට. මධ්‍යම, ඌව, උතුරුමැද, සබරගමුව වගේ පළාත්වල මහ ඇමැතිලට නොලැබුණ තරම් අභියෝගයකුයි මට බාර වුණේ.

එහිදී මට මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුණ සහයෝගය අමතක කරන්න බැහැ. එවකට අගමැති ධූරය දැරූ ජනාධිපතිතුමාත්, දකුණේ ජනතාවත් එක්ක දුක සැප බෙදාගත්ත වගේ ම, එතුමාට එදා තිබූ සීමාව ඇතුළෙ ඉඳන් ඔහු දකුණට ලොකු සේවයක් කළා.

දකුණු පළාත් සභාව විදිහට අපට අද වෙද්දි සුනාමියෙන් අහිමි වූ ජීවිත හැර අනෙක් හැම දෙයක් ම දෙන්න පුළුවන් වෙලා තියෙනවා. පළාත් සභාවෙන් සිදු වූ සේවය ගැන පහදලා දෙන්න මේ දේ වුණත් ප‍්‍රමාණවත්.

ඒ විතරක් නෙමෙයි, දකුණේ ප‍්‍රාදේශීය මහාමාර්ග, සමූපකාර, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී සියලුම ක්ෂේත‍්‍ර දියුණු කරන්නත් අප ලොකු වැඩ කොටසක් කරලා තියෙන්නෙ. ඒ නිසා අපි ජනාධිපතිතුමා කියන ඕනෑම වෙලාවක මහජනතාව ඉස්සරහට ගිහින් යළිත් ජනවරමක් ගන්න සූදානම් වෙලා ඉන්නෙ.

අපට මේ පළාත් සභාවෙ බලය අරගෙන යද්දි බහුතරය අහිමි වුණා. බුලත් කොළයෙන් අපත් එක්ක එකට ඡන්දයට ගිය ජ. වි. පෙ. සහෝදරවරු විපක්‍ෂයේ ඉඳගත්තා.

ඊට පස්සෙ අපට ඉතුරු වුණේ මන්තී‍්‍රවරු විසි එකයි. විපක්‍ෂයට තිස් පහක් හිටියා. එහෙම තියෙද්දීත් එක අයවැයක්වත් පරද්ද ගන්නෙ නැතිව, වැදගත් පනතක් පරද්ද ගන්නෙ නැතිව බලය ආරක්‍ෂා කර ගත්තා. අප මේ බාධා සියල්ල මැද තමයි ජනතා සේවය ඉස්සරහට අරගෙන ගියේ.

ඉදිරියේදී ජ. වි. පෙ. මැතිවරණයට එන්නෙ සන්ධානයෙන් ඉවත් වෙලා. ඒත් ජ. වි. පෙ. නිජබිම දකුණු පළාත. මේ තත්ත්වය තුළ ජ. වි. පෙ. වෙන්වීම ආණ්ඩුවට කොයි විදිහටද බලපාන්නෙ...?

1988 දී එ. ජා. ප. ය දකුණ ජය ගත්තේ අපිත් එක්ක තරග කරල නෙමෙයි. එදා ශී‍්‍ර. ල. නි. ප. ය ප‍්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබුණා පළාත් සභා මැතිවරණය වර්ජනය කරන්න. 1993 පළාත් සභා මැතිවරණයේදී පොදු පෙරමුණ විදිහට අපත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණත්, සන්ධානගතව දකුණු පළාත් සභාව ජයග‍්‍රහණය කළා.

මේ මැතිවරණයට ජ. වි. පෙ. තරග කෙළේ නැහැ. ඊට පස්සෙ 1994 දී තිබුණ මැතිවරණයේදී පොදු පෙරමුණ තනියෙන් තරග කරලා ජය ගත්තා. ඒ මැතිවරණයටත් ජ. වි. පෙ. තරග කෙළේ නැහැ.

ඊට පස්සෙ 1999 මැතිවරණය එනවා. ඒ මැතිවරණයේදී අප, එ. ජා. ප. ය හා ජ. වි. පෙ. වෙන වෙන ම තරග කළා. මෙතැනදීත් අප ඉතාමත් පහසු ජයග‍්‍රහණයක් අත්පත් කර ගත්තා. ඊට පස්සෙ 2004 මැතිවරණය එනවා. එතැනදී අප ජ. වි. පෙ. ත් එක්ක එකතු වෙලා තරග කළා. මේ මැතිවරණයේදීත් දිනුවෙ අපි.

මේ අවුරුදු විසි එකක් ඇතුළත තිබුණ මැතිවරණ පහෙන් හතරකදී ම දිනුවෙ අපි. 1988 මැතිවරණයට අප තරග කෙළේ නැහැ.

ඊට පස්සෙ තිබුණු මැතිවරණවලදී ජ. වි. පෙ. නැතිව අප දිනුවා. ජ. වි. පෙ. අපට විරුද්ධව තරග කරද්දීත් අප දිනුවා. ඊට පස්සෙ ජ. වි. පෙ. අපත් එක්ක තරග කරද්දී අප දිනුවා.

මෙවරත් ඒ අය සන්ධානයෙන් ඉවත්ව තරග කරනවා. ඒ අය අපට විරුද්ධව තරග කිරීම පොදු පෙරමුණට අභියෝගයක් නෙමෙයි. මේ පාර පළාත් සභා ඡන්දයේදී අපට කිසි ම අභියෝගයක් නැහැ. එ. ජා. ප. ය තරග කරන්නෙ ඡන්දය දිනන්න නෙමෙයි. සමානුපාතික මැතිවරණ ක‍්‍රමය යටතේ මන්තී‍්‍ර ධූර කිහිපයක් දිනාගැනීමට පමණයි.

පළාත් සභාවලට ලැබිලා තියෙන්නෙ සීමාසහිත බලතල ප‍්‍රමාණයක් කියලා අදහසක් සමාජගත වෙලා තියෙනවා. පළාත් මහ ඇමැතිවරයෙක් විදිහට මේ ගැන ඔබේ මතය මොකක්ද?

පළාත් සභා ක‍්‍රමය ඇති කෙළේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. එතුමා 1988 දී බිහිවෙන පළාත් සභාවලට දෙන්න ඕනෑ බලතල සමහරක් දෙන්නෙ නැහැ. ඒ නිසා පළාත් සභාවලට මේ දෝෂය වැළඳිලා තියෙන්නෙ උපන් නැකැතෙදිමයි.

ජනාධිපතිතුමා හැම වෙලාවෙම පළාත් සභාවලට බලතල දිය යුතුයි, පළාත් සභා ක‍්‍රමය සංවර්ධනය කළ යුතුයි කියන අදහසේ ඉන්නෙ. ඒ නිසා මං විශ්වාස කරනවා පළාත් සභාවලට හිමි බලතල දෙන්න එතුමාට හැකිවෙයි කියලා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා