ආසියානු නෙට්බෝල් කිරුළ සිවු වැනි වරටත් ශ‍්‍රී ලංකාවට

ආසියානු නෙට්බෝල් කිරුළ සිවු වැනි වරටත් ශ‍්‍රී ලංකාවට

යාපනයේ වාසවිලාන් ගමේ තර්ජනී සිවලිංගම්

තරගාවලියේ වැඩිම ගෝල් ලබා ගෙන මුල් තැනට

තර්ජනී සිවලිංගම් ජයග‍්‍රාහී ගෝලය

වාර්තා කළ අවස්ථාව

ශ‍්‍රී ලංකා නෙට්බෝල් කී‍්‍රඩිකාවෝ සිවුවැනි වරටත් ආසියානු සූරතාව දිනා ගැනීමට ඊයේ සමත් වූහ.

පසුගිය ආසියානු සූරතාව දිනා සිටි සිංගප්පූරුව ලකුණු 77 – 48කින් පරාජය කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ තරගාවලියේ අපරාජිතම කණ්ඩායම බවට ද පත්විය.

මලයාසියාවේ බුකිට් කියරාහි ජුආරා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති මේ තරගයේ දී සිංගප්පූරුවට එරෙහිව මුල සිට ම ඉදිරියෙන් සිටි අතර ශ‍්‍රී ලංකා පිල කාර්තු හතරෙන් තුනක් ම පහසුවෙන් ජයග‍්‍රහණය කෙළේය. ලකුණු තත්ත්වය වූයේ 19 – 11, 20 – 14, 18 – 19 හා 20 – 14ක් ලෙසිනි.

සිංගප්පූරුවට එරෙහි අවසන් තරගයේ ශ‍්‍රී ලංකාව ලබාගත් ගෝල් 77න් 74ක් ම ‘ගෝල්ෂූටර්’ තර්ජනී සිවලිංගම් සාර්ථක කළ අතර ගෝල් ඇටෑක් කී‍්‍රඩිකා ෂශිකා සමරසිංහ ගෝල් 3ක් එක් කළාය.

ශ‍්‍රී ලංකා පිල නියෝජනය කළ යාපනයේ වාසවිලාන් ගම්මානයේ තර්ජනී සිවලිංගම් ආසියානු නෙට්බෝල් තරගාවලියේ වැඩිම ගොල් සංඛ්‍යාවක් ලැබූ කී‍්‍රඩිකාව ලෙසද නම් කෙරුණි. ශ‍්‍රී ලංකාව සහභාගි වූ තරග 6කදී වාර්තා වූ ගෝල් 522 ක් ගෝල් 380ක් තර්ජනී රැස්කරදීමට සමත්වීම ශ‍්‍රී ලංකාවට විශාල වාසියක් විය. අඩි 6. 11ක් උසැති තර්ජනී වවුනියාවේ පැවැති පළාත් නෙට්බෝල් තරගාවලියක දී හමුවූ අතර මඩකළපුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක ද වෙයි.

තරගාවලියේ වැඩිම ගෝල් ලැබූ තර්ජනී සිවලිංගම් ගෝල් 380ක්ද දෙවැනි තැන මලයාසියාවේ අරුණා සන්දප්පන් ගෝල් 152ක් හා නොරාෂිකින් කමන් සමාන් ගෝල් 128ක් ද වාර්තා කර තිබුණි.

ශ‍්‍රී ලංකා පිල ෂශිකා සමරසිංහ මෙහෙයවූ අතර උපනායිකාව ලෙස ඉරේෂා කෝරළගොඩගේ හා පුහුණුකාරිණිය ලෙස තිලකා ජිනදාස මෙනවිය කටයුතු කළහ.

ආසියානු නෙට්බෝල් සූරතාව ශ‍්‍රී ලංකා පිල 1990, 1997 හා 2001 වසරවල දී දිනාගැනීමට සමත්විය.

සූරතාව දිනාගැනීමෙන් අනතුරුව මලයාසියාවේ සිට ‘දිනමිණ’ ට කතා කළ නෙට්බෝල් අතුරු කමිටු සභාපතිනි අජන්තා විජේසේකර මහත්මිය පැවැසුවේ මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ ආසියානු සූරතාව දිනාගැනීම දක්වා කණ්ඩායම වර්ධනය කිරීමට හැකිවීම විශාල සතුටක් බවයි.

‘අපට පැවැරුන මුල්ම වගකීම ඉටු කළා. විශේෂ වෑයමක් ගෙන මුල සිටම කටයුතු සැලසුම් කෙළේ ආසියානු සූරතාව දිනාගැනීමටයි. මීළඟ ඉලක්කය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ජය ගැනීමයි. ඒ සඳහා තරගාවලි කිහිපයකට සහභාගිවී ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහළට පැමිණීමට ඉදිරියේ දී කී‍්‍රඩිකාවන් යොමු කරනවා. ආසියානු සූරතාව දිනාගැනීම දක්වා කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විශාල සහයෝගයක් දැක් වූ බව ද විජේසේකර මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

ආසියානු නෙට්බෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය මලයාසියාව දිනාගත් අතර තායිලන්තය ලකුණු 61 – 41කින් පරාජය විය.

5 වැනි ස්ථානය හොංකොං,, 6වැනි ස්ථානය, චීන තායිපේ, 7 වැනි ස්ථානය ඉන්දියාව, 8 වැනි ස්ථානය මාල දිවයින හා 9 වැනි ස්ථානය පකිස්තානයට හිමි වූහ.

ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ ආසියානු නෙට්බෝල් කිරුළ ද සමග ජූලි මස 1 දා මව්බිමට පැමිණීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා