දේව කරුණාවෙන් සුබ අනාගතයක්!

දේව කරුණාවෙන් සුබ අනාගතයක්!

සර ගණනාවකට පසු සැනසිලිදායක නත්තලක් උදා වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ භීතිය පහව ගොස් සාමය උදා වී තිබීම ය. අද දේවස්ථාන අසල බෝම්බ පුපුරන්නේ නැත. මරාගෙන – මැරෙන කොටින් අගනුවර ගැවසෙන්නේ නැත. උතුරෙන් හෝ නැඟෙනහිරින් හෝ මරණයේ පණිවිඩ නිකුත්වන්නේ නැත. මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙය කරදරයකින් තොරව පැවැත්විය හැකි ය. මේ නිදහස හා සැනසිල්ල උදාකළ සියලු නායකයනට හා රණවිරුවනට දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙත් වා!

එම ආශිර්වාදය කැටුව ගමන් ගන්නා සෝබර කතාවක් ද තිබේ. එනම්; ලැබූ නිදහස හා සැනසිල්ල ආපස්සට ගෙන ගොස් ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට නැවත පණදීමේ ව්‍යාපාරයක් පැවැතීම ය. ඒ සඳහා එක්තරා පිරිසක් පෙළ ගැසී සිටිති. ඔව්හු රණවිරුවන් පාවා දෙති. රට මෙන් ම ජාතිය ද පාවා දෙති.

මෙහි ප්‍රතිඵල එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම ඔස්සේ මේ වන විටත් ආණ්ඩුව වෙත ලැබී තිබේ. ප්‍රීතිමත් නත්තලේ පවතින බලවත් ම ශෝකය එය වේ. මීට මුල් වූ පාවාදෙන කණ්ඩායමට දෙවියන් ගේ ආශිර්වාද පතන්නට අපට පුළුවන්කමක් නැත. ඔවුනට පාපයේ සමාව ලැබේදැ’යි දෙවියන්ගෙන් ඇසිය යුතු ය.

අපි නැවත ප්‍රායෝගික නත්තල දෙසට හැරෙමු. නත්තලෙහි අරුත විවිධා’කාරයෙන් විග්‍රහ වී තිබේ. මේ සියලු විග්‍රහ විමසන විට පැහැදිලි වන එක් අදහසක් තිබේ. එනම්; දෙවියන් ගේ උතුම් ලක්ෂණ මිනිසුන් වෙත ආරෝපණය කරගැනීම නත්තලෙහි සැබෑ අරුත වන බව ය. ඒ අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නට අප පෙලැඹිය යුතු ය. නෙළාගත් අස්වැන්න මල්ලෙන් කොටසක් අසල්වැසියාට ලබාදිය යුතු ය. උපායගත් මුදලින් කොටසක් දුප්පතාට ලබාදිය යුතු ය. සපයා ගත් ආහාරයෙන් කොටසක් යාචකයාට ලබාදිය යුතු ය.

නත්තල අප ගේ සංස්කෘතිය හා බද්ධ වූ විශේෂ ආගමික උත්සවයෙකි. බෞද්ධයන් ගේ වෙසක් උළෙල තරමට ම කිතුනුවන් ගේ නත්තල ද අපට වැදගත් ය. දීර්ඝ කාලයක් තිස්සේ සමස්ත ශ්‍රී ලාංකිකයෝ නත්තල සමරති. නත්තල යනු කිතුනුවාට පමණක් සීමා වූ උත්සවයක් නො වේ. සෑම නිවෙසක ම පාහේ නත්තල් ගසක් දක්නට ලැබේ. ඉටිපහන් කිහිපයක් දල්වනු ලැබේ. අලුත් ඇඳුමක් පැළැඳ තව නිවෙසක් වෙත නත්තල් ත්‍යාග රැගෙන යෑම ශ්‍රී ලාංකිකයන් ගේ සිරිත වී තිබේ. අවුරුදු සිය ගණනක් තිස්සේ මේ සිරිත ව්‍යාප්ත ව පවතී.

නත්තලෙහි සැබෑ අරුතවන්නේ උත්සවශ්‍රීය නො වේ. එහි ඊට වැඩි ගැඹුරක් ඇති බව අපි මුලින් ද සඳහන් කළෙමු. බෞද්ධයාට පන්සිල් මෙන් වූ ශීලයක් කිතුනුවාට තිබේ. එය දස පනත ය. දස පනත අනුව ජීවිතයට අර්ථයක් එක්කර ගැනීමට කිතුනු ජනතාව වෑයම් කළ යුතු ය.

මේ කාලය තුළ අපට දක්නට ලැබෙන එක් විශේෂයක්වන්නේ වෙසක් උළෙල සේ ම නත්තල ද යම් වාණිජකරණයකට ලක් ව තිබීම ය. එහෙත් නත්තල යනු සුපර් මාකට් ඔස්සේ ගෙදරට කඩා වැදිය යුතු භාණ්ඩ ගොඩක් නො වේ. නත්තලින් පෝෂණය ලැබිය යුත්තේ මිනිසා ගේ අධ්‍යාත්මය යි. පිරිසුදු විය යුත්තේ මිනිසා ගේ චිත්තය යි.

ලතින් ඇමෙරිකානු රටවල කිතුනුවෝ හිමිදිරි උදෑසන දේව මෙහෙයට එක්වෙති. උදෑසන හෙවත් හිමිදිරියේ දේවස්ථානයට යන කිතුනුවෝ දේව මෙහෙය පවත්වා දානමාන ආදී වතාවත්වල යෙදී ගොවිබිම්වලට යති. ඔව්හු දේවස්ථානයේදී ම ආහාර ගනිති. ඇතැම්විට ආහාර හුවමාරු කරගනිති. යාචකයනට ආහාර බෙදා දෙති.

සියල්ල අවසානයේ උදෑසන ආහාරය ගන්නා ඔව්හු වහ – වහා ගොවිබිම්වල වැඩට යති. ඔවුන්ගේ ජීවින පිළිවෙතට අනුව ආගමික වතාවත්වල යෙදීමේ කාලය වෙනස් වී ඇත. පිලිපීනයේ කිතුනුවෝ ද උදෑසන දේව මෙහෙයට හුරු වී සිටිති. ශ්‍රී ලාංකික කිතුනුවෝ බොහෝ විට ම මධ්‍යම රාත්‍රියෙහි දේව මෙහෙයට එක් වෙති. ඒ කිතු උපත ද සිහිපත් කරමින් ය.

කුමන වේලාවක දේව මෙහෙය පැවැත්වුව කුමන දේවස්ථානයක් ඒ සඳහා තෝරාගත්තේ වුව වැදගත්වන්නේ දෙවියන් ගේ උතුම් ගති - සිරිත් මිනිස් සමාජය වෙත ආරෝපණය කරගැනීම ය. සැබෑ කිතුනුවා බොරුකාරයෙක් නො වේ. පාවාදෙන්නෙක් හෝ හොරෙක් හෝ නො වේ.

සැබෑ කිතුනුවා උතුම් පරමාර්ථ අනුව ජීවිතය හැඩගසා ගනී. ඔහු ආදර්ශවත් ජීවිතයක් ගත කරයි. එලෙස ම රටට හා ජාතියට ආදරය කරයි. අනාගත පරපුර වෙනුවෙන් යම් සේවාවක් ඉටු කරයි. සැබෑ කිතුනුවා ගේ මුළු ජීවිතය ම අර්ථාන්විතභාවයකින් පිරී පවතී. ඒ නිසා ම ඔහු ට හෝ ඇයට හෝ දෙවියන්ගේ ආශිර්වාදය නො මඳව ලැබෙනු ඇත.

ලොවට අපූරු දර්ශනයක් බිහි කළ යේසුස් වහන්සේ විප්ලවවාදියකු ලෙස සලකනු ලැබේ. උන්වහන්සේ දෙවියන් හා මනුෂ්‍යයන් අතර පාලම ලෙස සිටින සේක. යේසුන් වහන්සේ ගේ දර්ශනයට අනුව සියලු මනුෂ්‍යයනට සමාන ව සැලැකිය යුතු ය. සමානාත්මතාව, සාධාරණය හා සම්පත් සම ව බෙදාගැනීම කිතුනු දහමේ හරය ලෙස පවතී.

මේ දර්ශනයෙහි ඇති සත්‍යතාව මත ලෝකය පුරා ඉතා ශීඝ්‍ර‍්‍රයෙන් කිතු දහම පැතිර ගියේ ය. මුළු මහත් යුරෝපය පුරා කිතුදහම පැතිර තිබේ. ලතින් ඇමෙරිකානු රටවල සේ ම අප්‍රිකාවේ ද කිතුදහම ව්‍යාප්ත ය. ආසියාවේ ද රටවල් ගණනාවක ප්‍රධාන ආගමක් ලෙස ක්‍රිස්තියානිය පවතී. මේ සියලු දෙනා ම මහත් හරසරින් යුතු ව නත්තල සමරති. ශ්‍රී ලංකාව ද ගෞරවයෙන් යුතු ව නත්තල සමරයි.

අද නත්තල් දා එක් වැදගත් අදහසක් සියලු දෙනා විසින් දැරිය යුතු ව තිබේ. එනම්; වරදට යොමුවන මාර්ගයෙන් ඉවත් ව සදාකාලික සාමයට යොමුවන මාර්ගය වෙත අප යොමු විය යුතු බව ය. නත්තල් උත්සව වැදගත් ය. අධ්‍යාත්මය පිරිසුදු කරගැනීම ඊටත් වඩා වැදගත් ය. ඒ සඳහා සියලු දෙනා ම යොමු වෙත් වා! සියලු දෙනාට දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙත්වා! ඔබ සැමට සුබ අනාගතයක් සමඟ සුබ නත්තලක් වේවා!

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා