මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

ගාල්ලේ සමනළ ක්‍රීඩාංගනය අතුරු - සිදුරු නැති ව ජනී – ජනයාගෙන් පිරී ඉතිරී තිබිණි. පැමිණ සිටි පිරිස ලක්ෂයකට අධික බව කියැ වේ. ඒ පෙරේ දා හවස්වරුවේ ය.

සතුට ගංගාවක් සේ ගලා යනු දක්නට ලැබිණි. යුද්ධය නිමාවීමේ ප්‍රීතිය මිනිසුන් ගේ මුහුණුවල හොඳාකාර ව සටහන් වී තිබිණි. දකුණ ට එය විශේෂ වේ. ඒ අතර බලාපොරොත්තුවේ දෑස් දැල්වෙන්නට විය.

ඔව්හු තවෙකකු ගේ කරට උඩින් එබෙමින් පිවිසුම් දොරටු ව දෙස බලා සිටින්නට වූහ. ඇතමකු ගේ කර මත කුඩා දැරුවෙකි. දරුවෝ අත්පොළසන් දෙන්නටත් සිය ප්‍රහර්ෂය පළ කරන්නට ත් පටන් ගත් හ. ඔවුන් ගේ අපේක්ෂා නුසුන් කොට ජාතික වීරයා සභාවට පැමිණියේ ය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.

ගාල්ලේ ජනාධිපතිවරයා වෙත පළ වන සහයෝගය දකින කෙනකුට පෙනී යන්නේ මේ කපට සන්ධාන ආණ්ඩුව පරාජය කළ නො හැකි බව ය. ගාල්ල පෙරේ දා මුළුමනින් ම නිල් පාටින් බැබළෙමින් තිබිණි.

නිල් පාට තොප්පි, නිල් පාට බැනර් දකින – දකින මිනිසුන් ළඟ පෙනෙන්නට තිබිණි. දකුණ මහින්ද රාජපක්ෂ මහතා ගේ නිජබිම ය. නිදහස් සටනට උර දුන් බොහෝ දෙනෙක් මේ පළාත නිජ බිම කොට ඇත්තා හ.

දෙවන නිදහස් අරගලයේ ජයග්‍රහණයට නැතහොත් ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටන ට උර දුන් නායකයන් වැඩි දෙනකු ගේ නිජ බිම ද දකුණ ය.

සමනළ ක්‍රීඩාංගණයට රැස් ව සිටි පිරිසගෙන් ගම්‍ය වන දේශපාලන අදහස් ගණනාවක් තිබේ. පළමුවැන්න ජනාධිපතිවරයා වෙත දකුණේ ජනතාව දක්වන ගෞරවය හා විශ්වාසය යි.

මිනිස්සු ජනාධිපතිවරයා දුටු සැණින් කුල්මත් ව ප්‍රීති - ඝෝෂා කරන්නට පටන් ගත් හ. දෙවැන්න දකුණේ ජනතාව අද භුක්ති විඳින නිදහස යි. තිස් වසරක මිනීමරු ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමඟ එම නිදහස ඔවුන් කරා පැමිණියේ ය.

 තෙවැන්න දකුණේ අනාගත පරම්පරා ව කෙරෙහි දක්වන ප්‍රතිචාරය යි. දකුණේ තරුණ පරම්පරාවට අද පැහැදිලි අනාගතයක් තිබේ. දැනට ඉදි වෙමින් පවතින යෝධ සංවර්ධන ව්‍යාපෘති දෙස බලමින් වැඩිහිටියෝ සැනසුම් සුසුම් හෙළති.

දකුණේ ආදායම් මාර්ග ප්‍රධාන ක්ෂේ්ත්‍ර කිහිපයකින් සමන්විත ය. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුරුඳු, තේ වැනි වානිජ වගාවන්, ව්‍යාපාර හා රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය ද, සංචාරක කර්මාන්තය ද ඒ අතර පවතී.

දකුණේ ජනතා ව වෙළෙඳාමටත්, ඉගෙනීමටත් දක්ෂ බව කියති. එමෙන් ම ප්‍රතිපත්ති ගරුක ව රට හා ජාතිය ගැන කටයුතු කරන පිරිසක ලෙස ද ඔව්හු ප්‍රකට වෙති.

කෘතගුණ සැලකීමට පමණක් නො ව සතුරා ට කදිම පාඩම් ඉගැන්වීමටත් දකුණේ අය ප්‍රකට ය. දකුණේ කතිරය ආවාට – ගියාට වදින්නේ නැත. ඊට බලපාන තවත් එක් සාධකයක් වන්නේ තමන් ගේ කම ය.

මේ සියල්ල එකට – එකතු වී ගාල්ලේ කොටු පවුර සේ ශක්තිමත් ව පවතින බව සමනළ ක්‍රීඩාංගණයට රැස් ව සිටි මහ සෙනඟින් මොනවට පැහැදිලි වේ.

කුඩා තේ වතු වලින් වැඩි හරිය ඇත්තේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ය. තේ්වගාවට නරක කාලයක් ලබා තිබුණු බව අපි දනිමු. එය ලෝක වෙළෙඳ පොළෙහි මිල වෙනස්වීම මත ඇතිවූවක් යැයි කල්පනා කළ හැකි වුව වෙනත් කුමන්ත්‍රණ කාරී තත්ත්වයන් ද පැවැතිණි.

එක් අතකින් මෙරට තේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හීන කරන ව්‍යාපාරික කුමන්ත්‍රණයක් පැවැතිණි. තවත් අතකින් තේ වතු කම්කරුවා වැඩ වර්ජන වලට යොමු කරමින් තේ කර්මාන්තය හාන්සි කැරවීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ද පැවැතිණි.

අද වන විට සියල්ල නිමා කිරීමට ආණ්ඩු ව සමත් ව තිබේ. තේ සඳහා වූ ලෝක ඉල්ලුම ඉහළ ගොස් අපේ තේ වලට මෙන් ම රබර් වලට ද හොඳ මිලක් ලැබෙන්නට පටන් ගෙන තිබේ.

විපක්ෂය ප්‍රධාන සටන් පාඨයක් ලෙස ගෙන ගියේ ආණ්ඩු ව යුද්ධය ජයග්‍රහණය කළත්; ආර්ථිකය අනාගෙන ඇති බව ය. එය මේ වන විට බේගලයක් බව ට පත් ව තිබේ.

ආර්ථිකය දුර්වල නම්, කොළඹ කොටස් වෙළෙඳ පොළ ලෝක කොටස් වෙළෙඳ පොළ අතරින් අංක එකට එන්නේ් කෙසේ ද ? ආර්ථිකය දුර්වල නම්; ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඉහළ යන්නේ කෙසේ ද ? උද්ධමනය පහළ ට ගමන් කරන්නේ කෙසේ ද ? ජාතික ආර්ථිකය දුර්වලය යන මතය දේශපාලන සටන් පාඨයෙකි. එය ආර්ථික විද්‍යානුකූල තර්ක වලින් බැහැර සටන් පාඨයක් බව ට පත් ව තිබේ.

ඉදිරි කාලය දකුණ ට ඉතා සාරවත් බව අනාගතය දකින ඕනෑ ම කෙනකුට පැහැදිලි වනු ඇත. ඊට සාක්ෂ්‍යයක් ලෙසින් දකුණේ ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග ඉතා දියුණු රාජ්‍යයක මෙන් විධිමත් ව සැකසී තිබේ.

මහා මාර්ග යනු කිසියම් පළාතක සංවර්ධනය තහවුරු කරන ප්‍රධාන සාධකය වේ. දකුණේ සංචාරක කර්මාන්තය මෙන් ම ධීවර කර්මාන්තය ද යළි නැගී සිටින්නට පටන් ගෙන තිබේ.

ජාතික සවිය නම් වැඩසටහන පමණක් පසුගිය කාලය තුළ දකුණේ සංවර්ධනය සඳහා රුපියල් කෝටි තුන්සිය විසි අටක් වැය කර ඇති බව දැන ගන්නට ලැබේ. මේ රටේ ධනපති ආණ්ඩු දකුණ ට නො සලකා හැරිය බව ඉතිහාසය දන්නෝ දනිති.

මේ සියල්ල සමාලෝචනය කරන කල ලබන දහවැනි දා ඡන්දය ගැන බුද්ධිමත් අනාවැකියක් පළ කළ හැකි ය. එනම්; රට ආපස්සට ගෙන යන්නට දකුණේ ජනතාව ඉඩ නොදෙනු ඇත යන්න ය.

දකුණේ ගැම්ම දැන් ප්‍රගතිශීලී ව්‍යාපාරයට එක් වී හමාර ය. එය ගාල්ලේ කොටු පවුරේ බැම්මටත් වඩා ශක්තිමත් බව ලබන එකොළොස්වැනිදා අවබෝධ වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා