කතා දෙකක් නැහැ දකුණ ජය ගන්නවා

කතා දෙකක් නැහැ දකුණ ජය ගන්නවා

මර්වින් සිල්වා කම්කරු අමාත්‍ය

කුණු පළාත් සභා මැතිවරණය, අනර්කලී ආකර්ෂාගේ දේශපාලන සම්ප්‍රාප්තිය, කැලණිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා සමඟ පැවැති ගැටුම පිළිබඳව කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙසේ අදහස් දක්වයි.

* මේ වනවිට දකුණු පළාත් මැතිවරණ සටන බොහොම උණුසුම් වෙලා තිබෙන බව පෙනෙනවා. මතවාදී වශයෙන් මෙන්ම ශාරිරික වශයෙන්ද ගැටුම් වාර්තා වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක මැතිවරණය පිළිබඳ ඔබගේ තක්සේරුව කෙබඳුද?

ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපේ ඡන්ද සටන පටන් ගත්තේ නැඟෙනහිර පළාතෙනුයි. ඒ කියන්නේ හිරු නැඟෙන පැත්තෙන්. හිරු නැඟෙන පැත්තෙන් පටන්ගත්තු සියලුම මැතිවරණවල ජයග්‍රහණයේ ප්‍රතිශතය එකින් එක ඉහළට වර්ධනය වුණා. යුද්ධය අවසන් කරලා පළමුවෙන්ම මැතිවරණයක් තිබ්බේ ඌව වෙල්ලස්සෙයි.

එහිදී වතුකරයේ දෙමළ ජනතාව ඇතුළු සියලුම ජනකොටස් ජනාධිපතිතුමා කෙරෙහි තිබ්බ විශ්වාසය පළුදු නොවන විදිහට කටයුතු කළා. වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ඒ බව ජනතාව තහවුරු කළා.

දකුණ කියන්නේ ජනාධිපතිතුමා ඉපදුණු ප්‍රදේශය. ඒ නිසා ඒ ලේවලට සම්බන්ධ දකුණේ ජනතාව තමන්ගේ රටේ නායකයාගේ හිත නරක්වෙන විදිහට ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා කතා දෙකක් නැහැ. ඉතිහාසයේ ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන අපි දකුණු පළාත ජයග්‍රහණය කරනවා.

* රණවිරුවන් දිවිපරදුවට තබා ලද ජයග්‍රහණය පදනම් කරගෙන ආණ්ඩුව මැතිවරණ ජයග්‍රහණ කරනවා කියන චෝදනාව තවමත් ආණ්ඩුව දෙසට යොමුවෙනවා?

අපි මානුෂීය මෙහෙයුම විතරක් කරපු ආණ්ඩුවක් නොවේ. මානුෂීය මෙහෙයුම් කරන ගමන්ම විශාල සංවර්ධනයක් අපි රටේ ඇති කළා. සුබසාධන වැඩ කළා.

අද ලංකාවේ මාර්ග ගත්තම බොහොමයක් විදේශයන්හි තත්ත්වයන්ට සමානයි. මීට ඉස්සර මේවගෙ මංමාවත් රටේ තිබුණේ නැහැ. කෘෂිකාර්මික අංශය ගත්තත් එහෙමයි.

මෙහෙම බලපුවාම රටේ සෑම ක්ෂේත්‍රයකම විශාල දියුණුවක් පසුගිය කාලයේ ඇතිවෙලා තියෙනවා. එහෙත් ඒ මොනව කළත් රටක් අපිට ඉතිරිවුණේ නැත්නම් මේවායින් වැඩක් වෙන්නේ නැහැ.

මොන ගොඩනැගිල්ල හැදුවත් පාර හැදුවත් වැඩක් වෙන්නේ නැහැ රට ත්‍රස්තවාදීන්ට යටත් වෙලා තිබුණා නම්.

ඒ තත්ත්වයෙන් රට බේරාගත්තේ ජනාධිපතිතුමාගෙන් ලැබුණු නායකත්වය නිසයි. එහෙම නැතිව වැරැදිලාවත් එදා එක්සත් ජාතික පක්ෂයට බලය ගියානම් අද මේ වෙනකොටත් සන්නසකින් ලියලා රට ප්‍රභාකරන්ට බාරදීලා ඉවරයි.

ඒ ඇතිවෙන්න ගිය විනාශකාරිත්වය අවසන් කරලා කටයුතු කෙළේ ජනාධිපතිතුමාගේ නායකත්වයයි. ආරක්ෂක අංශයේ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දායකත්වයත් එයට තිබුණා.

 ඒ නිසා අපිට යුද්ධය ගැන කතාකිරීමේ සාධාරණ අයිතියක් තිබෙන බව අද මුළු රටම පිළිගන්නවා. ඒක දකුණු පළාතේදීත් තවත් තහවුරු වේවි.

* මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක් හටගැනුණා. මෙයින් පෙනෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ අභියෝගයක් වෙලා කියන එකද?

තිස්සමහාරාමයේ ඇතිවුුණු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අනවශ්‍ය මිනිස්සු ගෙනිහිල්ලා ඇතිකරපු තත්ත්වයක්. අනුකම්පාව ලබාගන්නයි ජ.වි.පෙ. ඔය වගේ දෙයක් කෙළේ.

හැබැයි මම තිස්සමහාරාමයේ එදා හිටියා නම් ජ.වි.පෙ.ට ඔය සෙල්ලම් දාන්න ඉඩ දෙන්නේ නැහැ. අද තිස්සමහාරාමයේ ඉන්න චමල් රාජපක්ෂ මැතිතුමා සාමකාමීව කටයුතු කරන කෙනෙක්.

එතුමාගේ තිබෙන ඒ වැඩි හොඳකම කවුරු හරි දුර්වලකමක් විදිහට සලකලා කටයුතු කරනවා නම් ඒ අයට දඬුවම් ලැබේවි. මොකද ජ.වි.පෙ. ඉපදිලා තියෙන්නේ භීෂණය කරේ තියාගෙනයි.

ඔවුන්ගේ තියෙන්නේ වනචාරි ගතිගුණයි. වනචාරි ගතිගුණ තියෙන අය සදාචාර ගතිගුණ තියෙන අය සමඟ ගැටෙන්න ආවහම ඒ අයට ඉබේම දඬුවම් ලැබෙනවා.

* එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නේ ආණ්ඩුව ඔවුන්ට පහර දුන්නේ මැතිවරණයේදී එල්ල වන අභියෝගයට බය වෙලා කියලයි?

පිස්සු බල්ලෙක් මිනිහෙක්ව කෑවහම මිනිස්සු එක්කහුවෙලා පිස්සු බල්ලව මරන්නේ තවත් මිනිස්සුන්ට කරදර කරයි කියලයි. එහෙම නැතිව බයකට නොවේ. ඒ වගේ ආණ්ඩුවට වුවමනා ජනතාව ආරක්ෂා කරගන්නයි.

 ජනතා විමුක්ති පෙරමුණට බයවෙන්න ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ. අපි බය නැති නිසා තමයි කෙළින්ම ඇඟිල්ල දික්කරලා කිව්වේ. උඹලා ඉන්නවානම් අපිත් එක්ක ඉඳපල්ලා.

බැරිනම් පලයල්ලා කියලා. අපි ජ.වි.පෙ.ට බයනම් අපේ දේශපාලනයට යම් හරි හානියක් වෙයි කියලා හිතුනානම් අපිට තිබුණා ඔවුන්ට බුලත් දීලා තියාගෙන වැඳගෙන ඉන්න. නමුත් අපි එහෙම කෙළේ නැහැ.

* ඔබ ඔහොම කිව්වට දකුණු පළාත තමයි ජනතා විමුක්ති පෙරමුණේ මූලාරම්භය තියෙන්නේ?

ඔව් ඇත්ත. ජනතා විමුක්ති පෙරමුණේ මූලාරම්භය දකුණ තමයි. ඒ විජේවීර සහෝදරයා නිසා. විජේවීර සහෝදරයාට අපි දොස් කියන්නේ නැහැ. එයා අපේම කෙනෙක්. ඒත් අද ජ.වි.පෙ.ට එහෙම නායකත්වයක් ශක්තියක් නැහැ.

අද බලන්න දකුණ. දකුණේ ඒ අයගේ නායකයා කවුද? නිහාල් ගලප්පත්තිද? චන්ද්‍රසේනද? අඩුගානේ විජේවීර සහෝදරයා ගියගමන යන්න කෙනෙක් ඒ පක්ෂයේවත් අද ඉතිරිවෙලා ඉන්නවද? හිටපු හොඳම ජ.වි.පෙ. සාමාජිකයන් අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ.

දැන් පක්ෂයේ ඉතිරිවෙලා ඉන්නේ කවුද? දුක්විඳලා කරදරවලට මුහුණපාලා අභියෝගයක් බාරගන්න කෙනෙක් අද ඉන්නවද?

* ජනප්‍රිය නළු නිළියන් වෙනත් දේශපාලන පක්ෂවලින් දේශපාලනයට පිවිසුනු විට ආණ්ඩු පක්ෂය විටින්විට නොයෙක් චෝදනා එල්ල කළා. නමුත් අද ආණ්ඩුව විසින්ම ජනප්‍රිය නිළියක් වන අනර්කලී ආකර්ෂා මෙනෙවිය මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඇයව තෝරා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ යම් විරෝධතා තිබෙන බව පෙනෙනවා?

නැහැ. කිසිම ප්‍රශ්නයක් අපේ නැහැ. මට කියන්න ඇයි අනර්කලීට දේශපාලනයට එන්න බැරි. අනර්කලී හොරකම් කරලා තියෙනවද? කුඩු විකුණලා තියෙනවද? මංකොල්ල කාලා තියෙනවද ඒ කිසිවක් කරලා නැහැ.

තරුණියක් හැටියට ජනප්‍රිය නිළියක් හැටියට ඇයට ආදරවන්තයෝ ඉන්නවා. වයසක මිනිස්සුත් තරුණ කෙල්ලන්ට ආදරය කරන කාලයේ තරුණ තරුණියෝ පේ‍්‍රම කරපුවාම මොකද වෙන්නේ.

ඒක දේශපාලනයට එන්න නුසුදුසුකමක් නොවේනේ. අනික ඇය ගේ පරම්පරාවත් දේශපාලනයට සම්බන්ධ පිරිසකගෙන් පැවැත එන්නේ. ඒ හින්දා ඇයට දේශපාලනයට එන්න සුදුසුකම් ඕනේ තරම් තියෙනවා. කාන්තාවන් පැමිණිලි දාපු කිසිම දේශපාලන පන්නරයක් නැති ජෝකර්ලාට වඩා අනර්කලීට සුදුසුකම් තියෙනවා.

* එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පැමිණියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කරමිනුයි. එහෙත් මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අදහසින් ඉවත් වී ඇති බවක් පෙනෙනවා?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේම නැහැ. විධායක ජනාධිපති ක්‍රමය නැත්නම් අපිට මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙනයාමේදී යම් යම් තීරණ ගැනීමේදී ජනාධිපතිතුමාට මේ ක්‍රමය විශාල ශක්තියක් වුණා.

විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රශ්නය තියෙන්නේ එහි බලය ම්ලේච්ඡ මිනිහෙක් අතට ගියොත් විතරයි. අද විධායක ජනාධිපති ක්‍රමය ලැබිලා තියෙන්නේ වැදගත් ජනතාව ප්‍රියකරන, ගමෙන් ආව නායකයකුටයි.

* ඔබ සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර උණුසුම් තත්ත්වයක් පසුගිය කාලයේ ඇතිවුණා. එහිදී සභාපතිවරයාට සිදුවූ යම් හිරිහැර සම්බන්ධයෙන් ඔබ වගකිව යුතු බව සභාපතිවරයාම ප්‍රකාශ කළා. නමුත් පසුගිය දිනෙක හදිසියේම සභාපතිවරයා එම සිදුවීමට ඔබ සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කෙළේ ඔබ විසින් කරන ලද යම් බලපෑමක් නිසාද?

මම නම් කාගේවත් ළඟට බුලත් අරගෙන යන මිනිහෙක් නොවේ. බුලත් අරගෙන යනවා නම් ඒ ජනාධිපතිතුමා ළඟට විතරයි. ඒ යන්නෙත් මම ගමේ ඉන්න කාලයේ ඉඳන්ම එතුමාගේ පියාට බුලත් දුන්නා.

ඒ පරම්පරා පුරුද්දටයි අද වෙනකොටත් ජනාධිපතිතුමා ළඟට බුලත් අරගෙන යන්නේ. එහෙම නැතිව වෙනත් කිසිම කෙනෙක් ගාවට බුලත් අරගෙන යන්න මට උවමනාවක් නැහැ.

ඔබ ඔය සඳහන් කළ සභාපතිවරයාම මාව හම්බවෙන්න අමාත්‍යාංශයට ආවා. ඇවිල්ලා එයා අතින් වරදක් වුණේ කියලා ප්‍රකාශ කළා. එතුමාම මාව හොයාගෙන ආවා මිසක් මම එතුමාව හොයාගෙන ගියෙත් නැහැ.

බලපෑම් කළෙත් නැහැ. එතුමා වරදක් කළ බව කිව්වා. මම බෞද්ධයෙක් හැටියට එතුමාට වෛර කරන්න ගියේ නැහැ. හොඳට මතක තියාගන්න මම ඇවිල්ලා කබරගොයෙකුත් නොවේ. ලේ රස වැටිලා අහිංසක මුවන් පස්සෙන් පන්නන කොටියෙකුත් නොවේ. මම ඇවිල්ලා සිංහයෙක්. එච්චරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා