විදෙස් මාධ්‍යයට බොරු කීවේ එල්ටීටීඊ යේ උපදෙස් මතයි

 මුලතිව් හි වෛද්‍ය අධිකාරිවරයා

විදෙස් මාධ්‍යයට බොරු කීවේ එල්ටීටීඊ යේ උපදෙස් මතයි

නීතිඥ තම්බයියා උසාවියට කියයි

මානුෂීය මෙහෙයුම් සිදුකළ ආරක්ෂක හමුදාවලට එරෙහිව අවතැන් වූවන් පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින බවට හා මියයන පුද්ගලයින් පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය ඇතුළු විදේශ විද්‍යුත් මාධ්‍යවලට සැකකාර වෛද්‍යවරුන් අසත්‍ය තොරතුරු ලබාදී ඇත්තේ එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ උපදෙස් හා බලපෑම මත යැයි නීතිඥ ඊ. තම්බයියා මහතා ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයක් වූ වෙල්ලිමුල්ලවයික්කාල් ප්‍ර‍්‍රදේශයේ දී ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගත් මුලතිව් රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු සැකකාර වෛද්‍යවරුන් 4 දෙනා ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් එසේ කී නීතිඥ තම්බයියා මහතා මොවුන් රජයේ සේවකයින් බව කීය.

හදිසි නීති රේගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි වෛද්‍ය අධිකාරි තංගවේලු සත්‍යමුර්ති, වෛද්‍ය කිලෝඅත්බලිම් වල්ලවාර්, වෛද්‍ය වීරකාන්තිපිල්ලේ ශන්මුගරාජා හා වෛද්‍ය ක්‍රිෂ්ණරාජා වර්ධරාජා යන සැකකරුවන් රහස් පොලීසිය මගින් ඊයේ (24) ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා වෙත ඉදිරිපත් කරන ලදී.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලීසිය මොවුන් විදේශ මාධ්‍යවලට අසත්‍ය තොරතුරු ලබාදී රජය හා ආරක්ෂක හමුදා අපහසුතාවට පත් කර ඇති බව කීය.

ඉදිරිපත් කළ කරුණු සළකා බලා සැකකරුවන්ට ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත් හපුආරච්චි මහතා මසකට වරක් වවුනියාවේ පිහිටි රහස් පොලීසියේ කාර්යාලයට පැමිණ වාර්තා කරන ලෙස නියම කෙළේය. කොන්දේසි සහිතව එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලෙසද තවදුරටත් නියම කෙළේය.

සැකකරුවන් ලබන නොවැම්බර් 09 වැනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත් හපුආරච්චි මහතා සැකකරුවන් පිළිබඳ පවත්වන විමර්ශනයේ ප්‍රගතිය හා ඔවුන් පිළිබඳව ගන්නා ඉදිරි ඛ්2යාමාර්ග ඊළඟ දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලීසියට නියම කෙළේය.

නීතිඥවරුන් වන මංජුල පතිරාජ, තිලක් විජේසුන්දර, පී. තවරාජා යන මහත්වරු සමග නීතිඥ ඊ. තම්බයියා මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා