සුසන්තිකාට-මුරලිට-සනත්ට නව වසරේ ජනපති අතින් ජාතියේ උපහාර හෙට

ක්‍රීඩක ක්‍රීඩිකාවන් - නිලධාරීන් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන්

සුසන්තිකාට-මුරලිට-සනත්ට නව වසරේ
ජනපති අතින් ජාතියේ උපහාර හෙට

සුබ නව වසරක ආරම්භයත් සමගම ක්‍රීඩා ලොවේ ජය කෙහෙලි නැංවූ සුසන්තිකා ජයසිංහ, මුත්තයියා මුරලිදරන් හා සනත් ජයසූරිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් හෙට පෙරවරු 9.00ට නිදහස් චතුරස්‍රය ඉදිරිපිට ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී ජාතියේ උපහාරයෙන් පිදුම් ලබති.සුන්තිකාට ඔලිම්පික් රිදී පදක්කම හිමිවීමත්, මුරලිදරන් ලෝකයේ ටෙස්ට් හා එක්දින ක්‍රිකට් වැඩිම කඩුලු ලාභියා වීමත් සනත් අන්තර් ජාතික ක්‍රිකට් දිවියෙහි වසර 20ක් සම්පූර්ණ කළ එකම ශ්‍රී ලාංකිකයා වීමත් හේතුකොට ගෙන මේ උපහාර පිරිනැමීම සිදු කෙරේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ හා සියලුම ක්‍රීඩා සංගම්වල නිලධාරීන් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වන මේ විශේෂ උපහාර උළෙල ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ හා බන්ධුල බස්නායක යන මහත්වරුන් ගේ මෙහෙයවීමෙන් සිදුවේ.

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර තලයට ගිය හා ජාතික තලයේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් මෙවැනි විශේෂ උපහාර උළෙලක් පැවැත්වීම මෙරට දී සිදුවන මුල්ම අවස්ථාව මෙය බව ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මේ විශේෂ උත්සවය සඳහා ආරාධනාකර ඇතැයි ඒ මහතා පැවැසීය. මෙදින සුභ මොහොතින් ටොරින්ටන් ක්‍රීඩාංගණය නවීකරණය කිරීම හා මීටර් 400 කෘතිම ධාවන පථය ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කිරීම සිදුවේ.

කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට පුහුණුවීම සඳහා ටොරින්ටන් ක්‍රීඩාංගණයේ කෘතිම ධාවන පථය ලබාදීම මෙහි අරමුණ වී ඇත. ක්‍රීඩාංගණයේ නවීකරණයට හා කෘතිම ධාවන පථය ඇතුළු කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 320 ක් පමණ වැය කිරීමට බලාපොරොත්තු වේ.

මාස 6 ක් තුළදී ඉදිකිරීම් නිම කිරීමට අපේක්‍ෂිත ය. අද උපහාර ලබන සුසන්තිකා ජයසිංහ වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ලෝකඩ පදක්කම හිමිකර ගත්ත ද එහි රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවට දඬුවම් ලැබීමෙන් අනතුරුව රිදී පදක්කමට හිමිකම් කීමට සමත් වූවාය.

එහි රන් පදක්කම බහමාස් හී ඩේවිඩ් තොම්සන් ට හිමි වූවාය. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් 2009 පෙබරවාරි මාසයේ දී ඉන්දියාවට එරෙහි තරගයේ දී එක්දින කඩුලු 502 ලෝක වාර්තාව පසු කළ අතර ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ද (කඩුලු 792) වේ.

වසර 1989 දෙසැම්බර් 26 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රථම අන්තර් ජාතික තරගයට පිවිසි සනත් ජයසූරිය ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව වසර 20 ක් ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා ද වේ. එමෙන්ම එක්දින තරග 444 ක් ක්‍රීඩා කරමින් ලොව වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙසද වාර්තා පොතට එක්විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා