අමෙරිකාවට පහර දීමේ අල්කයිඩා හැකියාව තවමත් දැඩිව තිබෙනවා

අමෙරිකාවට පහර දීමේ අල්කයිඩා හැකියාව තවමත් දැඩිව තිබෙනවා

එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි මයික් මුලන් කියයි

එක්සත් ජනපදයට ප්‍රහාර එල්ලකිරීමේ අල්කයිඩා හැකියාව තවමත් ඉතා හොඳ මට්ටමක පවත්නා බව එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී මයික් මුලන් එන්. බී. සී. පුවත් සේවයට පෙරේදා ප්‍රකාශ කැර තිබේ.

3000 ක පමණ පිරිසකගේ දිවි අහිමි කළ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අටවසරකට පසු තවමත් අල්කයිඩා සංවිධානය එක්සත් ජනපදයට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් සමන්විත අතර ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද ඔහු පෙන්වා දී තිබේ.

ප්‍රහාරකයන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට, ඔවුනට අවශ්‍ය සහාය ලබාදීමට හා අවශ්‍ය අරමුදල් සැපයීමට ඔවුනට සැලකිය යුතු හැකියාවක් තිබෙන බැවින් ප්‍රහාරාත්මක හැකියාව එපරිද්දෙන් ම පවත්නා බව ඔහු කියා සිටියේ ය.

එහෙත් එවන් ප්‍රහාරයක් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන එක්සත් ජනපද හමුදාව එවැන්නක් ව්‍යර්ථ කිරීමේ දැඩි අදිටනින් පසුවන බව ද මුලන් කීවේ ය. ඒ සමගම ඇෆ්ගනිස්තානයේ හා පාකිස්තානයේ තලේබාන් සටන්කරුවන්ගේ සහාය ද අල් කයිඩා සංවිධානයට නොඅඩුව ම ලැබී ඇති බැවින් ඇෆ්ගනිස්තානයේ අන්තවාදය දුරැලීමේ එක්සත් ජනපද සටන උත්සන්න කළ යුතු ව ඇතැයි ඔහු කියා සිටියේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා