අවස්ථාවාදයට වන්දනාමාන කරන්නෝ...

අවස්ථාවාදයට වන්දනාමාන කරන්නෝ...

පැහැදිලි දර්ශනයක් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇතිව ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ දශක 3 ක් රට වෙලාගත් බිහිසුණු ත්‍රස්තවාදයෙන් මාතෘ භූමියත් ජනතාවත් විශේෂයෙන් දෙමළ ජාතියත් මුදාගැනීමටය.

ඒ සඳහා ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව / ආරක්ෂක ප්‍රධානීහු සහ රණවිරුවෝ එකම අධිෂ්ඨානයකින් කැපවීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළහ. ඉදිරියට තැබු පය දේශීය වේවා ජාත්‍යන්තර වේවා කිසිම බලවේගයකට ආපසු හරවන්නට නොහැකි විය. රාජ්‍ය නායකයා දැඩි අධිෂ්ඨානයකින් සියලු තීන්දු තීරණ ගත්තේ රට වෙනුවෙන් බව දැන් ජනතාව පමණක් නොව සමස්ත ලෝකයටම ඔප්පුකොට හමාරය. ලෝකයට ආදර්ශ කොට ගන්නට සිත්වී ඇත්තේ අපේ දිවයිනයි.

අපේ නායකයායි. ප්‍රභාකරන් විනාශ කරන සියලු සැලසුම් නතර කරන්නට ගත වූ වසර 3 ඇතුලත ක්‍රියාත්මක කළ අශුද්ධ බලවේග සහය දේශද්‍රෝහී කුමන්ත්‍රණ සියල්ල ව්‍යර්ථවී ගියේය.

මුලින්ම රණවිරු ජයග්‍රහණ හෑල්ලුවටත් ආණ්ඩුව හාස්‍යයටත් ලක් කරමින් කටවල් ඇරියේ රනිල් රවී ලක්‍ෂ්මන් වැනි කොදු නාරටිය පණ නැති රට ගැන කැක්කුමක් නැති අවස්ථාවාදයට වන්දනා මාන කළ ඇත්තෝ ය. එක් අයෙකුට තොප්පිගල සිතියමේ වත් නැති කැළෑවකි. තවත් අයෙකුට අලිමංකඩ කිලිනොච්චිය තෝරා බේරාගැනීමට නොහැකි විය.

තවත් කෙනෙකු යුද්ධය ගොන්නුන්ගේ වැඩක් බව කියා සිටියේය. වසර 11 ක් රට පාලනය කළ ඉන්වසර 5 ක් ප්‍රමාද වී රාජකාරි කළ ළමාතැනීත් යුද්ධය මුදල් නාස්ති කරන අසාර්ථක ව්‍යායාමයක් කී මංගලත් එතෙර සවාරි ගැසුවේ කුහකකම ඊර්ෂ්‍යව මුල්කරගෙන ආණ්ඩුවට එරෙහිව කොළ බෙදන්නටය.

අල්ජසිරා රූපවාහිනියෙන් ගල් පැලෙන බොරු ඇද බෑ ළමාතැනී රනිල් සමඟ එකතු වූයේ ජනාධිපති නැති කරන්නටය. ආණ්ඩුව පෙරළන්නටය. ආණ්ඩුව පෙරළා යළිත් ත්‍රස්තවාදීන්ගේ අනුකම්පාවෙන් ජීවත් වන්නටය. සියලු බලවේග පරාජයට පත්විය. එහෙත් කුමන්ත්‍රණය තවමත් අවසන් නැත. දැන් ඔවුන් අමුතු කරුණාවක් දයාවක් පපුකැවුතු තුල තැන්පත් කරගෙන ඇත.

ඒ මුදාගත් දෙමළ ජනතාව ගැනය. ප්‍රභාකරන්ගේ කටෙන් ගලවාගත් තුන් ලක්‍ෂයකට ආසන්න දෙමළ ජනතාවට ආණ්ඩුව දිය හැකි සියලු පහසුකමක්ම ලබාදී ඇත.

තුන්වේලට කෑම ලැබේ. අසනීපයට බෙහෙත් ඇත. දරුවන්ට අධ්‍යාපනය ලබාදෙයි. උසස් පෙළ හා පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අය ද සිටිති. වෘත්තීය පුහුණුව ද නොඅඩුව ලැබේ. එහෙත් මේ බොරුවට කෑගසන වායු සමීකරණය කළ කාමරවල සිටින කොළඹ ඇත්තන්ට අවශ්‍ය මුදාගත් ජනතාව තරුපහේ හෝටල්වල පදිංචි කරන්නටය. මුදාගත් ජනතාව ගැන කතා කරන්නට අලුතින්ම ඉදිරිපත්ව සිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රය.

ඔහු සති අන්ත පුවත් පතක් සමඟ සංවාදයකට එක්වෙමින් දෙමළ ජනතාව ගැන හඬා වැළපෙන්නට පටන්ගෙන තිබේ. සුරේෂ් ප්‍රේමචන්ද්‍රලා සම්බන්ධන්ලා ප්‍රභාකරන් ජීවත්ව සිටියදී දෙමළ ජනතාව වෙනුවෙන් කටක් ඇරියේ නැත.

කුරිරු ඝාතන හෙළා දුටුවේ නැත. දෙමළ මිනිසන්ුගේ මළගේකටවත් ගොඩවුයේ නැත. ඇඟපත පමණක් ඇති මොළේ ඇති යයි සිතන්නට බැරි ප්‍රේමචන්ද්‍රලා ප්‍රභාකරන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණ කළහ.

පෝස්ටර් ප්‍රදර්ශනය කළහ. සභා ගැබේ බිම වාඩිවී මරලතෝනි දුන්හ. සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කියන්නේ බිම් බෝම්බ නැති ප්‍රදේශවලට ජනතාව යැවිය යුතු බවය. බිම් බෝම්බ ඇති නැති තැන් හරියටම දන්නේ ඒවා වැළලූ අයයි.

එනම් ප්‍රභාකරන් ඇතුළු කොටි කල්ලිය හා ඔවුන්ට කඩේ ගිය දෙමළ ජාතික සනධානයයි. එසේනම් දැන් සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කළ යුත්තේ උතුරට ගොස් බිම් බෝම්බ වැළලූ තැන් වහාම පෙන්වා දීමය. දෙමළ ජනතාවට ආදරයක් ඇත්නම් කළ යුත්තේ ද එයයි.

 දෙමළ ජනතාව නිදහස් කර ගන්නා තුරු දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවෝ එයට හරස් වූහ. සහාය පළ කිරීමෙන් වැළකුණහ. ප්‍රභාකරන් රකින්නට දැඟලූහ. මේ පිරිසත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානත් තවමත් වලි කන්නේ ආණ්ඩුව පෙරළා දැමීමටය. රටම ආදරය කරන ජනාධිපතිගේ ජීවිතයට හානියක් කිරීමටය.

මේ අවස්ථාවේදී රටේ ජනතාව ආණ්ඩුව සමඟ ශක්තියක් වන සේ සිටිය යුත්තේ දෙස් විදෙස් කුමන්ත්‍රණකාරයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීමට ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා