මහින්ද චින්තන පොරොන්දුවලින් 90%ක් ජනපති ඉටු කර තිබෙනවා

මහින්ද චින්තන පොරොන්දුවලින් 90%ක් ජනපති ඉටු කර තිබෙනවා

- මධ්‍යම පළාත් ආණ්ඩුකාර

අපේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී ඒ ඒ පක්ෂ නායකයන් එදා ජනතාවට දුන් පොරොන්දු හරිහැටි ඉටු නොකළත්, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට වූ පොරොන්දු සියයට 90කටත් වැඩි කොටසක් මහින්ද චින්තනය යටතේ “ගම නැඟුම” “මඟ නැඟුම” මඟින් ඉටු කර ඇතැයි මධ්‍යම පළත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවැසීය.

ආණ්ඩුකාරවරයා එසේ පැවැසුවේ ජනපතිවරණය වෙනුවෙන් යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ප්‍රථම ජනපතිවරණ ප්‍රචාරක කාර්යාලය මැණික්දිවෙල, තිස්මඩ මංසන්ධියේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුව අමතමිනි.

ආණ්ඩුකාරවරයා මෙසේ ද කීය.

ගොවියාගේ ආර්ථිකය නැංවීම සඳහා විශාල වැඩ කොටසක් කර ඇති ජනපති මහින්ද රාජපක්ෂ මහතා දෑ හිතකාමී, රටට, ජාතියට ආදරය කරන ජනනායකයෙක්. එතුමා යළිත් මේ රටේ ජනාධිපති වශයෙන් පත්කර ගැනීමයි අපේ වෑයම.

එතුමා මහින්ද චින්තනය යටතේ ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් මේ වන විට ඉටු කර තිබෙනවා. එතුමා රටට ජාතියට නොපැකිලව සේවයක් කළ නිසයි මෙදා ජනපති වරණයේදීත් ජන වරමක් ඉල්ලන්නේ.

පසුවූ කාලයේ ලෝකයේ බලගතු රටවල දරුණු ලෙස ආර්ථිකය කඩා වැටෙමින් තිබියදී අපේ රටේ ත්‍රස්ත විරෝධී යුද්ධය පවතිද්දීත් ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ නොදී දශක 3 ක් තිස්සේ පැවති යුද්ධය නිම කිරීමට ද රටේ සේනාධිනායකයා ලෙසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා.

ජාත්‍යන්තර වශයෙන් මොනයම් බලපෑම් ආවත් පටන්ගත් වැඩේ හරියටම කළ එකම නායකයා මහින්ද රාජපක්ෂයි. මෙවන් නායකයා ඉදිරියටත් මෙදා ජනපතිවරණයේදී පත්කර ගතහොත් එය ජනතාවගේ වාසනාවක්.

දන්තුරේ ආනන්ද මාහිමියෝද, යටිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී නෙවිල් ගුණරත්න, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිස්මඩ ජයරත්න, ඩබ්. එම්. සෙනෙවිරත්න, බණ්ඩාර විජයරත්න, විමල් එස්. රත්නායක මහත්වරු ද මෙහිදී කථා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා