ශී‍්‍ර ලංකාව ලකුණු 97කින් නවසීලන්තය පරදවයි

ලසිත් මාලිංග ලකුණු 28ට කඩුලු 4යි

ශී‍්‍ර ලංකාව ලකුණු 97කින් නවසීලන්තය පරදවයි

තිලාන් සමරවීර හා ඇන්ජලෝ මැතිව්ස් ගේ වාර්තාගත කඩුලු සබඳතාවයෙන් පසුව ලසිත් මාලිංග හා නුවන් කුලසේකර වේග පන්දු ප්‍රහාරය හමුවේ අසරණ වූ නවසීලන්තය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊයේ පැවැති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 97ක පරාජයක් ලැබීය.

ඉන්දියාවේද සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මේ ආරම්භක තරගයේ ශ්‍රී ලංකාව කඩුලු 7 කට රැස් කළ ලකුණු 216 ට පිළිතුරු වශයෙන් ඕවර 36.1 ක් ඇතුළත සියළු දෙනා දැවී නවසීලන්තය ලබා ගත්තේ ලකුණු 119 ක් පමණි.

සුවිශේෂී වේග පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ඕවර හයයි පන්දුවක් ඇතුළත ලකුණු 28ක් පමණක් ලබාදෙමින් කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් විය.

නුවන් කුලසේකර ලකුණු 18කට කඩුලු 2ක්ද සනත් ජයසූරිය ලකුණු 28කට කඩුලු 2ක්ද ලබා ගත්හ.

සිය මංගල එක්දින ශතකය රැස් කරමින්
තරගයේ වීරයා වූ තිලාන් සමරවීර

ලකුණු 217ක ජයග්‍රාහීය ඉලක්කය හඹා යාමේදී නවසීලන්තයට දෙවැනි ඕවරයේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල අහිමි විය. තිලාන් තුෂාර ඔහුගේ දෙවැනි පන්දුවෙන් ජෙසී රයිඩර් (0) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. ඒ වන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ මුළු ලකුණු 2ක් පමණි.

ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් පමණක් එක් වෙද්දී දෙවැනි කඩුල්ල බිඳ වැටිණි. එවර දැවී ගියේ අංක 1 පිතිකරු මාටින් කප්ටිල් ය. ලකුණු 3ක් ලබාගෙන සිටි ඔහු කඩුලු රකින කුමාර් සංගක්කාර අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. මුළු ලකුණු 7දී රොස් ටේලර් (2) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය.

මේ කඩුලු දෙකම සිය තෙවැනි ඕවරයේ දී ලබා ගත්තේ නුවන් කුලසේකර . ඒ අනුව පළමු ඕවර 5 අවසන් වන විට නවසීලන්ත පිලේ කඩුලු 3ක් ලකුණු 7කට බිඳ වැටී තිබිණි.

ඕවර 10ක් අවසන් වන විට නවසීලන්ත ඉනිමට තවත් එක්ව තිබුණේ ලකුණු 10 ක් පමණි. ඊළඟ ඕවර පහේදී ලකුණු පුවරුවට එක් වූයේ ලකුණු 7ක් පමණි.

19 වැනි ඕවරය තරගයේ තීරණාත්මක ඕවරය විය. එම ඕවරය යැවුවේ ලසිත් මාලිංග ය. ඔහුගේ එම සිවුවැනි ඕවරයේ දී මාලිංග කඩුලු 3ක් බිඳ හෙලුවේ නවසීලන්ත කණ්ඩායම අන්දමන්ද කරවමිනි.

ලසිත් මාලිංගගේ එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ඔහුගේ පළමු ගොදුර බවට පත් වූයේ ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් ය. පන්දු 52 කට මුහුණ දීමෙන් පසුවත් මැකලම්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 14ක් පමණි. මාලිංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු මුළු ලකුණු 37 දී දැවී ගියේය.

ඔහු ලකුණු 13 ක් ලබාගෙන සිටියදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවකට දුන් උඩ පන්දුව කඩුලු රකින සංගක්කාරගේ අතින් ගිලිහීම නිසා දැවී යාමෙන් බේරිණි. බ්‍රෙන්ඩන් මැකලම් ඊයේ ඔහුුගේ එක් දින ලකුණු 3000 සම්පූර්ණ කෙළේය.

එම ඕවරයේ පස්වැනි හා හයවැනි පන්දුවලදී මාලිංග විසින් ජේකබ් ඕරම් (4) හා නේදන් මැකලම් (0) දවාලනු ලැබීය. ඕරම්, සංගක්කාර වෙත උඩ පන්දුවක් දෙමින්ද නේදන්, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ද දැවී ගියහ.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ පස්වැනි සහ හයවැනි කඩුලු මුළු ලකුණු 41 දී බිඳ වැටිණි. ඕවර 25 ක් අවසානයේ නවසීලන්ත පිලේ කඩුලු හයකට ලකුණු 70 ක් ලබා ගෙන සිටියේය.

ග්‍රාන්ට් එලියට් හා ඩැනියල් වෙටෝරි 7 වැනි කඩුල්ලට ලකුණු 35 ක් එක් කරමින් සිටියදී වෙටෝරි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 10කට දැවී ගියේය. එවර එම කඩුල්ල ලබා ගත්තේ සනත් ජයසූරියයි.

නවසීලන්ත 8 වැනි කඩුල්ල බිඳ හෙලුවේද ජයසූරිය යි. ඔහුගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ග්‍රාන්ට් එලියට් 33 වැනි ඕවරයේදී දැවී ගියේ ඉයන් බට්ලර් සමග ලකුණු 25 ක් 8 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කිරීමෙන් පසුවය. පන්දු 76 කට මුහුණ දුන් එලියට් හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක් රැස් කෙළේය.

ඩැරල් ටෆී (2) සිය සීමාවෙන් පිටව සිටියදී සංගක්කාර විසින් කඩුල්ල බිඳ හෙලීමෙන් දැවී ගිය අතර ලසිත් මාලිංග ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් නවසීලන්ත පිලේ අවසන් කඩුල්ල වූ බට්ලර් දැවී ගියේය. හතරේ පහරක් හා හයේ පහරක් එල්ල කළ ඔහු පන්දු 38 කින් ලකුණු 25 ක් රැස් කෙළේය.

පාකිස්තානයට හා නවසීලන්තයට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පසුගිය තරග පහේදීම කාසියේ වාසිය අහිමි කර ගත් ශ්‍රී ලංකාව ඊයේ කාසියේ වාසිය හිමිකර ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද තරගයේ පළමු ඕවර 2 ඇතුළත ඔවුන්ගේ කඩුලු 2 ක් බිඳ වැටිණි.

පන්දු හයකට පමණක් මුහුණ දුන් තිලකරත්න ඩිල්ෂාන් හතරේ පහරක් එල්ල කොට ඩැරල් ටෆීගේ පන්දුවක් පිත්තේ අග වැදී කඩුල්ලේ ගැටීමෙන් පළමු ඕවරයේ අවසන් පන්දුවේදී දැවී ගියේය.

ඊළඟ ඕවරයේ ෂේන් බොන්ඩ්ගේ පන්දුවකට ‘ස්ලිප්’ කලාපයේ රොස් ටේලර් අතට උඩ පන්දුවක් දෙමින් මහේල ජයවර්ධන ලකුණු නොලබාම දැවීගියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 2 මුළු ලකුණු 5 දී බිඳ වැටිණි.

අනෙක් ආරම්භක පිතිකරු සනත් ජයසූරිය හටද ඊයේ වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි විය. පිතිකරණයේ යළිත් වතාවක් අසාර්ථක වූ ඔහුට පන්දු 20කට මුහුණ දෙමින් රැස්කර ගත හැකි වූයේ ලකුණු 7ක් පමණි.

බොන්ඩ් ගේ පන්දුවකට ‘තර්ඩ් මෑන්’ හි ඉයන් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දෙමින් ජයසූරිය 8වැනි ඕවරයේදී දැවී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල මුළු ලකුණු 22 දී බිඳ වැටිණි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 16 ක් පමණක් එක්වෙද්දී සිවුවැනි කඩුල්ලද බිඳ වැටිණි. එවර දැවී ගියේ නායක කුමාර් සංගක්කාරය. 16 වැනි ඕවරයේ බට්ලර්ගේ පන්දුවකට ‘ස්කුවෙයාර් ලෙග්’ හි ජේකබ් ඕරම් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

පන්දු 47කට මුහුණ දුන් සංගක්කාර එක් හතරේ පහරක් සමඟ ලබා ගත්තේ ලකුණු 18 කි. ඕවර 25ක් අවසානයේ ශ්‍රී ලංකා පිලේ කඩුලු 4 ක් ලකුණු 68කට බිඳ වැටී තිබිණි.

තිලාන් සමරවීර හා තිළිණ කණ්ඩම්බි එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක් රැස් කරමින් සිටියදී ඩැනියල් වෙටෝරි විසින් කණ්ඩම්බි දවාලමින් එම සබඳතාව බිඳ දමනු ලැබීය. පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 15 ක් ලබා ගෙන සිටි කණ්ඩම්බි ‘ෂෝට් මිඩ් විකට්’ හි පන්දු රකිමින් සිටි ටේලර් අතට උඩ පන්දුවක් දෙමින් 26 වැනි ඕවරයේදී දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් තිලාන් සමරවීර සමග එක් වීමෙන් පසුව දෙදෙනා ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම ඉහළ නංවන්නට වූහ. සමරවීර පන්දු 78කින් අර්ධ, ශතකයක් වාර්තා කළ අතර එයට හතරේ පහර 3 ක් ඇතුළත්ව තිබිණි.

27 වැනි ඕවරයේ දී සමරවීර එල්ල කළ ඔහුගේ පළමු හතරේ පහර සමස්ත ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි හතරේ පහර විය. එය වාර්තා වූයේ දෙවැනි හතරේ පහරට පන්දු 143කට පසුවය.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 100 සටහන් වනවිට ඕවර 32ක් හා පන්දු 5ක් යවා අවසන්ව තිබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ තිලාන් සමරවීර හා ඇන්ජලෝ මැතිව්ස් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127ක සබඳතාවයක් පිහිටුවූහ.

එය නවසීලන්තයට එරෙහිව හයවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා වාර්තාවකි. මීට කළින් එම කඩුල්ල වෙනුවෙන් වැඩිම සබඳතාව වූ ලකුණු 103 වාර්තා කර තිබුණේ 2001 වසරේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම රසල් ආනෝල්ඩ් හා සුරේෂ් පෙරේරා විසිනි.

සිය දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මැතිව්ස් බොන්ඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යාමත් සමඟ හයවැනි කඩුලු සබඳතාව අවසන් විය. පන්දු 60කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සමඟ ලකුණු 51ක් රැස් කෙළේය.

ලබන 22 වැනිදා 33 වැනි වියට පා තබන සමරවීර ඊයේ ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් මංගල එක්දින ශතකයක් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක් විය.

ඔහු ඉයන් බට්ලර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට ලකුණු 104 ක් රැස්කර ගෙන සිටියේය. පන්දු 124ක ඔහුගේ වටිනා ඉනිම හතරේ පහර 10කින් කැටයම් වී තිබිණි.

නවසීලන්තය වෙනුවෙන් ෂේන් බොන්ඩ් ලකුණු 43කට කඩුලු 3 ක්ද ඉයන් බට්ලර් ලකුණු 55කට කඩුලු 2 ක්ද ලබා ගත්හ.

ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 7 කට ලකුණු 216 ක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාව (කඩුලු 7ට ඕවර 50ක දී) ලකුණු 216 - ටී.සමරවීර 104, ඒ. මැතිව්ස් 51 (බොන්ඩ් 43/3, බට්ලර් 55 /2)

නවසීලන්තය (ඕවර 36.1ක දී සියලු දෙනාම දැවී) ලකුණු 119 - ග්‍රාන්ට් එලියට් 41, ඉයන් බට්ලර් 25 (මාලිංග 28/4, කුලසේකර 18 /2, ජයසූරිය 28/2)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා