දිය යට කැබිනට් රැස්වීමක් පවත්වන්න මාලදිවයින සූදානම් වෙයි

දිය යට කැබිනට් රැස්වීමක් පවත්වන්න මාලදිවයින සූදානම් වෙයි

දිය යට කැබිනට් රැස්වීමක් පැවැත්වීමේ සූදානමක පසුවන මාලදිවයින් රජය අදාළ ඇමැතිවරුන්ට කිමිදුම් පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

ගෝලීය උණුසුම හා මූදුමට්ටම නැගීමේ තර්ජනයක් මෙම කැබිනට් රැස්වීමේදී අවධාරණය කැරෙනු ඇතැයි ප්‍රකාශ වී තිබේ.

ඔක්තෝබර් 17 දා පැවැත්වෙන දියයට කැබිනට් රැස්වීම මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂීඩ් විසින් මෙහෙයවනු ඇත.

ඉදිරි සති අන්තයේදී කැබිනට් ඇමතිවරු 14 දෙනාටම ස්කූබා උපකරණ සහිත කිමිදුම පිළිබඳ මූලික පුහුණුව ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කැර ඇත. ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගි නොවන්නේ ඔහු පිළිගත් කිමිදුම්කරුවකු බැවිනි.

මෙම කැබිනට් රැස්වීම මීටර් 6 (අඩි 20) ක් ගැඹුරේ පවත්වන අතර එහිදී කැබිනට් ඇමතිවරුන් කිමිදුම් ඇඳුමින් සැරසී ස්කූබා උපකරණවලින් සන්නද්ධව සිටිනු ඇතැයි රජයේ ප්‍රකාශකයකු පවසා ඇත.

මෙහිදී දෙසැම්බර් මස කෝපන්හේගන් දේශගුණ විපර්යාස සමුළුවට මත්තෙන් හරිත වායු විමෝචනයන් කප්පාදු කරන ලෙස සෙසු රටවලට කරන ඉල්ලීමක් කැබිනට් ඇමැතිවරුන් විසින් අනුමත කිරීමට නියමිතය. ඔවුන් පාටින් ලියන සුදුලෑලි හා හස්තමුද්‍රා භාවිතයෙන් සන්නිවේදනයන් සිදුකරනු ඇත.

මාලදිවයින් භූමියෙන් 80%ක්ම කි.මී.850 ක් පුරා විහිදුණු කොරල්දූපත් වලින් සමත්විත අතර මූදු මට්ටමින් මීටරයක් පමණවත් උස නැත.

2100 වන විට මූදු මට්ටම සෙ.මී. 18 - 59 අතර ඉහළ නැගීමෙන් මාලදිවයින ජනාවාසව පැවතීමට තර්ජනයක් වනු ඇතැයි එ.ජා. සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් මාලදිවයින් ජනාධිපතිවරයා දැන් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හෝ ශ්‍රී ලංකාවෙන් 3,30,000ක ජනතාවක් සඳහා නිජබිමක් මිලදී ගැන්මේ ප්‍රයත්නයක නියැලී ඇතැයි සඳහන් ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා