‘අපි වවමු-රට නඟමු’ වැඩපිළිවෙළ නිසා

‘අපි වවමු-රට නඟමු’ වැඩපිළිවෙළ නිසා
අපේ රටේ ආහාර අර්බුදයක් ඇති වූයේ නැහැ

- ඇමැති සිරිපාල ගම්ලත්

මුළු ලෝකයටම බලපාන ආර්ථික අහේනිය නිසා බහුතරයක් රටවල් ආහාර හිඟයෙන් පීඩා විඳින මේ කාලයේ පුංචි ශ්‍රී ලංකාවේ අපට එවැනි ආහාර හිඟයකට මුහුණ දීමට නොසිදු වූයේත් උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් වලදී අවතැන් වූ ලක්ෂ 3 කට අධික ජනතාවක් නඩත්තු කිරීමට හැකි වූයේත් මහින්ද චින්තන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති ‘අපි වවමු රට නඟමු’ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා බව ගොවිජන සේවා ඇමැති සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලව්වත්ත ප්‍රදේශයේ පැවති වප් මගුලකට සහභාගි වෙමිනි.

ගොවිජන සේවා ඇමැති සිරිපාල ගම්ලත් මහතා වප් මඟුල සඳහා පැමිණ සිටි පිරිස ඇමතූ අයුරු
ඡායාරූපය නිට්ටඹුව සමුහ ජෙනට් ජයසිංහ

අක්කර 15 ක පමණ වපසරිය ඇති අවුරුදු 20 කට අධික කාලයක් පුරන්වී තිබුණ වලව්වත්ත වෙල්යාය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපි වවමු රට නගමු වැඩසටහන යටතේ මේ යල කන්නයේ සිට නැවත අස්වැද්දීම ආරම්භ කිරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් මේ වප් මගුල සංවිධානය කර තිබුණි.

ඇමැති සිරිපාල ගම්ලත් මහතා මෙසේද පැවසීය.

එදිනෙදා අවශ්‍යවන ආහාර භෝග ටික අපට වවා ගැනීමට හැකි සෑම පහසුකමක්ම තිබෙනවා. එනිසා දේශීය ආහාර නිෂ්පාදනය යථාර්ථයක් බවට පත් කළ යුතු කාලය එළැඹ තිබෙනවා.

නමුත් මේ රජය බලයට පත් වීමට පෙර මේ රටේ පාරම්පරික ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අමතක කළා.

කෘෂිකර්මාන්තයෙහි නියැළි ගොවීන්ට අත්‍යවශ්‍ය පහසුකම් ලබා නොදීමේ හේතුවෙන් අධෛර්්‍යයට හා කලකිරීමට පත්වූ ඔවුන් සම්පූර්ණයෙන්ම බැහැර වුණා. අක්කර සිය ගණන් විශාල වෙල් යායවල් පුරන් කුඹුරු බවට පත් වුණා.

ආණ්ඩුව බලයට පත් වන විට ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටි ගොවියාත් කෘෂිකර්මාන්තයත් යළි නගා සිටුවා පැරණි සෞභාග්‍ය නැවත උදා කර දීමට නව ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා. අපි වවමු රට නගමු තේමාව යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය එයින් ප්‍රධාන තැන ගත්තා.

රජය ගොවින්ට ලබා දිීමට හැකි සෑම සහනාධාරයක්ම ලබා දුන්නා. පොහොර සහනාධාරය වශයෙන් රුපියල් 750 හේ පොහොර මිටිය රුපියල් 350 ට ලබා දුන්නා. බිත්තර වී, කෘෂි රසායන ද්‍රව්‍ය, කෘෂි උපකරණ සහ උපදෙස් නොමිලේ ලබා දුන්නා.

උනන්දුවෙන් රටට බත් පත සැපයීමට දායකත්වය ලබාදී පෙරමුණ ගෙන සිටින ගොවියා සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ලත වෙන තත්ත්වයට පත් නොකර වී අස්වැන්නට සහතික මිලක් නියම කළා.

ඒ සමගම දේශීය සහල් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයට ජනතාව හුරු කරවීමත් ඒ ආශ්‍රිත නිෂ්පාදනයන්හි යෙදෙන නිෂ්පාදකයන් දිරි ගැන්වීමටත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා.

මානුෂීය මෙහෙයුම් වලදී අවතැන් වූ අපේම රටේ සහෝදර ජන කොටසක් නඩත්තු කිරීමේ මහා භාරදුර කාර්ය ජනාධිපතිතුමා ඇතුළු මේ රජය වෙත පැවරී තිබෙනවා.

නමුත් මේ රජය දේශීය ගොවියා සවිබල ගැන්වීම සඳහා ලබාදීමට තීරණය කළ සහනාධාර කිසිවක් කප්පාදු කර නැහැ. ලෝකයට ආහාර අර්බුදයකට මුහුණ දී සිටියදීත් අපේ රටේ පුරවැසියනට සෘජුව නැගී සිටීමේ ශක්තිය ලැබී තිබෙනවා.

ආගමික කටයුතු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා

අපේ රටේ කාලීන අවශ්‍යතාවක් සපුරා ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගොවිජන සේවා අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව අපේ රටේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රය නංවාලීම සඳහා විශාල ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අතරින් අපි වවමු රට නගමු ව්‍යාපෘතිය යටතේ ගම්පහ ප්‍රදේශය පුරා අවුරුදු 20 කට අධික කාලයක් පුරන් වී වල් බිහිවී තිබූ මේ වෙල් යාය නැවත අස්වද්දා ගැනීමට අවශ්‍ය ආධාර ලබා දීමෙන් විශාල පවුල් සංඛ්‍යාවකට ආර්ථික හා සාමාජීය ශක්තියක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන් ජනාධිපතිතුමාට හා රජයට කෘතඥ වෙනවා.

බස්නාහිර පළාත් සභාපති සුනිල් විජේරත්න, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුනිල් ජයලත්, ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් චන්දන කුමාරසිංහ, අලුත්ගම බෝගමුව ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය නිලධාරී කාලිංග සේනාධීර මහත්වරුද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා