පාණදුර නගරය ජලයෙන් යටවීම වැළැක්වීමේ දෑවුරුදු වැඩපිළිවෙළක්

ඇස්තමේන්තුව රුපියල් මිලියන 127 යි

පාණදුර නගරය ජලයෙන් යටවීම වැළැක්වීමේ දෑවුරුදු වැඩපිළිවෙළක්

- ලබන වසරේ වැඩ අරඹන බව ඇමැති මහින්ද සමරසිංහ කියයි

වැසි දින වලදී පාණදුර නගරය වතුරෙන් යටවී සිදු වන උවදුර නැති කිරීම සඳහා මේ වන විට දෑවුරුදු වැඩ පිළිවෙළක් සූදානම් කැර ඇති බවත් ලබන වසරේ (2010) ආරම්භ කැර පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන එකී ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන එකසිය විසි හතක (ලක්ෂ 1270) ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර එය ළඟදීම අමාත්‍ය මණ්ඩලය හමුවේ තබා අනුමත කැර ගන්නා බවත් ආපදා කළමනාකරණ ඇමැති මහින්ද සමරසිංහ මහතා පාණදුර පින්වත්තේ පැවැති රැස්වීමකදී කීවේය.

පාණදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දාහතරක පවුල් පන් දහසකට ආසන්න ප්‍රමාණයක් වර්ෂා දිනවලදී පීඩාවට පත් වන කෙරවින් ඇළ සංවර්ධනය කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා විසින් වෙන් කෙරුණු රුපියල් ලක්ෂ හතළිස් දෙකක චෙක් පතක් ප්‍රදානය කිරීම නිමිත්තෙන් මේ උත්සව සභාව පැවැත්විණි.

පාණදුර කෙරවින් ඇළ සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 42 ක චෙක් පතක් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබා දුන් ආපදා කළමනාකරණ ඇමැති මහින්ද සමරසිංහ, මහතා බැකෝ යන්ත්‍රයකින් ඇළ හාරන අන්දම නිරීක්ෂණය කළ අයුරු ඡායාරූපය- වාද්දුව සමූහ

පින්වත්ත කල්‍යාණෝදයාරාම විහාරස්ථානයේ පැවැති මේ උත්සවයේ මුලසුන පාණදුර අභයකරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානාධිපති දඹගස් ආරේ චන්දසිරි හිමියෝ හෙබවූහ.

එහිදී තවදුරටත් කථා කළ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා කෙරවින් ඇළ සංවර්ධන කිරීම සඳහා තමා මීට ඉහතදීත් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාදී ඇති අතර එය යොදවා කිලෝමීටර් පහක හයක පමණ දුරක් රුපියල් ලක්ෂ පහළොවක පමණ වටිනාකමින් යුත් වැඩ කොටසක් ඉටු කර ඇති බවත් මෙවර මුදා හැරුණු ලක්ෂ හතළිහේ මුදල තවත් සංශෝධනය කැර ලක්ෂ දහතුන දක්වා අඩු කර ගත් අතර එහි ඉතිරි මුදල පාණදුරේ මෙවැනිම ජල මාර්ගයක් වන මෝඩ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට යොදවන බවත් පාණදුර නගරය ජලයෙන් යටවීම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන දෑවුරුදු වැඩ පිළිවෙළේදී පානදුර නගරයේ සෑම ජල මාර්ගයක්ම ශුද්ධ පවිත්‍ර කර ඒවායේ කාණු හා බෝක්කුද සකස් කරන බවද කීවේය.

පාණදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුසුම්සිරි සිල්වා මහතාද පාණදුර මාදුපිටිය අභය කරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානාධිපති දඹගස්ආරේ චන්දසිරි හිමියෝද පාණදුර මාදුපිටිය අභය කරණාරත්න මුදලින්දාරාම විහාරවාසී කුළුගමුවේ චන්දිම හිමි සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මේජර් සංජීව සමරනායක මහතා ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා