එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව පරදී

සිවුවැනි තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව පරදී

ගෞතම් ගාම්භීර්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඊයේ (24) කොල්කටා නුවර සුප්‍රකට ‘ඊඩ්න් ගාඩ්න්’ ක්‍රීඩාපිටියේ පැවැති ශ්‍රී ලංකා - ඉන්දීය සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයග්‍රහණයක් අත්කර ගත් ඉන්දීය පිල එක්දින තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වූවේය.

ඉන්දීය ඉනිමේ පළමු පන්දු ඕවර 4 තුලදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ විරෙන්ද්‍ර ෂෙවාග් සහ සචින් තෙන්ඩුල්කාර් දවාලීමට ශ්‍රී ලංකා පිල සමත් වූවද තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 224 ක සම්බන්ධතාවයක් ගොඩ නැඟූ ගෞතම් ගාම්භීර් සහ විරාත් කෝලි ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ප්‍රබල තර්ජනයක් එල්ල කළහ.

විරාත් කෝලි පන්දු 114 කදී හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 107 ක් රැස් කළ අතර තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් ගෞතම් ගම්භීර් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150 කි. ඊට හතරේ පහර 14 ක් ඇතුලත් වූ අතර ඔහු පන්දු 137 කට මුහුණ දුන්නේය.

ඉන්දීය පිල වෙනුවෙන්
විශිෂ්ට පිති හරඹයක නිරත වූ විරාත් කෝලි (දකුණේ) සහ
ගෞතම් ගම්භීර්.

ගම්භීර් සහ දිනේෂ් කාර්තික් අතර සිවුවැනි කඩුල්ල සඳහා නොබිඳුනු සම්බන්ධතාවය ලකුණු 70 කි. කාර්තික් නොදැවී ලකුණු 23 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 2 ක් බිඳ හෙලීමට සමත්වූවේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක කුමාර් සංගක්කාර පළමුව පහර දීමට තීරණය කළ අතර පන්දු ඕවර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 315 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සමත්වූහ.

ප්‍රහාරාත්මක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරියගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක සංගක්කාර සමඟ විශිෂ්ට ඉනිමක් ගොඩ නැගූ ආරම්භක පිතිකරු උපුල් තරංග සිය එක්දින තරග දිවියේ හත්වැනි ශතකය වාර්තා කිරීමට සමත් වූයේය.

තරංග රැස් කළ ලකුණු 118 ට හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබුණි. ඔහු පන්දු 128 කට මුහුණ දුන්නේය. ඉෂාන්ත් ෂර්මාගේ එක් පන්දු ඕවරයකදී හතරේ පහර 5 ක් එල්ල කිරීමට ඔහු සමත් වූයේය.

තරංග සමඟ තුන්වැනි කඩුල්ලට ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩ නැඟූ සංගක්කාර පන්දු 72 කදී ලකුණු 60 ක් රැස්කිරීමට සමත්වූ අතර ඊට හතරේ පහර 5 ක් අන්තර්ගත වී තිබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසාන පන්දු ඕවර 10 තුලදී ලකුණු 98 ක් වාර්තා විය. සිය මංගල එක්දින තරගයට සහභාගි වූ තිසර පෙරේරා පන්දු 14 කදී වේගවත් ලකුණු 31 ක් රැස්කළ අතර මහේල ජයවර්ධන පන්දු 30 කදී ලකුණු 33 ක් රැස් කිරීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 6 කට ලකුණු 306 ක් ලබා සිටි මොහොතේ තරගයේ ඕවර 49 කුත් පන්දු 2ක් යවා තිබියදී පිටියේ එක් විදුලි පහන් කුළුනක් ක්‍රියාවිරහිතවීම නිසා තරගය මිනිත්තු 23 කට නතර කිරීමට සංවිධායකයින්ට සිදුවිය.

සහිර් ඛාන් සහ අශිස් නේරා කඩුලු 2 බැගින් දවාලීමට සමත්වූහ. අවසාන එක්දින තරගය මේ මස 27 දා දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා