පංච මහා බලවේගය එක් වූ රණවිරු බලවේගය

පංච මහා බලවේගය එක් වූ රණවිරු බලවේගය

සමස්ත ලෝකයේම ප්‍රබල යැයි පිළිගත් ත්‍රස්තවාදී සංවිධානය මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් අතුගා දමා ප්‍රබලම ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ සියලු බලාපොරොත්තු සහ උපක්‍රම නන්දිකඩාල් කළපුවට සීමා කළ අපේ සූර රණවිරුවන්ට එරෙහිව එල්ල වන චෝදනා කෙළවරක් නැත.

 මාවිල්ආරු සටනින් පටන් අරගෙන නන්දිකඩාල් කළපුවෙන් කෙලවර වූ රණවිරුවන්ගේ දැවැන්ත මානුෂීය මෙහෙයුම පැවැත්වෙද්දී එතෙර රටවල පමණක් නොව මුලින්ම රණවිරුවන්ට අව කැපෙන කතා කීවේත් කවදාවත් ඔවුන් අතින් උල්ලංඝනය නොවූ මානව හිමිකම් චෝදනා එල්ල කළේත් අපේම රටේ අපි වෙනුවෙන්ම දේශපාලනයට කැපවෙන බවට පුරාජේරු කී බයිලා චක්‍රවර්තිලා ය.

එම සියලු චෝදනා අමු අමුවේ බොරු කරමින් මානුෂීය මෙහෙයුම් ඉහළින්ම ජයගත්තේ තමන් අතින් ඉටු විය යුතු වගකීම කුමන බාධා පැමිණුනත් ඉටු කරන බවට රණවිරුවන් තුළ තිබූ අධිෂ්ඨාන ශක්තියයි.

රණවිරුවන්ට අලුතින්ම එල්ල වූයේ කිසිම පදනමක් හෝ සාක්‍ෂියක් නැතිව කටින් පමණක් චෝදනා කළ හිලරි නෝනාගේ දූෂණ චෝදනාවයි. යුද උපක්‍රමයක් ලෙස ස්ත්‍රී දූෂණය යොදාගත් බව ඇයගේ විලම්බීත චෝදනාව විය.

මේ ගැන අතිශයින්ම කම්පාවට පත්වූයේ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවයි. රණවිරුවන්ට හිලරි බෝරු චෝදනා කරද්දී ආණ්ඩුවේ වගකිවයුත්තන් නිහඬව සිටියේ නැත.

ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව එම චෝදනාව දැන් ඉල්ලා අස්කරගෙන කනගාටුවද පළ කර තිබේ. හිලරිගේ චෝදනාව ඇසූ විගසම එය ලිඛිතව ඔප්පු කරන්නැයි මුලින්ම අභියෝග කළේ ශශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි.

එතුමා එවැනි අභියෝගයක් කරන්නට ඉදිරිපත් වූයේ මාවිල්ආරුවෙන් පටන් ගෙන තොප්පිගල හරහා නන්දිකඩාල් කළපුවෙන් කෙළවරවූ මානුෂීය මෙහෙයුමේදී රණවිරුවන් වෙනුවෙන් හැමදාමත් රාජ්‍ය නායකයා සිටි බැවිනි.

රණවිරුවන්ට ගිනි අවිය දී ප්‍රභාකරන්ගේ මිනී මරු අඩවියට යන්නට අණදී රණවිරුවා තනිකර නොදැමූ රාජ්‍ය නායකයා ජයග්‍රහණයෙන් පසු කිසිදිනෙක ඔවුන් කරපිංචා නැටි සේ ඉවත දැම්මේ නැත.

එදා සිට අද දක්වාත් හෙටත් ආණ්ඩුව රණවිරුවන් සමඟය. 1956 නිර්මාණය වූ සඟ/ වෙද/ ගුරු/ ගොවි/ කම්කරු/ යන පංච මහා බලවේගය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් සය මහා බලවේගයක් බවට පත්කොට හමාරය.

හයවෙනි බලවේගය රණවිරුවෝය. රණවිරුවන් ;වනුවෙන් ආණ්ඩුව කළ සේවා අපරිමිතය. කරන්නට ඇති සේවාවද අසීමිතය. රණවිරුවන් වෙනුවෙන් දිවයින පුරා වෙනම නිවාස යෝජනා ඇත. ඉපලෝගම නිවාස සංකීර්ණය එක් උදාහරණයකි.

රණවිරුවන් දැයට දායාද කළ ඔවුන්ගේ මවුපියන් කිසිදාක අමතක නොකළ ආණ්ඩුව ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරාලමින් සිටී. රණවිරුවෝ එතෙර තානාපති සේවාවලට යෙදවුහ.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය උතුරු නැඟෙනහිරට මූර්තිමත් කර දුන් රණවිරුවන්ට කෘතගුණ සැලකීමක් ලෙස පළාත් සභා මන්ත්‍රී පදවියද ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබේ. අද පළාත් සභාවේ මන්ත්‍රී පදවි දරන අය එමට සිටිති.

ජාතිය ආරක්ෂා කළ මුර දේවතාවන් කිසිදා අමතක නොකිරීමට ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙළ හොඳම උදාහරණය වෙයි. රණවිරුවන් අමතක කළෝද සිටිති. රටෙන් භාගයක් සටන් විරාම ගිවිසුමෙන් ලියා දී මුළු රටම එම ගිවිසුමෙන්ම පහසුකම් සැලසූ උදවියට රණවිරුවන් අමතක විය.

කඳවුරු වලට සීමා කර සිටි රණවිරුවන්ට කෙළ ගසා පස්සා පැත්ත පෙන්නූ කොටින්ට ආශිර්වාද කළ අයට රණවිරුවන් අමතක වූ බව සැබෑය. ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්නට හැකි බව කියා රණවිරු ජයග්‍රහණ හෑල්ලු කළ ඇත්තන් රණවිරුවන් අමතක කළ බව සත්‍යයකි.

අගක් මුලක් ඉවක් බවක් නැති තවත් තක්කඩියෙකු අලිමංකඩ සහ මැදවච්චිය වෙන් කර ගැනීමට නොහැකිව පාර්ලිමේන්තුවේදී පපුවට ගසා ගත් බව සැබෑය.

පාමංකඩ පමණක් හඳුනන අලිමංකඩ නොදන්නා මෙම පිරිස කවදාවත් රණවිරුවන් සමඟ සිටියේ නැත. රණවිරුවන් කිලිනොච්චිය ඇල්ලූ විට කිලිනොච්චිය ඇල්ලූ බව කියවා නම් තෙල් මිල අඩු කරන්න යැයි කී තකතීරුවන්ටද රණවිරුවන් අමතක වී ඇත.

රණවිරුවන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ නොදන්නා අයත් දැනගත්තත් නොදන්නා අයසේ කුම්භකර්ණයන් සේ නිදා ගන්නා අයටත් රණවිරුවන් මතක නැත.1988/89 භීෂණ සමයේ රණවිරුවන්ගේ පවුල් පිටින් ඝාතනය කළ විමුක්තිකාමි දේශපාලන කණ්ඩායම් වලටද රණවිරුවන් මතක නැත.

රණවිරුවන් පවුල් පිටින් මරණ බව ප්‍රකාශ කරමින් ගමේ ගස්වල තාප්පවල පෝස්ටර් ගැසූ කීර්ති විජයබාහුලාට අද රණවිරුවන් පමණක් නොව තමන්ගේම සහෝදරවරුන්ද අමතකය.

 ගමේ බස් කොන්දොස්තර, ග්‍රාමසේවක” කසිප්පු බොන හා විකුණන අය මරන්නට නියෝග දුන් විමුක්තිකාමි පක්ෂවලට අද කිසිවක් මතක නැත.

 මේ තත්ත්වය යටතේ රණවිරුවන් අමතක කළ හා ඔවුන් හැම විටම හෑල්ලුවට ලක්කළ සියලු දෙනාම රණවිරුවන්ගෙන් පමණක් නොව රණවිරුවන් විසින් දිවිහිමියෙන් කැප වී ආරක්ෂා කර ගත් සමස්ත ජාතියෙන්ම සමාවගැනීමේ කාලය උදාවී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා