තිස් වසරකට පසු උදාවූ සාමකාමී නත්තල අදයි

තිස් වසරකට පසු උදාවූ සාමකාමී නත්තල අදයි

සරත් හෙට්ටිආරච්චි පියතුමා

තිස්වසරකට පසු සාමකාමී නත්තලක් සමරන අද දවසේ දී කිතුණු ජනතාවගේ අනාගත බලාපොරොත්තු සඵල කර ගත හැකි ආකාරය සහ රටේ පවතින සාමය ස්ථිරසාර සාමයක් බවට පත්කරගත හැකි ආකාරය පිළිබඳව සරත් හෙට්ටිආරච්චි පියතුමා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

* ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව සමරන පළමු නත්තලයි අද අප භුක්ති විඳින්නේ. මේ සාමයේ නත්තල පිළිබඳ ඔබතුමාගේ අදහස මොන වගේ ද?

ඔව්. අපි අවුරුදු තිහකට කලින් තමයි සාමයේ නත්තලක් අන්තිම වතාවට සැමරුවේ. ඊට පස්සේ අපිට නිදහසේ නත්තල් උත්සවය සමරන්න ලැබුණේ නැහැ. මට හොඳට මතකයි අපි එදා නත්තල කීවාම කොච්චර බය වුණා ද කියලා. එදා නත්තල් තෑගි ගන්න ගිය අපේ සහෝදර සහෝදරියෝ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට තුවක්කුවට බිලිවුණා.

තවත් විටක නත්තල් තෑගි ගේන්න ගිය මව පියා බස් එකේ දුම්රියේ අළු වුණා. මේ සේරම අද වෙද්දි නැවතිලා තියෙනවා. අපිට පසුගිය කාලයේ නත්තල් මධ්‍යම රාත්‍රි දිව්‍ය පූජාව පවා පවත්වන්න සිද්ධ වුණේ වෙඩිහඬ මැද්දේ. වවුනියාවේ, මඩකලපුවේ, මන්නාරමේ මේ තත්ත්වය ඉතාමත් ප්‍රබල ලෙස තිබුණා.

ඒත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා නිදහසේ සාමකාමී ලෙස නත්තල සමරන්න. ඒ සඳහා අපිට අවස්ථාව ලබාදුන් රණවිරුවන්ටත් ජනාධිපතිතුමාටත් ස්තූ®තිය පළකළ යුතුයි.

ජේසු උපතේ පළමු තේමාව හා අරමුණ බවට පත්වෙලා තියෙන්නේ සාමය. මෙහි ගැඹුරු අර්ථය තමයි යුක්ති ගරුක සාමය කියන්නේ. ඉස්ලාම් ආගමේ සලාම් අලිතුම් කියන්නේ මේ අර්ථයම තමයි.

අද කතෝලික ක්‍රිස්තියානි අපිට විතරක් නෙමෙයි සෙසු සහෝදර ජනතාවටත් යුක්ති ගරුක සාමයේ අර්ථය ඉතාමත් ඉහළින් භුක්ති විදීමට පුළුවන්කම ලැබිලා තියෙනවා. මා විශ්වාස කරන විදිහට යුද්ධය නැවතීම, වෙඩිහඬ නොඇසීයාම පමණක් සාමය කියලා අර්ථ ගන්වන්න මම සූදානම් නැහැ. එයට අමතරව රටක සංවර්ධනය, ආර්ථික ශක්තිය ඉහළයාමත් අවශ්‍ය කරනවා.

ඒත් බොහෝ රටවල්වල යුද්ධයක් නිමා වූ පමණින් සංවර්ධනය, ආර්ථික ශක්තිය වර්ධනය වීමක් නැහැ. ඒත් ශ්‍රී ලංකාවේ එහෙම නෙමෙයි. යුද්ධය නිමාවීමත් සමඟ විශාල සංවර්ධන ව්‍යාපාරයක් වගේම, ආර්ථික සංවර්ධනයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා තමයි මම සඳහන් කළේ නත්තලේ අර්ථය වන යුක්තිගරුක සාමය අද වෙද්දි රටේ ස්ථාපිත වෙලා තියෙනවා කියලා සඳහන් කළේ ඒ නිසයි.

* නත්තල කියූවිට බොහෝ අයගේ පොදු අදහස වී තිබෙන්නේ මේ උත්සවය නිකම්ම කාබී ප්‍රීතිවන උත්සවයක් විදිහටයි. නත්තල් උත්සවයේ ඊට වැඩි අර්ථයක් නැද්ද?

නත්තල තමයි ලෝකයේ වැඩිම පිරිසක් සමරණ උපන්දින උත්සවය. ඒ නිසා නත්තලේ දී ප්‍රීතිවීමේ වරදක් තියෙනවා කියලා මා නම් කල්පනා කරන්නේ නැහැ. ඒත් අපි නාස්තිකාර විදිහට මුදල් නාස්ති කිරීම නෙමෙයි විය යුත්තේ. මර්සලින් ජයකොඩි පියතුමා කියනවා ‘මගේ නත්තල දුගියා බත්කන දාය’ කියලා එහි පුළුල් අර්ථයක් තියෙනවා නත්තල පිළිබඳ අපි නිතරම මේ උත්සවය යොදා ගත යුත්තේ බෙදී වෙන්වන කාරණා ඉස්මතු කිරීමට නෙමෙයි.

බැඳී එක්වන කාරණා මූලික කරගෙනයි. අද මම දකිනවා නත්තලේ කැරොල් ගී කණ්ඩායම ගමේ විහාරයේ නායකහිමියන් යටතේ පුරුදු වී අපේ දේවස්ථානයේ ගීත ගායනා කරනවා.

මේක තමයි සිදුවිය යුත්තේ. අද සමහරු අපේ රටේ ආගමික බේද ආගමික ගැටුම් සහ ජාතිවාදි මතවාද ප්‍රබලව තියෙනවා කියලා ජාත්‍යන්තරයට විශාල මතයක් ගෙනයාමට උත්සාහ කරනවා. ඒත් අපේ රටේ මේ විදිහේ වාතාවරණයක් නැහැ. අපේ රටේ තමයි ආගමික වශයෙන් ඉතාමත් තද බැඳීමක් තියෙන්නේ. අපේ කලාපයේ ම වුණත් සමහර රටවල ආගමික ගැටුම් විශාල ලෙස තිබෙනවා. ඒත් වාසනාවකට ශ්‍රී ලංකාවේ එහෙම දෙයක් නැහැ.

අපේ ජනාධිපතිතුමා ඉතාමත් හොඳ දකුණේ සිංහල බෞද්ධයෙක්. ඒත් එතුමා නත්තලට අරලියගහ මැදුරේ දී විශේෂ නත්තල් උත්සවයක් පවත්වනවා. මේ දෙයින් අපිට ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන් කාරණය තමයි අපේ රාජ්‍ය නායකයාගේ සිට සියලු දෙනාම ආගමික සහනශීලි ප්‍රතිපත්තිය අනුගමණය කරන අය කියන එක

* තිස් අවුරුදු යුද්ධය නිසා සිංහල, දෙමළ, මුස්ලිම් කියා බේදයක් නැතිව ශාරිරික හා මානසික හානි සිදු වුණා. යුද්ධය නිමා වූ පසුබිමක මේ බිඳවැටුණ සමාජය යළි ගොඩනැගීමට පුළුවන්කම ලැබෙන්නේ කොයි විදිහට ද?

ඔව්. යුද්ධය නිමා වුණාට අපේ සිත්වල ඇති වූ තුවාල සුවපත් වීමට තරම් කාලයක් ගත වුණේ නැහැ. යුද්ධය නිසා දෙමළ සිංහල බේදයක් නැතිව අපේ ම සහෝදර සහෝදරියන් දසදහස් ගණනක් මිය ගියා. තවත් පිරිසක් තුවාල වුණා. මිය ගිය අයට යළි ජීවිත දෙන්න බැහැ. ආබාධිත වූ අයට යළි අතපය දෙන්න බැහැ.

ඒත් අපිට ඔවුන්ගේ ළබැදියන්ගේ සිත් සුවපත් කළ හැකියි. රජයට උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්න පුළුවන් වේවි. බිඳ වැටුණ ගෙවල් යළි ඉදිකරන්න පුළුවන් වේවි. ඒත් රජයකට බිඳ වැටුණ හානි වුණ සිත් සුවපත් කිරීමට පුළුවන්කමක් නැහැ. එතකොට ඔබ මගෙන් විමසයි එහෙනම් මේ හැකියාව තියෙන්නේ කාට ද කියලා.

ඇත්තෙන් ම ආගමික පූජ්‍ය පූජක පක්ෂය වූ අපිට පමණයි මේ ශක්තිය තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේදී සර්ව ආගමික එකමුතුවක් විදිහට මේ වගකීම භාර අරගෙන කටයුතු කළ යුතුයි. අපේ මේ ක්‍රියාවේ සාර්ථකභාවය මත තමයි රටේ අනාගත සාමය ස්ථිරසාර කර ගැනීමට අපිට පුළුවන්කම ලැබෙන්නේ.

* තිස් අවුරුදු යුද්ධයෙන් පස්සේ රටට යළිත් සාමයේ අරුණළු වැටෙමින් තිබෙනවා. මේ සාමකාමී තත්ත්වය ස්ථිර සාමයක් ලෙසින් ඉදිරියට පවත්වාගෙන යාමට මොනවිදිහේ උපක්‍රම ද යෙදිය යුුත්තේ?

ඔව්, දැනට මතුපිට සාමකාමියි. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය වී අවසානයි. එහෙත් එදා ත්‍රස්තවාදයට අනුබල ලබාදුන් ත්‍රස්තවාදයේ සුන්බුන් ජාතිකවත් ජාත්‍යන්තරවත් තාමත් සජීවි ලෙස තියෙනවා. අද පවා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අවුල් සහගත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

මම හිතලුවක් විදිහට කියනවා නෙමෙයි. බටහිර ලෝකය අපි ස්වාධීන රටක් විදිහට ඔළුව උස්සනවාට කැමැති නැහැ. ඒ අයට ඕනෑ හැමදාම අපි වගේ රටවල් ඒ අයගේ නිල නොවන යටත් විජිත විදිහට පවතිනවාට. ඒත් අපේ රට පාලනය කරන වර්තමාන නායකත්වය එවැනි නායකත්වයක් නෙමෙයි. මේ නිසා තමයි අපේ රටට විරුද්ධව නානාමාදිලියේ කුමන්ත්‍රණ කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ.

අද අපිට මූලික වශයෙන් ඉෂ්ට කළයුතු මූලික කාරණය බවට පත්වෙලා තියෙන්නේ සමඟි සම්පන්න වීමයි. කුලල්කාගැනීම මගින් රටට එරෙහි කුමන්ත්‍රණ යළි ක්‍රියාකාරී විය හැකියි. ඒ නිසා අපි අතර මොන විදිහේ දේශපාලන බෙදීම් තිබුණත් ලෝකය ඉදිරියේ අප එක්සත් ව සිටිය යුතුයි.

යුද්ධය ඇතිවීමටත් කිසියම් විෂම කාරණයක් මූලික වෙන්න ඇති. ඒ නිසා අපි මේ වෙලාවේ දී එම ප්‍රශ්න මොනවාද කියලා සොයා බැලීමත් සිදු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන විසඳුම් ලබා දිය යුතුයි. මම මේදේට එක් උදාහරණයක් පෙන්වන්නම්.

මෙච්චර කාලයක් රටේ සම්පත්වලින් 80% පමණම තිබුණේ කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතට පමණයි. මම යෝජනා කරනවා රටේ ස්ථිරසාමයක් ගොඩනැගීමට නම් කේන්ද්‍ර ගත වූ මේ සියල්ල බෙදාහැරිය යුතුයි. රට පුරාම එහෙම සිදුවුණොත් පමණයි අපිට අනාගතයේ දී ස්ථිරසාර සාමයක් සහිත රටක් බිහි කිරීමට පුළුවන්කම ලැබෙන්නේ.

අද මේ මොහොතේ දී පවා ශ්‍රී ලංකාව වගේ කලාපීය රටවල් බිලි ගැනීමට නා නා මාදිලියේ යක්ෂයෝ පැමිණ සිටිනවා. ඉස්සර නම් අපිට කියන්න පුළුවන් යක්ෂයා කළුයි ඉස්සරහා දත් දෙකක් තියෙනවා කියලා. ඒත් අද එහෙම නෙමෙයි. යක්ෂයා එන්නේ බොහෝ ම මිත්‍රශීලිව සිනහවෙමින්. ඒ නිසා තමයි මම ඔබට කිව්වේ මේ ගැන හොඳ අවදියෙන් සිටිය යුතුයි කියලා.

* ඉදිරියට එන්නේ මැතිවරණ උණුසුම ඉතාමත් තදින් දැනෙන කාලයක්. මේ කාලයේ දී රටේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳ ඔබතුමාට දෙන්න පුළුවන් අනුශාසනාව මොනවගේ ද?

මැතිවරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් වන අපගේ අයිතියක්. ඒ අයිතිය බුද්ධිමත් ව පාවිච්චි කරලා මේ මොහොතේ දී රටට වැඩදායි නායකයා කවුද ඉදිරියේ දී රටට වැඩක් කළ හැකි නායකයා කවුද කියලයි අප තීරණය කළ යුත්තේ.

ඒ වගේ ම ප්‍රචණ්ඩ ක්‍රියා සාමය කඩවෙන අවස්ථා මඟ හරිමින් කටයුතු කිරීම කළ යුතුයි. දේශපාලන ගැටුම් ඇති කරගත යුත්තේ මතවාදීමය ගැටුම් වශයෙන් මිසක් ශාරීරික ගැටුම් වශයෙන් නෙමෙයි.

* පසුගිය අවුරුදු හතරක කාලය තුළ දී කිතුනු ජනතාවගේ යහපත සඳහා රජයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?

දේවස්ථාන දියුණුවට රජය මගින් ලොකු සහයෝගයක් ලබාදීලා තියෙනවා. ජනාධිපතිතුමා විසින් ම ආගමික කටයුතු හා සාදාචාර සංවර්ධන අමාත්‍යංශය භාර කැබිනට් ඇමැති ධූරය දැරීම නිසා සියලු ආගම්වලට යහපත් සේවයක් සිදුවෙලා තියෙනවා. අද වෙද්දි මඩු දේවස්ථානය ඇතුළු යුද කලාපය තුළ තිබූ සියලු දේවස්ථාන ප්‍රතිසංස්කරණයට රජය විශාල අතහිත දීමක් ලබා දී තිබෙනවා. මේ කටයුතු සම්බන්ධයෙන් පියතුමෙකු විදිහට මා රජයට ස්තූතිය පළ කිරීමට කැමැතියි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා