ජාතියට සල්ලි දෙන රේගුවේ මහත්වරු

ජාතියට සල්ලි දෙන රේගුවේ මහත්වරු

රජයේ පැවැත්ම සඳහා ධනය උපයාදෙන ප්‍රධාන ආයතන දෙකක් පවතී. එනම් ; දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගුව දෙපාර්තමේන්තුව යි. රේගුව යනු පෘතුගීසි වචනයෙකි. එහි අර්ථය වන්නේ බදු අය කිරීම ය.

රටකින් - රටකට ගොඩ බසින මිනිසා තමන් සතු භාණ්ඩ වලින් භාගයක් හෙවත් දෙකෙන් එකක් පළමුව වරායට බාර දී තිබේ. එහෙත් 15 - 16 - 17 යන ශත වර්ෂවල යුරෝපය පුරා ව්‍යාප්ත වූ වෙළෙඳ තරගය නිසා ආනයන - අපනයන කටයුතු සම්බන්ධයෙන් පිළිගත හැකි විධිමත් සම්ප්‍රදායයක් හා නීති පද්ධතියක් ඇති විය. රේගුව එහි ප්‍රතිඵලයෙකි.

නූතන ශ්‍රී ලංකාවේ රජයට අවශ්‍ය ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන දෙකක් පවතී. පළමුවැන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ය. දෙවැන්න රේගුව දෙපාර්තමේන්තුව යි. මේ අතරින් රේගුවේ කාර්යභාරය අතිශයින් සංකීර්ණ වේ.

රේගුවේ පළමු කාර්යය වන්නේ ආනයන - අපනයන වෙළෙඳාමට අදාළ බදු අයකිරීම ය. තීරු බදු අයකිරීම, විදේශ විනිමය ඉපැයීම, රටෙහි අභිමානය සලසන අයුරින් දේශීය - විදේශීය ආයෝජකයන් ගැන සොයා බැලීම, ජාතික උරුමයන් ගැන සැලකිල්ල යොමු කිරීම වැනි ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කිරීමට රේගුවට සිදු වේ.

ගුවන් තොටුපොළ, වරාය ජැටිය වැනි ස්ථානවල හෙවත් දොරටුවල සිට රට ආරක්ෂා කරන්නේ ද රට දියුණු කරන්නේ ද රේගුව යි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදයමෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් සපයා දෙන්නේ රේගුව යි. පළමුවන රේගු පාලක හැටියට පත් ව ඇත්තේ අන්තෝනි බර්ටෝලවිප් නම් තැනැත්තෙකි.

ඔහු 1696 දී ඉංගී‍්‍රසි ජාතික ෆෙඩ්රික් නෝත් සමඟ ශ්‍රී ලංකාවට සැපත් වූ අති දක්ෂ රාජ්‍ය නිලධරයෙකි. ඔහු රේගු ප්‍රධානියා ලෙස පත්වීම ලැබ වසර දෙසීයක් ගතවන ඓතිහාසික අවස්ථාව මීට දින ගණනාවකට පෙර සිහිපත් කැරිණි.

ඒ හැරෙන්නට රේගු දෙපාර්තමේන්තුව පිහිටුවා වසර දෙසීයයක් ගත වී ඇත. ගෙවී ගිය කාලය තුළ රේගුවේ හැසිරීම කෙබඳුදැ’යි කල්පනා කිරීමට හොඳම කාලය පැමිණ තිබේ.

රේගුව කියූ සැණින් අප ගේ සිහියට නැඟෙන්නේ කාර්යක්ෂම හා නිතිපතා කොමිස් ලබා ගන්නා නිලධාරීන් පිරිසෙකි. ඇතැම් නිලධාරීන් පසුපස පාතාලය හඹා එති. තවත් අය පසුපස කබල් දේශපාලකයෝ හඹා එති.

එහෙත් මනා සංවරයක් හා මනා ශක්තියක් ඇති ව ජීවන කාර්යයට ඇතුළු වූ යථාර්ථවාදී රේගු නිලධාරීන් කිසිකලෙකත් පරාජය බාරගන්නේ නැත. ඔව්හු අදටත් - හෙටටත් එක ම අරමුණක පිහිටා කටයුතු කරති.

අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි ආයතන ගණනාවක් අපට තිබේ. වැදගත් වන්නේ තොරතුරු නොව සංකල්පයන් ය. සංකල්ප නැති තැන රටක් ඉබේ ම වළ පල්ලට යනු ඇත. අපට වළ පල්ලට යන්නට ඉඩ නොදී සංකල්පමය වශයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව ය.

ඈත අතීතයේ සිට ම අන්තර්ජාතික වෙළෙඳාම අරබයා බදු ගන්නා ක්‍රමයක් ශ්‍රී ලංකාවට තිබිණි. එය පුරාණ සෙල්ලිපි ගණනාවකින් ද පැහැදිලි වේ. ‘සුංගම’ නම් ද්‍රවිඩ වචනයෙන් පැහැදිලි වූයේ බදු අයකිරීම පිළිබඳ තොරතුරු ය.

ගෝකණ්ණ, මහා තිතථ, වාලුකාම වැනි ප්‍රසිද්ධ පැරැණි වරායන් අසල සාර්ථක සුංගම සේවාවක් එදා පවතින්නට ඇත. ඒ අනුව බුරුමය, චීනය, මලබාරය, ඉන්දියාව, ඊජිප්තුව වැනි රටවලින් අපේ රේගුව තීරු බදු අය කරන්නට ඇත. එලෙස ම මෙරට භාණ්ඩ අපනයනය කළ ආයෝජකයන් ද එම තීරු බදු ගෙවන්නට ඇත. රේගුව යනු ශ්‍රී ලංකාවට අමුතු තැනක් නො වේ.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රේගුව පිළිබඳ යම් - යම් අයහපත් දෑ අසන්නට ලැබිණි. ඇතැම්විට රේගුවට ලැබෙන ආදායම පිල්ලියෑමක් ගැන ය. තව විටෙක අවංක රේගු නිලධාරීන් බදු හොරුන් විසින් මරා දැමීමක් ගැන ය.

අමරපාල හා සුජිත් ප්‍රසන්න යන රේගු නිලධාරීන් ගේ නම් මේ මොහොතේ ගෞරවයක් ලෙස සටහන් කර තබන්නට කැමැත්තෙමු. අවංක සේවාවක් වෙනුවෙන් පෙනී සිටින රේගු නිලධාරීහු හැම විටම අභියෝගයට ලක් වෙති.

මේ හැරෙන්නට එක්තරා කාලයක දී රේගුව පෞද්ගලික අංශයට පැවැරිය යුතු යැයි මතයක් ද පැතිර ගියේ ය. කුමන තත්ත්වයක් යටතේ වුව රේගු දෙපාර්තමේන්තුව වසර දෙසීයක් පුරාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට බරපතළ සේවාවක් ඉටු කර තිබේ. ඒ සේවාව නොවන්නට අපේ රටේ ආර්ථික මෙන් ම සංස්කෘතික ගමන් මඟ ද බොහෝ සෙයින් ම වෙනස් ආරක් ගනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා