ජෝන් ටාබට් මලල ක්‍රීඩා සූරතාවලිය අද ඇරැඹේ

ජෝන් ටාබට් මලල ක්‍රීඩා සූරතාවලිය අද ඇරැඹේ

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2410කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා සුරතාවලිය අද සිට දින තුනක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන මෙයට නෙස්ලේ ලංකා සමාගම පූර්ණ අනුග්‍රහය ලබාදෙයි. මේ වසරේ දෙසැම්බර් මස ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගන්නා අවසන් තේරීම් තරග ලෙස ද ජෝන් ටාබට් මලල ක්‍රීඩා සුරතාවලිය සැලකේ.

එහෙයින් මෙවර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් අනිල් වීරසිංහ මහතා පැවැසීය. අවුරුදු 16න්, 18න් හා 20න් පහළ වයස් සීමාවන්හි බාලක බාලිකා මලල ක්‍රීඩා ඉසව් පැවැත්වේ.

තරගාවලියට ක්‍රීඩකයන් 1460ක් හා ක්‍රීඩිකාවන් 950ක් සහභාගී වෙති. රටපුරා පාසල් 320ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අයත්වන අතර උතුරු නැෙඟනහිර පළාත්වලින් ද වැඩි පිරිසක් මෙවර එක්වෙති.

කොළඹට පැමිණෙන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම් කොටහේන ශාන්ත බෙනඩික්ට් හා කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සපයා ඇත. නෙස්ලේ සමාගම මෙරට පාසල් ක්‍රීඩා බොහොමයකට අනුග්‍රහය ලබාදෙන අතර එමගින් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන බව සමාගමේ බාහිර කටයුතු පිළිබඳ කළමනාකරු බන්ධුල එගොඩගේ මහතා පැවැසීය.

පසුගිය වසරේ පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නව තරග වාර්තා 12ක් බිහි වූ අතර පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. එම්. ඒ. ජී. නවරත්න දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ ශෂිප්‍රභා ජයසිංහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්හ.

එම තරගාවලියේ දී වලල ඒ රත්නායක විදුහල තරගාවලියේ ලකුණු 127ක් ලබාගත් අතර වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල ලකුණු 122ක් ලබා දෙවැනි තැනට පත්විය.

අද තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර සමාප්ති උළෙල 9දා ක්‍රීඩා ඇමැති බන්ධුල බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා