ඔබේ හදවතට තට්ටු කරන්න!

ඔබේ හදවතට තට්ටු කරන්න!

සුබ නව වසරක් වේවා! යන්න අප ගේ අවංක ප්‍රාර්ථනාව යි. එහෙත් 2010 වසර ඉබේම සුබ නව වසරක් වන්නේ නැත. අප ගේ වෑයම බණ දේශනාවක් කිරීම නො වේ. බණ කීමට අදාළ ඕනෑතරම් ආයතන මෙහි තිබේ. ඒ හැරෙන්නට උපදේශන සේවා පවත්වාගෙන යන ආයතන ද ඕනෑතරම් තිබේ. ආයතනවල ප්‍රමාණයේ හැටියට පිළිගත හැකි සුචරිත වර්ධනයක් සමාජය තුළ සිදු වී නැත. ඒ ගැන අපටත් යමක් කීමට හිඩසක් ඉතිරි ව තිබේ. එබැවින් අනාගතය පිළිබඳ කිසියම් විග්‍රහයක යෙදීම අප ගේ අරමුණ වේ.

2010 යනු තීරණාත්මක වසරෙකි. හේතුව නම්; යම් අනතුරක් සමාජය ඉදිරියෙහි පැවතීම ය. බුද්ධිමත්හු මේ තත්ත්වය වටහාගෙන කටයුතු කරති. කලාකරුවෝ මේ තත්ත්වය වටහාගෙන එක ගැම්මකට පෙළ ගැසී සිටිති. අනතුර කුමක් ද? ලැබූ නිදහස අහිමිවීම ට ඉඩ තිබේ. බෙදුම්වාදය හා ත්‍රස්තවාදය යළි හිස එසවීමට ඉඩ තිබේ. අවසන් ලෙස හමුදා ආණ්ඩුවක් රට තුළ බිහිවීමට ඉඩ තිබේ. හමුදා ආණ්ඩුවක භයානක අත්දැකීම මෙරට සමාජයට නැත. එවැනි ජුන්ටාවක් අතට මේ රටේ පාලනය හිමි වී නැති බැවින් ය.

අපි‍්‍රකානු රටක් වූ උගන්ඩාවට 1970 ගණන්වල මේ තත්ත්වය උදා විය. අපි‍්‍රකානු රටක් වූ නයිජීරියාවට ද එම තත්ත්වය උදා විය. අසල්වැසි පාකිස්තානයේ ද කලකට පෙර එම තත්ත්වය දකින්නට ලැබිණි. ඒ රටවල සමාජයට අනේක දුක්ඛ - දෝමනස්සයන්ට මුහුණ දෙන්නට සිදු විය. හමුදා ආණ්ඩුවක් තුළ පළමුව අහෝසි වන්නේ මිනිසා ගේ නිදහස ය. දෙවෙනුව අහිමිවන්නේ වරප්‍රසාද ය. නීතිය තනි පුද්ගලයකු අතට පත්වනු ලැබේ. ඔහු ගේ අණසක තුළ බලහත්කාරය යටතේ ජීවත්වීමට මිනිසුන්ට සිදුවනු ඇත. සාධාරණය හා යුක්තිය වෙනුවට අසාධාරණය හා අයුක්තිය රජයනු ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ඩැහැ ගැනීම සඳහා වෑයම් කරන හමුදා නායකයෙක් සිටී. තමාට ආහාර සැපයූ ස්වාමියා ගේ අත සපා කෑ කෙනකු ලෙස සමහරු ඔහු හඳුන්වති. තම ගුරුවරයාට එරෙහිව තරග වැදුණු මූසිල කෙනෙකු ලෙස ද ඇතැම්හු ඔහු හඳුන්වති. ඔහු ඉඩි අමීන් කෙනෙකු ලෙස හඳුන්වන අය ද සිටිති. හමුදා කුමන්ත්‍රණයකින් බලය ඩැහැගත්ත ද මහජන ඡන්දයකින් බලය ලබා ගත්ත ද හමුදා නිලධාරියා වෙනස් වන්නේ නැත. ඔහු ගේ ගති ස්වාභාවයන්, සිරිත් ඒ ලෙස ම පවතිනු ඇත. මෙහි භයානක ස්වරූපය වන්නේ එබඳු පුරුෂයකු අතට විධායක බලතල ලැබීම ය.

දේශපාලනය යනු එක් විෂයෙකි. හමුදා පාලනය යනු තවත් විෂයයෙකි. රාජ්‍ය නායකත්වය යනු එක් විෂයයෙකි. හමුදා නායකත්වය යනු තවත් විෂයයෙකි. මුලින් මේ තත්ත්වය වටහා ගත් හමුදා නායකයා කියා සිටියේ කිසි දිනෙක දේශපාලනයට නො එන බව ය. එහෙත් රටේ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහු ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් ව සිටී. මේ කුමන්ත්‍රණයේ මුල් බටහිර අධිරාජ්‍යවාදය දක්වා ඈතට විහි දෙයි. බුද්ධිමතුන් මේ තත්ත්වය වටහාගෙන තිබේ. කලාකරුවන් වටහාගෙන තිබේ. දේශ ප්‍රේමීන් වටහාගෙන තිබේ. එහෙත් තව ම අනතුර වටහා නො ගත් පිරිසක් ද සිටිති.

කට කතාවලින් සමහරු මුළාවට පත් වෙති. ඇතැම් ජන මාධ්‍යවල හැසිරීමට අනුව ඇතැම්හු මුළාවට පත් වෙති. වේදිකාවල දී මුදා හැරෙන බොරු පොරොන්දුවලට තවත් අය මුළාවෙති. දේශපාලන අත්දැකීමක් නැති පුද්ගලයකුට ඕනෑතරම් බොරු පොරොන්දු දෙන්නට පුළුවන. සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි කරන බවට දෙන පොරොන්දුව ද මුළාවෙකි. ආර්ථිකයේ ස්වභාවය හැසිරීම හා එහි ප්‍රතිඵල ගැන කිසිවක් නො දන්නා කෙනකුට එබඳු බොරු පොරොන්දු දෙන්නට පුළුවන. බොරු පොරොන්දු මත යැපෙන්නේ ද යථාර්ථයට මුහුණ දෙන්නේ ද යන්න ජනතාව කල්පනා කළ යුතු ය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් ව ඇත්තේ පොරොන්දු ඉටු කළ නායකයකු ලෙස ය. 2005 නොවැම්බරයේ ඔහු බලයට පත්වන්නේ තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කොට රටට හා ජාතියට නිදහස ලබාදෙන බවට පොරොන්දුවක් දෙමින් ය. එදා මේ රටේ මූලික ගැටලුව වූයේ ත්‍රස්තවාදය යි. රට පුරා බෝම්බ පිපිරිණි. උතුර හා නැෙඟනහිර පාලනය ත්‍රස්තවාදීන් අත පැවැතිණි. කිසිදු ජීවිතයක් ගැන විශ්වාසයක් නො තිබිණි. දරුවන් ට අනාගතයක් නො තිබිණි. ඉතා කෙටි කාලයක් තුළ මේ ගැටලුව විසඳන්නට ජනාධිපතිවරයා සමත් විය. අද සියලු දෙනාට ම භීතියකින් තොර ව ජීවත්වන්නට පුළුවන. මහින්ද රාජපක්ෂ මහතා සාර්ථක රාජ්‍ය නායකයකු බව කියන්නට ඉහත ජයග්‍රහණය පමණක් වුව ප්‍රමාණවත් ය.

මහින්ද රාජපක්ෂ මහතාට දීර්ඝ කාලීන ආර්ථික වැඩපිළිවෙළක් තිබේ. එය මහින්ද චින්තනය නමින් හැඳින් වේ. මහින්ද චින්තනය නිර්මාණය වන්නේ මේ රටේ බුද්ධිමතුන් ගේ, පක්ෂ නායකයන් ගේ හා වෘත්තිකයන් ගේ අදහස් ද සැලැකිල්ලට ගනිමින්ය. එම වැඩපිළිවෙළ විමර්ශනය කරන කෙනකුට දකින්නට ලැබෙන්නෙ රටේ සියලු ක්ෂේත්‍රයන් ගේ්ම අභිවර්ධනය සඳහා මහින්ද චින්තනයෙහි කරුණු ඇතුළත් බව ය. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත් මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ඊළඟ අපේක්ෂාව වන්නේ රට සමෘද්ධිමත් කිරීම ය. ඊට අදාළ සුදුසු ම වැඩසටහන ඇත්තේ ඔහු ළඟ ය.

පෙරළා හමුදා නායකයා දෙස බැලුවහොත් ඔහු විශ්වාසය කඩ කළ පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ හමුදාව පාවා දී තිබේ. රට හා ජාතිය පාවා දී තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විශ්වාසය යි. ජනතාව ට විශ්වාසවන්ත පුද්ගලයකු රාජ්‍ය නායකත්වයට පත් විය යුතු ය. ඔහු ඍජු පුද්ගලයකු විය යුතුªය. නිසි කලට නිවැරැදි තීන්දු ගත හැකි අත්දැකීම් සහිත පුද්ගලයකු විය යුතු ය. අනාගත පරම්පරාව ගැන සංවේදී ව කල්පනා කරන පුද්ගලයකු විය යුතු ය. අප ගේ හැඟීමට අනුව එබඳු කිසි සුදුසුකමක් විශ්‍රාමික හමුදා නායකයාට නැත. ඔහු වනා හී එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණෙ හි රූකඩයෙකි.

අපට වැට උඩ ඉන්නට පුළුවන්කමක් නැත. ජනවාරි 26 ට පෙර තීන්දුවක් ගත යුතුය. එක්කෝ ලැබූ නිදහසත් රැකගෙන රටේ අනාගතය තහවුරු කළ යුතු ය. නැතහොත් ලැබූ නිදහසත් අහෝසි කරගෙන රට හා ජාතිය විනාශයට තල්ලු කළ යුතුය. තීන්දුවක් ගැනීම බුද්ධිමත් ජනතාවට භාර කරමු!

බුද්ධිමත් තීන්දුවක් ගත හොත් අප සියලු දෙනාට ම සුබ නව වසරක් සමඟ සුබ අනාගතයක් හිමි වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා