ආන්ද්‍රා මහ ඇමැතිගේ දේශපාලන පාඩම

ආන්ද්‍රා මහ ඇමැතිගේ දේශපාලන පාඩම

සුගිය දෙවන දා පැතිර ගිය දුක්මුසු පුවතකින් මුළු මහත් භාරතය ම කැලඹීමට පත් විය. එහි මධ්‍යම ආණ්ඩුවත් බලවත් අපහසුවකට පත් විය. ආන්ද්‍රා ප්‍රදේශ්හි අගනුවර වූ බෙගම්පෙට් හි සිට චිත්තූර් දිස්ත්‍රික්කයෙහි අනුපාලී නම් ගම්මානය වෙත පියාසර කරමින් තිබූ බෙල් වර්ගයට අයත් හෙලිකොප්ටරයක් ගමන අතරමග දී අතුරුදන් වී ඇති බව පුවතින් කියැවිණි.

මේ සිදුවීමෙහි අනුවේදනීය කතාන්දරය වන්නේ ජනප්‍රිය දේශපාලකයකු වූ වයි. එස්. ආර්. හෙවත් වයි. එස්. රාජසේකර් රෙඩ්ඩි ඉහත කී හෙලිකොප්ටරයේ ගමන් කිරීම ය. ඔහු ආන්ද්‍රා ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ය.

දෙදහසක හමුදාවක් ගුවන් යානා එකොළහක් ද යොදා ගනිමින් අනතුර පිළිබඳ සෝදිසි මෙහෙයුමක යෙදුණාහ. පසු දා උදෑසන වන විට අශුභ ආරංචියක් පැතිර ගියේ ය.

 එනම් රාජසේකර් රෙඩ්ඩි මහතා හා තවත් සිව්දෙනකු හෙලිකොප්ටර් අනතුරෙන් මිය ගොස් ඇති බව ය. කර්නූල් නම් නගරයේ කඳු ගැටයක් මත හෙලිකොප්ටරයේ සුන්බුන් දක්නට ලැබිණි.

අනතුර සිදු වූ ප්‍රදේශය ඉන්දීය මාවෝවාදීන් ගැවසෙන කලාපයෙකි. එහෙත් අයහපත් කාලගුණය නිසා ගුවන් අනතුර සිදු වී ඇතැ’යි කියති. මහඇමැතිවරයා මිය ගිය පුවත සැලවීමත් සමඟ මුළු මහත් ඉන්දියාව ම ශෝක වූ බව වාර්තා වේ.

රාජසේකර් රෙඩ්ඩි මහතා හඳුන්වන්නේ නූතන ඉන්දියාව ලෝකයට ගෙන ගිය මහත්තයා යන ගෞරව නාමයෙනි. ආන්ද්‍රා ප්‍රදේශය තොරතුරු තාක්ෂණය විෂය පිළිබඳ ලෝක ප්‍රකට ප්‍රාන්තයෙකි.

අමෙරිකාවේ හා යුරෝපයේ බොහෝ ආයතනවල පරිගණකය අසල ආන්ද්‍රා ප්‍රදේශයෙහි තරුණයකු හෝ තරුණියක වාඩි වී සිටීම සාමාන්‍ය සිදුවීමක් බවට පත් ව තිබේ.

 ඉන්දියාවේ හතරවන විශාල ම ප්‍රාන්තය වන ආන්ද්‍රා ප්‍රදේශය දුප්පතුන්ගෙන් ගහන කලාපයක් ව පැවැතිණි. එහි මහ ඇමැති ධූරයට පත් රෙඩ්ඩි මහතා දිළිඳුකම පිටුදැකීම සඳහා අලුත් උපාය මාර්ග සෙවී ය.

රාජසේකර්  රෙඩ්ඩි මහතා තම ප්‍රාන්තය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන උපාය මාර්ග හතරක් භාවිත කළේ ය. පළමුවැන්න තොරතුරු තාක්ෂණ විෂය තරුණ පරපුර අතර ජනප්‍රිය කරවීම ය. මේ සඳහා ‘මයික්‍රෝසොෆ්ට්’ වැනි ආයතනවල සහාය ද ලබාගෙන තිබේ. දෙවැන්න අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම ය. තෙවැන්න ව්‍යාපාරික කටයුතු දියුණු කිරීම ය. හතරවැන්න සමාජ සුබ සාධනය ව්‍යාප්ත කිරීම ය. ආන්ද්‍රා ප්‍රාන්තය නූතන ඉන්දියාවේ දියුණු ම ප්‍රදේශයෙකි. එහි බොහෝ අය විදේශ රැකියාවල නිරත වෙති. විරැකියාවෙන් පෙළෙන පිරිස ඉතා ශීඝ්‍රයෙන් අඩුවන්නට පටන්ගෙන තිබේ.

රාජසේකර් රෙඩ්ඩි නම් දේශපාලකයාගෙන් අපේ දේශපාලකයන්ට උගත හැකි පාඩම් ගණනාවක් තිබේ. පළමුවැන්න ඔහු ගේ අවංකභාවය යි. ඔහු ජනතාවට උපරිම අන්දමින් සේවය කළා මිස මහජන ආයතනවලින් ගසාකෑවේ නැත.

දෙවැන්න ඔහු සතු බුද්ධිමත්භාවය යි. නූතන ලෝකයට ගැළපෙන දැනුම හා නිපුණත්වය තමන් ගේ ජනතාව වෙත සමීප කිරීමට රෙඩ්ඩි මහතා සමත් විය. තෙවැන්න මේ දේශපාලකයා සතු චාම් – සරල පැවැත්ම ය.

වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ හෙතෙම ඉන්දියාවට ගැළපෙන සරල ඇඳුමකින් සැරසුණේ ය. මහ ඇමැතිවරයකු ලෙස මහේශාක්‍ය ජීවිතයක් ගත කිරීමට ඔහු පෙළඹුණේ නැත. පැවැත් ම ඉතා සරල වූ අතර හැකි සෑම විට ම ජනතාව සමඟ ගැවසුණේ ය.

වයි. එස්. ආර්. යන ජනප්‍රිය නාමයෙන් හඳුන්වනු ලබන රෙඩ්ඩි මහතාට සමස්ත ඉන්දියාව පුරා පැතිර ගිය කීර්ති නාමයක් තිබිණි. පක්ෂ – විපක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලකයෝ ඔහුට ගෞරව කළහ.

පාලක කොංග්‍රස් පක්ෂයේ ඉදිරි පෙළ ප්‍රබලයන් අතර ප්‍රමුඛ තැනක් ඔහු ට හිමි වේ. අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා මෙන් ම කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ද රෙඩ්ඩි ගේ අඩුව පිරැවිය නො හැකි පාඩුවක් බව කීහ.

මෙවර කොංග්‍රස් පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයට කෙළින් ම බලපෑ පුද්ගලයකු ලෙස රාජසේකර් රෙඩ්ඩි මහතා හඳුන්වනු ලැබේ. ඔහු ඉතා කැපවීමකින් යුතු ව දේශපාලන කටයුතුවල නිරත වූ නායකයෙකි.

ආන්ද්‍රාහි මහ ඇමැතිවරයා ගැන විමසන කල්හි අප ගේ ඇතැම් දේශපාලකයන් ගේ මෝඩකම් ද අමනකම් ද මොනවට පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා කොටින් ගේ ප්‍රහාරයකින් මහ මඟ මිය ගිය විට මේ රටේ බොහෝ දෙනා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. සමහරු රතිඤ්ඤා දල්වා කිරිබත් කෑහ.

හිටපු ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතා වේදිකාවේ කතාකරන විට මිනිස්සු හූ කියති. රවී කරුණානායක මන්ත්‍රීවරයා කතා කරන විට මිනිස්සු කට කොනකින් සිනාසෙති.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කතා කරන විට මිනිසුන් ගේ කෝපය ඇවිලෙයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන හැම තැනක ම මහා අවුලක් ඇති කර ගනී.

වයි. එස්. රාජසේකර් රෙඩ්ඩි මහ ඇමැතිවරයා මිය ගිය පුවත සැලවීමත් සමඟ මිනිස්සු හැට ගණනක් ශෝකය දරාගත නො හැකි ව ළය පැලී මිය ගිය හ.

තවත් කිහිප දෙනෙක් වස පානය කොට ජීවිතක්ෂයට පත් වූහ. හයිද්‍රබාද්හි ලාල් බහදූර් ක්‍රීඩාංගණය වෙත ඔහු ගේ මෘත ශරීරය ගෙන ඒමත් සමඟ රැස් වූ ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා පොලිස් මුරකාවල් බිඳගෙන ගොස් ඔහු ගේ මළ සිරුර ඉදිරිපිට වැඳ වැටුණා හ. ජනතාව සමඟ සිටින දේශපාලකයකු ගේ ජනප්‍රියභාවය කෙතරම් ද යත් මින් මොනවට පැහැදිලි වේ.

බඩ හා කඳ විශාල වූ පමණින් හොඳ දේශපාලකයකු වීමට පුළුවන්කමක් නැත. උගත්කම් තිබූ පමණින් ද වංශවත් පරපුරකින් පැවැතච ආ පමණින් ද යහපත් නායකයකු විය නො හැකි ය.

වත් පොහොසත්කම් තිබූ පමණින් ද ඒ කාරණය කළ නො හැකි ය. යහපත් දේශපාලකයා නිතැතින් ම ජනතා සේවකයකු විය යුතු බව රාජසේකර් රෙඩ්ඩි මහතා මුළු ලෝකයට ම කියා දී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා