අලියා කුඹියෙක් වෙන දවස 10

අලියා කුඹියෙක් වෙන දවස 10

ලයනල් ප්‍රේමසිරි - සමාජ සේවා හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගාල්ල සංවිධායක

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණය පිළිබඳවත්, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත් සමාජ සේවා හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගාල්ල සංවිධායක ලයනල් ප්‍රේමසිරි මහතා සමඟ කළ සංවාදයකි මේ.

දකුණු පළාත් සභා මැතිවරණයට තව දින කිහිපයයි තිබෙන්නේ. කොහොමද මේ වන විට ඔබේ දිස්ත්‍රික්කයේ සහ දකුණු පළාතේ මැතිවරණයේ තත්ත්වය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය නියතයි. ඒ ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවට දකුණේ් ජනතාව පත්කරන බවට කිසිදු සැකයක් නැහැ.

දකුණේ ජනතාව කළගුණ දත් ජනතාවක්. ඔවුන් තමන්ට සාමය ගෙනවිත් දුන්න තමන්ගේම පළාතේ, ගමේ නායකයාට කෘතගුණ සලකන්න බලාගෙන සිටින්නේ.

පසුගිය කාලය පුරාවට ජනතාව කොතරම් දුක් වින්ඳද? දහඩිය මහන්සියෙන් හම්බ කර ගත් දේ කන්න තියා නිදහසේ ඇස් දෙක පියාගන්න පුළුවන් වූ වාතාවරණයක් ද මේ රටේ තිබුණේ.

ඉතින් මිනිස්සු කැමැති වෙනවද නැවත යුද්ධයකට යන්න. ඒ වගේම රට තුළ සිදුවන දැවැන්ත සංවර්ධනය.

මේ සියලු කාරණා සලකා බලද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තරග කරන්න තියා කිට්ටු වෙන්නවත් අනෙකුත් පක්‍ෂවලට බැහැ.

නැඟෙනහිර සිට ඌව පළාත දක්වා රජය යුද්ධය “මාකට්” කළා. දකුණු පළාතෙත් ඡන්දය ඉල්ලන්නේ යුද්ධය මාකට් කරලා. ඒ කියන්නේ යුද්ධය හැර කතා කරන්න වෙනත් මාතෘකා රජයට නැහැ කියන එකද?

යුද්ධය මාකට් කරනවා කියන්නේ කොහොමද? යුද්ධය මාකට් කරනව නම් ඒ අයිතිය තියෙන්නෙත් රජයට පමණයි. නැෙඟනහිර ඡන්දය විමසන මොහොතේ මෙරට දශක තුනක් පුරා තිබුණු යුද්ධයේ අවසානයක් දකිමින් සිටියේ.

ඒ මොහොතේ පළාත් සභා මැතිවරණයේ ජය වෙනත් පැත්තකට ගියා නම් යුද්ධය නිම කරන්න ලැබෙන්නේ නැහැ. අපි ඡන්දය ඉල්ලලා නිකම් හිටියේ නැහැ. යුද්ධය නිම කරලත් පෙන්නුවා. ඒ කියන්නේ ජනතාවගේ ඡන්දයට වටිනාකමක් ලබා දෙන්න අපේ රජයට පුළුවන් වුණා.

දකුණේදී අපිට යුද්ධය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද දකුණේ ජනතාව මැරිලා නැවත උපන් මිනිස්සු නෙවෙයි. ජනතාව දන්නවා රටට වැඩක් කළ හැකි කාටද, කුමන කණ්ඩායමටද කියලා.

 වත්මන් ජනාධිපතිතුමා ගැන ජනතාව තුළ විශාල විශ්වාසයක්, බලාපොරොත්තුවක් තියෙනවා. රට ගොඩනඟන්න හැකි එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පමණයි කියන එක ජනතාව අවබෝධ කරගෙන හමාරයි.

අනික පළාත්වල මැතිවරණවලදී විපක්‍ෂය ඇල්මැරුණු ස්වභාවයක් තිබුණට දකුණේදී විපක්‍ෂයේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක තිබෙනවා නේද?

දකුණු පළාත තුළත් අනෙක් පළාත්වල මෙන් එජාපය දුර්වලයි. එජාපයෙන් තරග කරන සල්ලි තියෙන තුන් හතරදෙනෙක් තමයි කොළ පාට කොඩියක්, කටවුට් එකක් දාගෙන දඟලන්නේ.

ඒ දේ කරගන්නත් මිනිස්සු නැහැ. පසුගියදා අපේ නිවස කිට්ටුව එජාපයේ ජනහමුවක් තිබුණා. එයට හිටියේ හයදෙනයි. කලේගාන මංසන්ධිය කියන්නේ නිතර සෙනඟ ගැවසෙන තැනක්. නමුත් එතන රැස්වීමට හිටියේ මිනිස්සු 19 යි. මේ දේවල් මම අතිශෝක්තියකින් කියනවා නෙවෙයි. ඇත්ත තත්ත්වය ඒකයි.

එජාපයට ඡන්දය නැත්තේ නැහැ. තාත්තා, සීයා එජාපයට ඡන්දේ දීපු නිසා දෙන පිරිසකුත් ඉන්නවා. එහෙත් බහුතරයක් ඒ මතයත් විසිකරලා දමලා අපේ රජය වටා එක්වෙමින් සිටිනවා.

මොකද ජනතාව දන්නවා තවත් වසර 09 ක් යනකම් මේ ආණ්ඩුව සෙලවෙන්නේ නැහැ කියලා. කවුද කැමැති වෙන්නේ හැමදාම විපක්‍ෂයට වෙලා ඉන්න. කවුරුත් එහෙම ඉන්න කැමැති නැහැ. එම නිසා ජනතාව එජාපය අතහැරලා ඒම පුදුමයක් නෙවෙයි.

නමුත් මගේ මතය ජවිපෙ සහමුලින් නැති වෙන්න හොඳ නැහැ. ඔවුනුත් විපක්‍ෂයේ ඉන්න ඕන. මන්ත්‍රී ධූරයක් හරි ලබාගෙන. මොකද එහෙම නොවුණොත් මොවුන් ඔවුන්ගේ පීඩනය පිටකර ගන්න යළිත් කැරළිවලට යන්න උත්සහ ගනීවි.

එමනිසා ජවිපෙ, එජාපෙ විපක්‍ෂයක් ලෙස ඉන්න ඕන. එහෙම නොවුණොත් රජය වුණත් කම්මැලි වෙන්න පුළුවන්. එම තත්ත්වය මඟහරවා ගන්න විපක්‍ෂයක් නමට හරි තිබිය යුතුයි.

ඔබ ජනතා විමුක්ති පෙරමුණ ගැන එසේ කතා කළාට ඇත්ත තත්ත්වය දකුණෙන් ජනතා විමුක්ති පෙරමුණට විශාල හයියක් තියෙනවා නේද?

දකුණු පළාතේ ජවිපෙට ඡන්ද නැහැ කියලා මම කියන්නේ නැහැ. ඔවුන්ටත් ඡන්ද ටිකක් තියෙනවා. මීට පෙර ඔවුන් පළාත් සභාවට ගියේ ඒ අයගේ ඡන්දවලින් පමණක් නෙවෙයි අපේ අයත් ඔවුන්ට ඡන්දය ලබා දුන්නා.

එහෙත් ඔබ විමසලා බලන්න අවසානයට තිබුණ ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල. ඌව කියන්නේ එක් පැත්තකින් හම්බන්තොටට ආසන්නම පළාත. එහෙම නම් ඌවේදි එහෙම වුණා නම් දකුණේදී වෙන දේ සිතාගන්න පුළුවන්.

ප්‍රාදේශීය සභා මැතිවරණයක් පැමිණි දාට ඔවුන් සතුව තිබෙන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට වෙන දේ බලන්න. එපමණක් නෙවෙයි මහ මැතිවරණයක් තිබ්බම ජවිපෙට අත්වෙන ඉරණම බලන්න.

මේ තත්ත්වය වළක්වන්න බැහැ. ජනතාව සත්‍යය තේරුම් ගෙන හමාරයි. මේ යුගය මහින්ද රාජපක්‍ෂ මහතාගේ යුගයයි. ඒ යුගය අවසන් කරන්න එජාප, ජවිපෙ තියා සක්‍රයා ආවත් වෙනස් කරන්න බැහැ.

රජය එජාපයේ සහ ජවිපෙ ඡන්ද ව්‍යාපාරයට බයවෙලා දකුණෙදීත් අනෙක් පළාත්වලදී මෙන් රාජ්‍ය බලය, මැර බලය, රාජ්‍ය දේපල යොදාගෙන මැතිවරණය මෙහෙයවනවා කියන චෝදනාව තියෙනවා නේද?

එජාපය ඡන්ද කරද්දී තමයි මැර බලය, රාජ්‍ය බලය හා රාජ්‍ය දේපල යොදා ගත්තේ. ආණ්ඩුවට එසේ කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

මැතිවරණ වේදිකාවල කතා කරන්න දෙයක් නැති වුණාම පරාජය වහගන්න මොනවා හරි කියන්න ඕන නිසා සුපුරුදු තැටිය වාදනය කරනවා. මේ තරම් නිදහසේ මැතිවරණ මෙහෙයවන්න එජාපය ආණ්ඩු කාලේ ලැබුණද? මා වරක් කිව්ව වගේ පරාජයෙන් ගැලවෙන්න කියන දේවල්. ජනතාව දන්නවා.

එහෙත් ඔබ සංවිධායක ධූරය දරන ගාල්ල ආසනය හැමදාම එජාපයේ බලකොටුවක් නේද? එය ජය ගැනීමේ හැකියාවක් තිබෙයි කියා විශ්වාස කරනවාද?

මෙවර එම බලකොටුවත් අප විනාශ කරලා පෙන්වනවා. මොකද ගාල්ලේ සිටින බහුතරයක් මුස්ලිම් ජනතාව රජයට සහය පලකරමින් පසුගිය කාලය පුරාවටම අප සමඟ එකතු වුණා.

යුද්ධය නිසා බැට කෑ පිරිස අතර මුස්ලිම් ජනතාවත් ඉහළින් සිටිනවා. ඔවුන්ට නිදහසේ හම්බ කරගන්න ජීවත්වෙන්න ඉඩ ලැබුණේ නැහැ. ඒත් අද එම තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. එමනිසා ගාල්ල ආසනයේ මුස්ලිම් ජනතාවගේ සහයත් අපට ලැබෙනවා.

අනෙක් කාරණාව තමයි එජාපය ගාල්ල ආසනය තුළ කඩාවැටීම. ආසන සංවිධායක එම ධූරයෙන් ඉවත් වෙලා. වෙනත් අයෙකුගේ කර මතට එය පටවලා ඔහු පරාජයෙන් බේරෙන්න උත්සහ ගන්නවා.

එජාපය මෙවර ගාල්ල ආසනයට පමණක් අපේක්‍ෂකයින් 06 දෙනෙක් දාලා තියෙනවා. මේ එක් අයෙකුටවත් ජය ගන්න ලැබෙන්නේ් නැහැ. මෙය නම් අපේක්‍ෂකයින් ගට්ටන්න හිතාමතා කරපු දෙයක් ලෙසයි අප දකින්නේ.

වැඩි ඡන්ද 20000 කින් ගාල්ල ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගන්නවා. එය නියතයි.

ඔබේ රජය ගාල්ල දිස්ත්‍රික්කය, දකුණු පළාත ජයගන්න තරම් ජනතාව වෙනුවෙන් කරලා තියෙන සේවාවන් මොනවාද?

මා මුලින්ම ගාල්ලට වුණ සේවාව ඔබට කියන්නම්. අද ගාල්ල ආසනයේ ඇවිදලා බලන්න කොතරම් සංවර්ධනයක් වෙනවද කියලා. මංමාවත් කොන්ක්‍රීට් කරවනවා. පාලම්, බෝක්කු ඉදිවෙනවා. ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා.

 අපි වවමු - රට නඟමු ව්‍යාපෘතිය හරහා කෘෂිකර්මාන්තය දියුණු වෙමින් තියෙනවා. නව ධීවර වරායන් ඉදිවෙනවා. මේ මා පැවසුවේ ගාල්ලේ සංවර්ධනයෙන් හතරෙන් එකකටත් අඩු ප්‍රමාණයක්.

අනෙක් පැත්තෙන් බලන්න රට තුළ සිදුවෙන සංවර්ධනය. අපේ රජය කිසිම වේලාවක යුද්ධය තිබුණා කියලා සංවර්ධනය නොකර හිටියද? මොකද අපිට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබුණේ යුද්ධය තිබුණට සංවර්ධනය නතර කරන්න එපා කියලා.

එක විට වරායන් 05 ක් ඉදිවෙනවා. ඉහළ කොත්මලේ, උමා ඔය, දැදුරුඔය, මොරගහකන්ද වැනි මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

එපමණක් නොවෙයි එකවර උපාධිධාරී හතළිස්දාහකට අධික පිරිසකට රැකියා ලබා දෙන්න අපේ රජයට පුළුවන්කම ලැබුණා.

එජාප රජය තමන් පාලනය කළ වසර දෙකේදී රජයේ රැකියා ප්‍රමාණය ලක්‍ෂ 08 ක් තිබුණ ඒක 05 ක් දක්වා අඩුකරන්න සැලසුම් සකස් කර තිබුණා. නමුත් වර්තමාන රජය ලක්‍ෂ 12 ක් දක්වා එම ප්‍රමාණය වැඩි කර තියෙනවා.

කිසිදු රටක විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවද? සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙනවද? ඒ වගේම ලක්‍ෂ 18 කට සමෘද්ධිය, ලක්‍ෂ 03 කට පිං පඩිය ලබා දෙමින් සිටිනවා.

යුද්ධය තිබුණා කියලා ගොවියාට ලබා දුන් පොහොර සහනාධාරය කප්පාදු කළාද, එහෙම කිසිම දෙයක් රජය කළේ නැහැ. රාජ්‍ය සේවකයාට, වතු කම්කරුවාට මේ රජය තරම් සලකපු රජයක් මේ රටේ තිබුණේ නැහැ.

අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් තමන්ගේ ප්‍රදේශයට ලක්‍ෂ 150 – 200 වියදම් කර සංවර්ධනයන් කරනවා. එජාප රජය කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ගමකට විදුලි බුබුලක් දාගන්න බැරුව අපහසුතාවට පත්වුණ හැටි අප දැකලා තියෙනවා. ඉතින් තව මොනවද අප කරන්න ඕන.

එජාපය ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ පොදු සන්ධානයක් ගොඩනඟමින් සිටිනවා. මෙය රජයට තර්ජනයක් නේද?

ඔය හදන පොදු සන්ධානය කොහොමද රජයට තර්ජනයක් වන්නේ. එජාපයේම කී දෙනෙක් සන්ධානයට විරුද්ධද? අනෙක මත කීයක් දරන පිරිස් ඔය සන්ධානයේ ඉන්නවද? මේසා ගැටුම් රැසක් පොදු සන්ධානය ගොඩනඟන්න පෙර ඇති වී තියෙනවා. ඉදිරියේදී ඒ අය ඒ අයට තර්ජනයක් වෙනවා මිසක් රජයට නම් කිසිදු තර්ජනයක් වෙන්නේ නැහැ.

අනෙක් කාරණාව සන්ධානයක් හදන්න ඕනේ දැක්මක්, දර්ශනයක් හා දැඩි අවශ්‍යතාවයන් උඩ. එහෙත් මෙම සන්ධාන එහෙම කිසි දෙයක් තිබෙනවද නැහැ.

දිනාගත් නිදහස උගස් තියන්න හදන සන්ධානයක් මිසක් රටට, ජනතාවට ආදරේට හදන සන්ධානයක් නෙවෙයි විපක්‍ෂය ගොඩනඟමින් සිටින්නේ.

දකුණෙන් විශාල බලයක් බලාපොරොත්තු වෙන රජයට, 11 වැනිදා එළිය වැටෙනකොට එම බලය ලැබේවිද? කොපමණ ඡන්ද ප්‍රතිශතයක් දකුණෙන් ලැබේවිද?

ප්‍රතිශතය ගැන මතය ජනතාවට ගෙන ආවේ අපි නෙමෙයි. විපක්‍ෂය විසින්මයි එය කළේ. සියයට 75 කින් 80 කින් දිනන කොට කියනවා දකුණ ජනාධිපතිතුමාගේ පළාත නිසා ඊට එහා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුයි කියලා.

එහෙම නොවුණොත් රජයට ප්‍රසාදය අඩු වෙලා කියලා පෙන්වන්න විපක්‍ෂය සූදානමින් සිටිනවා. ප්‍රතිශතය නෙවෙයි, අපට අවශ්‍ය ජයග්‍රහණය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉතිහාස ගතවන විශිෂ්ට ජයග්‍රහණයක් 11 වැනිදා එළිය වැටෙනකොට දකුණු පළාතෙන් ලබාගන්නවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා