මැර බලය නීතිගත කෙළේ එජාපයයි

පොලිසියට නිවාඩු දීලා

මැර බලය නීතිගත කෙළේ එජාපයයි

මහින්ද අමරවීර ජල සම්පාදන ඇමැති - තංගල්ල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක

* දකුණු පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සූදානම මොන වගේ ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට අපි දකුණු පළාත් සභා මැතිවරණයට ඉතාමත් සංවිධානාත්මකව සහ ශක්තිමත් විදිහට මුහුණදීමට සියලු කටයුතු සුදානම් කරල තියෙන්නෙ.

මැතිවරණයට ඉතාමත් හොඳ දක්ෂ අපේක්ෂකයෝ පිරිසක් ඇතුළත් ව සිටිනවා. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ වගේ ම තරුණ ජනප්‍රිය පිරිසකුත් නිදහස් සන්ධානය යටතේ තරග කරනවා.

ඒ නිසා අපිට මීට කලින් තිබ්බ මැතිවරණවලටත් වඩා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියල මට ලොකු විශ්වාසයක් තියෙනවා. නැඟෙනහිර පළාත ජයග්‍රහණය කරද්දි අපි ලබාගත්තේ 50% ප්‍රතිශතයක් පමණයි.

ඒ ප්‍රතිශතය උතුරු මැදදී සබරගමුවේදී 55% සීමාව ඉක්මවා ගියා. වයඹ දී මධ්‍යම දී එම ප්‍රතිශතය 70% ආසන්න වුණා. එය බස්නාහිර දී 70% ඉක්මවා ගියා.

මගේ ගණන් බැලීමට අනුව දකුණු පළාත් සභා මැතිවරණයේ දී අපිට 85% ඡන්ද ප්‍රතිශතයක් ඉතාමත් පහසුවෙන් තරගයක් නැතිවම ගන්න පුළුවනි. ඒ ගැන කිසිම සැකයක් නැහැ.

මුළු රටේ ම ජනාධිපතිතුමා ගේ වැඩපිළිවෙළ ගැන විශාල පැහැදීමක් හා කැමැත්තක් තියෙන්නේ. ඒ පැහැදීම සහ කැමැත්ත දකුණු පළාතේ දී දෙගුණ තෙගුණ වෙනව විතරක් නෙමෙයි දකුණේ ජනතාවට ජනාධිපතිතුමාගේ නායකත්වය ගැන විශාල ආඩම්බරයකින් ඉන්නේ.

ඒ නිසා දකුණේ්දී ආණ්ඩුවට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු දේශපාලන පසුබිම දැනටමත් නිර්මාණය වෙලා තියෙන්නේ.

* දකුණේ මහ ඇමැති අපේක්ෂකයෙක් නම් කිරීම පිළිබඳ අර්බුදයක් ඇතැයි විපක්ෂයෙන් චෝදනාවක් නැගෙනවා?

කිසි අර්බුදයක් නෑ. අපි සුදුසුවේලාවේ දී මහ ඇමති ධූරය ලබාදිය යුත්තේ කාටදැයි නම් කරනවා. හිටපු මහ ඇමැතිතුමා විශාල සේවයක් කර තිබෙනවා. තවත් දක්ෂ අපේකෂකයෝ ඉන්නවා.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරාවි ඊළඟ දකුණේ මහ අමාත්‍යවරයා කවුද කියා. ඔය කියන විදිහට පක්ෂය ඇතුලේ කිසි අර්බුදයක් නෑ. මේ විදිහට අර්බුද ඇතැයි කියා මවාපාන්නට එජාපය හදන්නේ ඔවුන්ට එල්ලෙන්න වැල් නැති නිසායි.

මොන බොරු මවාපාන්න හැදුවත් අනිත් පළාත්වල වගේ ම දකුණේ ජනයාත් එජාපයට පාඩම් උගන්නවා. ඔවුන්ට ඡන්ද ලක්ෂයක්වත් ලැබෙයි කියා මා හිතන්නේ නෑ.

* ජනාධිපතිවරණයේ දී එජාපය එස්. බී. දිසානායක, කරූ ජයසූරිය වැනි අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා නම් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා පළ වෙනවා. දිගින් දිගට ම මැතිවරණ පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට මෙවැනි අලුත් අපේක්ෂකයෙකු නම් කිරීම ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් නොවේ ද?

මහින්ද රාජපක්ෂ පරාජය කරන්න පුළුවන් කෙනෙක් මේ වෙද්දි දේශපාලනයේ හතර මායිමේවත් නැහැ. දැනට තියෙන තත්ත්වය අනුව ජනාධිපතිවරණයක දී මහින්ද රාජපක්ෂ මහත්මයට ඉතාමත් පහසු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්.

එස්. බී. ට, කරූට ජනාධිපතිතුමාත් එක්ක තරග කරන්න තියා හිතන්නවත් බැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියන තරමේ සුදුසුකමක්වත් නැහැ. ඒ නිසා ඔය කවුරු මොනව කීවත් ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයක දී ලබන ජයග්‍රහණය වළක්වන්න ලැබෙන්නේ නැහැ.

මම හිතන විදිහට ඊළඟ ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාට 80% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න පුලුවන්. අවුරුදු සීයක් ඒ වාර්තාව බිඳ දමන්න පුළුවන්කමක් ලැබෙන එකක් නෑ.

* ආණ්ඩුව 70% ප්‍රතිශතය ඉක්මවමින් ඡන්ද ලබා ගන්නේ පළාත් සභා මැතිවරණවල දී. ඒත් ජාතික මැතිවරණයක දී මේ ප්‍රතිඵලය ලබා ගත නොහැකි බව විපක්ෂය පවසනවා?

විපක්ෂයට නම් ඕනේ දෙයක් කියන්න පුළුවන්. ඔවුන් දකින්නේ සිහින මුළු රටම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අනුපාත ඡන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක ඡන්ද ප්‍රතිශතයක් ගන්න බැහැ. ඒත් අද වෙද්දි ඒ මතය සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට නිදහස් සන්ධානයට පුළුවන් වෙලා තිබෙනවා. ඌවේ දී අපිට තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ගත්තා.

බස්නාහිරදී තුනෙන් දෙක ගන්න බැරි වුණේ එක ආසනයකින්. අද දේශපාලන පෙළ ගැහිලා තියෙන ආකාරය අනුව තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් අපිට මහ මැතිවරණයේ දී ගන්න පුළුවන්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න අපිට පුළුවනි. ඒක මැතිවරණ ඉතිහාසයේ බිඳ දමන්න බැරි වාර්තාවක් විදිහට ඉතිහාසයට එකතු වෙන්න බැරිකමකුත් නැහැ.

ඒ නිසා මං ස්ථිරවම කියනව ඉදිරියේ දී තියෙන මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවනි. හෙට ඉර පායනවා වගේ මේ දේ ස්ථිරයි.

* යුද්ධය නිමාවීමෙන් පසුව රටේ නීතිය වල් වැදිලා කියලා සමාජය ඇතුළත මතයක් ඇතිවෙලා තිබෙනවා?

නීතිය වල් වැදුනේ අද නෙමෙයි 1977 දී. මතකනේ 1977 දී එජාපය බලයට ආපු වෙලාවේ පොලීසියට නිවාඩු දීලා රට ඇතුළේ විරුද්ධ පාක්ෂිකයන්ට විරුද්ධව නිල මැරයෝ මුදා හැරියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිනුයි. අපේ ආණ්ඩුව ඒ විදිහට මැරකම් නීති ගත කර නැහැ.

නීතිය සාධාරණත්වය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරන්න අපි සූදානම්. පොලීසියේ කවුරු හරි වරදක් කැර තිබෙනවා. ඒ අයට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කැර තිබෙනවා. ජනාධිපතිතුමාත් පැහැදිලිව පවසා තිබෙන්නේ තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඩුවම් කරන්න කියා.

එජාපය මේ සිද්ධි අල්ලගෙන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ලොකු කුමන්ත්‍රණයක යෙදිලා ඉන්නවා. මේ සියල්ලම ආණ්ඩුවේ ගිණුමට දමා ඔවුන් කාඩ්බෝඩ් වීරයන්වීමට උත්සාහ දරනවා.

* පොලීසියේ සහ දේශපාලනයේ ඉහළ මට්ටමේ අය වැරැදි කළාම නීතිය ක්‍රියාත්මකවීමේ දී ප්‍රමාදයක් තිබෙන බව පෙනෙනවා. පසුගිය දිනවල පොලීසිය ආශ්‍රිත සිදුවීම් නිසා ඒ තත්ත්වය වඩාත් පැහැදිලි බවට රට තුළ මතයක් ඇතිවෙලා තියෙනවා.

ඔය කතාව මටනම් පිළිගන්න බැහැ. මේ වෙද්දි පොලීසියේ වැරදි කළ අයත්, ඒ අයගේ ඥාතීන්වත් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මාධ්‍යවල නම ගියාට විපක්ෂයේ අය චෝදනා එල්ල කළාට පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න බැහැ. ඔබ මගෙන් අහන්න ඇත්තේ වාස් ගුණවර්ධන මහත්මයා ගැන වෙන්න ඇති.

පැමිණිල්ලක ඔහුගේ නම ගෑවුන පමණින් කෙනෙක් අත්අඩංගුවට ගන්න බැහැ. අඟුලාන සිද්ධියේ දී වගේ ම නිපුන රාමනායක සිද්ධියේදීත් වැරැදි සැකකරුවන්ට විරුද්ධව කටයුතු කරනවා. එහෙම නැතිව පොලිස් බලයට දේශපාලන බලයට විශේෂ සැලකිල්ලක් කරන්නේ නැහැ.

* උතුරේ සහන ගම්මානවල ජනතාවට ලැබිය යුතු පහසුකම් නොලැබීම සහ මෝසම් වර්ෂාව ආරම්භවීමත් සමඟ වසංගත රෝග බිය සහන ගම්මානවල ජනතාව අතර පැතිර යමින් තිබෙනවා. ආණ්ඩුව මේ තත්ත්වය වැළැක්වීමට මොන විදිහේ පියවරක් ද ගෙන තියෙන්නේ?

මෝසම් වර්ෂාව ආපුවහම උතුරේ දකුණේ කියල වෙනසක් නැහැ ජනතාව අපහසුතාවයට පත් වෙනවා. සියලු ජනතාව මේ අපහසුතාවලින් ගලවා ගැනීම රජයේ යුතුකමක් සහ වගකීමක් විදිහට සඳහන් කරන්න පුළුවනි.

මෙතැනදි සහන ගම්මානවල ජනතාව ගැන අපි විශේෂයෙන් ම හිතනවා. ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න රජය කටයුතු කර තියෙනවා.

රජය මේ වෙලාවේ මූලික අරමුණ විදියට සලකන්නෙ සහන ගම්මානවල ජනතාව හැකි ඉක්මනින් ඒ අයගේ ගම්බිම්වල පදිංචි කරවීමට කටයුතු කරලා තියෙනවා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත උතුර සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පුළුවන්කම ලැබිලා තිබෙනවා.

අපේ රටට සාපේක්ෂව යුද්ධ තිබුණ වෙනත් රටවල් සාමාන්‍ය තත්ත්වයට පත් වුණේ අවුරුදු පහක් දහයක් ගත වුණා. ඒත් ශ්‍රී ලංකාවට පුළුවන්කම ලැබිලා තියෙනවා.

* උතුරේ සුබසාධන කටයුතුවල දී ජල සම්පාදන අමාත්‍යාංශය මොනවිදිහට ද මැදිහත්වෙන්නේ?

උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රමුඛතම ගැටලුව විදිහට සලකන්න පුළුවන්කම තියෙන්නේ පානීය ජල ප්‍රශ්නය. මේ නිසා මේ ප්‍රශ්නය විසඳීම අනිවාර්යයෙන් ම සිද්ධ වෙන්න ඕනෑ.

යුද්ධයෙන් පස්සෙ උතුර යළිත් ගොඩනැගෙද්දී අලුතින් ගෙවල් හැදෙනව. ගම්මාන හැදෙනවා. ඒ ගම්මානවලට පානීය ජල පහසුකම් ලබා දෙන්න අපේ අමාත්‍යංශය කටයුතු කරල තියෙන්නේ. ඉදිරියේ දී මේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා වුණාට පස්සේ උතුරේ පානීය ජල ගැටලුව විසඳා ගැනීමට පුළුවන්.

උතුරේ විතරක් නෙමෙයි මුළු රටේ ම පානීය ජල ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම අපේ වගකීම. ඒ වගකීම අපි නිසි විදිහට ඉෂ්ට කරන්න කටයුතු කරල තියෙන්නේ. මෙහි දී අපි විශේෂයෙන් ම සලකලා බලන්නේ වියළි කලාප ප්‍රදේශ ගැන. ඒ ප්‍රදේශවල තමයි පානීය ජල ප්‍රශ්නය ප්‍රබල විදිහට තියෙන්නේ.

උදාහරණයක් විදිහට මගේ දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කය ගනිමු. මේ ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නය හැමදාම තිබුණා. ප්‍රබලම ගැටලුව වෙලා තිබුණේ එම ප්‍රශ්නය අද වෙද්දි විසඳුම් ලබාදීමට අපි කටයුතු කරලා තියෙන්නෙ.

මේ දිස්ත්‍රික්කය විතරක් නෙමෙයි සියලු දිස්ත්‍රික්කවල ජල ප්‍රශ්නය විසඳීම තමයි මේ අමාත්‍යංශයේ පරමාර්ථය වෙන්නේ. අපේ ඉලක්කය තමයි ඉදිරි අවුරුදු දහයේ දී පානීය ජල ප්‍රශ්නයට විසැඳුම් ලබාදීම.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා