ඒකීය රටක් තුළ පළමු අවුරුදු උදාව මෙවර සමරනවා

ඒකීය රටක් තුළ පළමු අවුරුදු උදාව මෙවර සමරනවා

සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයේ අනුනායක
නියංගොඩ විජිතසිරි නාහිමි

ව වසර තුළ ශ්‍රී ලාංකික ජනතාවගේ ඉදිරි ගමන කෙබඳු විය යුතුද ඒ සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාවලිය කුමනාකාරද යන්න සහ එළැඹෙන ජනපතිවරණය අලලා සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

* මෙවර නව වසර උදාව ශ්‍රී ලංකාවාසීන්ට සුවිශේෂයි. තිස් වසරක් පැවැති ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමෙන් පසු ඒකීය රටක් තුළ පළමුවරට අවුරුදු උදාව සමරන්ට මෙවර අපට හැකිවී තිබෙනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස.

ගතවූ කාලය හා සසඳා බලනවිට අපිට වටිනා බලාපොරොත්තු රාශියක් ඇතිව නව වසරට පා තැබීමේ අවස්ථාව ලැබී තිබෙනවා. මෙහිදී අපේ අවධානය යොමුවිය යුතු වැදගත්ම කාරණය මේ රටේ අනාගතය වඩා සුබදායි ලෙස ගොඩනංවා ගැනීමයි. දැන් රටේ සාමකාමී වාතාවරණයක් මුළුමනින්ම තහවුරු වී තිබෙනවා. ජනතාවට නිදහසේ හිතන්න, නිදහසේ ගමන් බිමන් යන්න, අලුත් බලාපොරොත්තු ඇතිව ගොඩනගා ගන්න පසුබිම රටේ ඇතිවී තිබෙනවා. මේ නිසා උදාවු නව වසර රට ගොඩනගන වර්ෂයක් ලෙස අප හැමදෙනා කල්පනා කරන්න ඕන.

ඒ ගොඩනැගීම සඳහා බුද්ධ දේශනාවට අනුව අපේ සිත්වල තියෙන්න ඕන උත්සාහය, ඉතිරි කිරීම, මිනිසුන් අතර යහපත් මිත්‍රත්වයක් පවත්වා ගැනීම, සම පැවැත්මකින් යුතුව ජීවත්වීම යනු කරුණු හතර. මේවා අපේ ජීවිතයට සම්බන්ධ කරගතහොත් අපට නව වසරේ සමෘද්ධිය කරා ගමන්ගත හැකියි. රට බත බුලතින් සරුකර ගෙන ස්වයංපෝෂිත තත්ත්වයට ළඟාවීමට මෙම වසර තුළ අපි අධිෂ්ඨාන කර ගැනීම වඩා වැදගත්.

* ඔබ වහන්සේ පවසන පරිදි රට ස්වයංපෝෂිත තත්ත්වයක් වෙත ගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම දැන් රටේ නිර්මාණය වී ඇතැයි විශ්වාස කරනවාද?

මේ රටේ වසර 32 ක් පුරා පැවැති භයානක යුද්ධය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙමින් නිමාවට පත්කළා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, මහජනතාව මේ හැමදෙනාම එකතුවෙලා මේ ජයග්‍රහණය ලබා ගන්න ඉමහත් කැපවීමකින් කටයුතු කළා. ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධව සිටි අපේ රටේ දෑ හිතකාමී දරු පිරිස මෙහිදී ජීවිත පරිත්‍යාගයෙන් දැක්වූ කැපවීම මෙහිදී අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

* මෙම වසර ආරම්භයේදීම ජනපතිවරණය පැවැත්වෙනවා. ඊට පසු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මැතිවරණ පැවැත්වෙන විට බොහෝවිට ජනතාව එක් එක් පක්ෂවලට බෙදී වෙන්වී එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගන්නවා. සමඟිය බිඳ වැටෙනවා. මෙය මැතිවරණ වර්ෂයක් නිසා මේ පිළිබඳව ඔබ වහන්සේ ජනතාවට ලබාදෙන්නේ මොනවගේ පණිවුඩයක්ද?

මේ ගැන බුද්ධිමත්ව කල්පනා කරලා ජනතාව ගැඹුරින් හිතන්න ඕන. ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන්නේ රටට අවශ්‍යය දේශපාලන නායකයන් තෝරාපත් කර ගන්නයි. අපි නිදහස ලබාගෙන අවුරුදු 61 ක් වෙනවා. ප්‍රජාතන්ත්‍රික පරමා දර්ශයන් සහ සම්ප්‍රදායන් පිළිබඳව අපි ඉගෙන ගන්න ඕනෑ. මේ වනවිට අපේ රටේ ජනාධිපතිවරණ පහක් පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ සහ වෙනත් මැතිවරණ ගණනාවක් පවත්වා තිබෙනවා. ඡන්ද අවස්ථාවල හැසිරිය යුතු ආකාරය අපි ඉගෙන නොගන්නේ ඇයි? ආවේග ඇතිවුණාට, තමන්ගේ හිත්වල යම් යම් වැරැදි කල්පනා ඇතිවුණාට, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව මතුවුණාට, මතු කළාට ඒවාට ගොදුරු නොවී ඉන්න ජනතාව වගබලා ගන්න ඕන.

* ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාම යෝජනා බාරදීමෙන් පසු මහනුවරට පැමිණි අවස්ථාවේ තුන් දහසක් පමණ මහා සංඝරත්නය ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහ මළුවට වැඩම කර ඒ මහතාගේ ජයපතා ජය පිරිත් සජ්ඣායනා කළා. මෑතභාගයේ කිසිදු රාජ්‍ය නායකයකුට නොමැති පිළිගැනීමක් ජනපතිතුමන් කෙරෙහි මහා සංඝරත්නයේ පැවතීමට විශේෂ හේතුවක් තිබෙනවද?

ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නායකයා ලෙස සිව් වසරක් රට පාලනය කළා. මේ කාලය තුළ එතුමා කළ කාර්ය සංසිද්ධිය අප මුලින් විමසා බැලිය යුතුයි. එතුමා ඉදිරියට කරන්න බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එකත් අපි අවබෝධ කරගෙන ඒ ඔස්සේ තීරණයක් ගත යුතුයි. මෑත යුගයේ මෙරට පහළ විශිෂ්ටතම නායකයා මහින්ද රාජපක්ෂ ජනපතිතුමා බව කවුරුත් අවිවාදයෙන් යුතුව සත්‍යයට එකඟව පිළිගත යුතු වෙනවා.

එතුමා කළ කාර්ය සංසිද්ධියේ වටිනාම කොටස කුරිරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදයට පත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අනුව මැතිවරණ තියන්න ඕන. වරණය කියන්නේ මහජනතාව විසින් තෝරා ගැනීමයි. ඒකට මාර්ගය හදලා එතුමා මහනුවරට පැමිණියා. දළදා හාමුදුරුවන් වැඳ පුදා ගත්තා. මහා සංඝරත්නයෙන් එතුමා ආශිර්වාදය බලාපොරොත්තු වුණා. අතිවිශාල භික්ෂුන් වහන්සේ පිරිසක් මහනුවරට වැඩම කළා. ගරුතර මහා සංඝරත්නය දළදා මැදුර ඉදිරියට ඓතිහාසික මහ මළුවට වැඩමකර පිරිත් සජ්ඣායනා කළා. සංඝරත්නය ඉතා ඕනෑකමෙන් හා කැමැත්තෙන් මහ මළුවට වැඩම කරලා මේ ඉෂ්ට කළේ යුතුකමක්.

* මෙවැනි අවස්ථාවක් මෑත භාගයේ කිසිම රාජ්‍ය නායකයකුට උදාවුයේ නැහැ නේද?

මගේ මතකයේ හැටියට නම් මෙවැනි අවස්ථාවක් මෙයට පෙර උදාවෙලා නැහැ. අවුරුදු 40 ක විතර කාලෙක ඉඳලා මම තොරතුරු දන්නවා. රාජ්‍ය නායකයකු පත්වූ පසු නම් මෙවැනි ආශිර්වාද කිරීම් සංඝරත්නය විසින් සිදුකරනවා. නමුත් ජනවරමක් පතන අවස්ථාවක ජනපතිතුමාට සංඝරත්නය වෙතින් මේ ආකාරයේ ආශිර්වාදයක් හිමිවීම ඇත්තෙන්ම සුවිශේෂ අවස්ථාවක් කිව යුතුයි.

* එළඹෙන ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධූරයට පත්වීම වඩා යෝග්‍ය බවද ඔබ වහන්සේ පවසන්නේ?

පසුගිය ජනපතිවරණයේදී එතුමාගේ ජයග්‍රහණය පසුපස හිටියේ මේ රටට ආදරය කරන බලවේගයි. එම ධූරයට පත්වූ පසු නොයෙක් අභියෝග එතුමාට එල්ල වුණා. මේ අතරින් රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම ප්‍රධාන අභියෝගය වුණා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතර බලයක් එතුමාට තිබුණේ නැහැ. ඉතාම දක්ෂ විදිහට එතුමා පාර්ලිමේන්තුවේ බහුතරය වර්ධනය කර ගත්තා. ඒ විතරක් නොවෙයි ඉතාමත්ම දක්ෂ, උගත්, ක්‍රියාශීලි මන්ත්‍රීවරු වෙනත් පක්ෂවලින් තමන් වෙත දිනාගන්න එතුමට හැකියාවක් තිබුණා. ඒ හැකියාව උපයෝගී කරගෙන තමයි මේ යුද්ධය කළේ.

ඒ අතරතුර අපට ආහාරපාන, බෙහෙත් හේත් අඩුවක් වුණාද? රටේ අනෙක් ප්‍රදේශවල කලබල ඇතිවුණාද? එහෙම වුණේ නැහැ. ඇතැමුන් නොයෙක් විවේචන එතුමට එල්ල කරනවා. ඇත්ත වශයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුණාද? අපි මේ පිළිබඳ කල්පනා කරලා බලන්න ඕන. එතුමා කියනවා රටේ ඉදිරි ගමන සාර්ථක කරන්න ජනතාවට සුබ අනාගතයක් ඇති කරන්න මම කැපවෙලා ඉන්නවා. එම කාර්යයන් තමන් නිසි අයුරින් අවසන් කරනවා කියලා. තවත් වතාවක් බලය දෙන්න කියලා එතුමා කියන්නේ මේ සඳහායි. ඒක අප පිළිගත යුතුයි. ඒ අනුව ඊළඟ ජනපතිවරණයේදී එතුමා ජයග්‍රහණය කරනවා නම් එමගින් රටට විශාල සෙතක් වන බව මගේ හැඟීමයි.

* විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින්නේ විශ්‍රාමික ෆොන්සේකායි. යුද ජයග්‍රහණය ලබන විට ඔහු කටයුතු කළේ යුද හමුදාපති ලෙසයි. ජනපතිතුමන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙස විශ්‍රාමික ෆොන්සේකා ඉදිරිපත් වීම පිළිබඳ ඔබ වහන්සේගේ අදහස?

මේ රටේ ප්‍රධානතම රාජ්‍ය නායකයා තෝරන මැතිවරණය තමයි දැන් තියෙන්නේ. ඒ තෝරන අවස්ථාවෙදී අපි දේශපාලනික වශයෙන් වඩා පරිණත පුද්ගලයකු තෝරාපත් කර ගැනීම වඩාත් සුදුසුයි. ජනපතිතුමාට වසර 41 ක දේශපාලනික ඉතිහාසයක් තිබෙනවා. අනෙක් කාරණය රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ මේ රජු යටතේ සිටියවුන් රජුට එරෙහි වූ අවස්ථා කොතෙකුත් තිබෙනවා. විශේෂයෙන්ම හමුදා අංශවල. ඉන්දියානු දේශපාලන දර්ශනය තුළ පවා කෞටිල්‍යය වැනි ආචාර්යවරුන් මේ කරුණු හොඳින් පෙන්නුම් කරලා තිබෙනවා.

හමුදාමය ක්ෂේත්‍රයේ ප්‍රධානියකුව සිටි ෆොන්සේකා ජනපතිවරණයට ඉදිරිපත් වෙලා විසංවාදී ආකල්ප හා විසංවාදී දේශපාලන මතිමතාන්තර මත මොකක්දෝ කරුණක් නිසා එකතු වූ පිරිසකට අද නායකත්වය ලබාදෙනවා. ජනපතිතුමා පැහැදිලිවම සංවාදී දේශපාලනයක නිරතව අර්ථදායි බලවේග හා එක්ව ඉදිරි ගමනක් යනවා.

* මේ රටේ මහා සංඝරත්නය ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව නිරතුරුව කතා කරන්නේ ප්‍රශංසනාත්මකවයි. මෙයට විශේෂ හේතුවක් තිබෙනවාද?

ජනපතිතුමා මේ රටේ මහා සංඝරත්නයෙන් නිරතුරුව අවවාද අනුශාසනා ලබනවා. එය නිශ්චිතවම අපි දන්නවා. එතුමා ජාතික නායකයකු ලෙස නැගීගෙන එන අවධියේදී මල්වතු මහා විහාර පාර්ශ්වය එතුමට ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමය පිරිනැමුවා. ඒක බොහෝ සේ අද අර්ථවත් වී තිබෙනවා. රටේ උන්නතිය සඳහා සංඝරත්නය කරන ඉල්ලීම එතුමා කිසිවිටෙක අහක දැම්මේ නැහැ.

රට පාලනය කිරීමේදී කරන ඉල්ලීම් සියල්ල ඉෂ්ට කිරීම අපහසු වුණත් එතුමා සෑමදේටම ඇහුම්කන් දුන්නා. පසුගිය කාලය තුළ ජනපතිතුමන් රටේ සදාචාරාත්මක සංවර්ධනය උදෙසා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. අද ප්‍රසිද්ධියේ දුම්බීම බොහෝ සෙයින් අඩුවෙලා. මතට තිත වැඩසටහන නිසා මත්පැන් හා සම්බන්ධව යම්කිසි පාලනයක් රටේ ඇතිවුණා. අප ජීවත්වන මේ පරිසරය තුළ ගලාඑන සියලු බලවේග එකවර පාලනය කිරීම අසීරුයි. නමුත් සෑහීමකට පත්විය හැකි ආකාරයේ සදාචාරවත් සමාජයක් මේ වනවිට බිහිවෙමින් තිබෙනවා.

* රාජපක්ෂ සහෝදර සමාගම ලෙසට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ සහෝදර පිරිස හඳුන්වන විපක්ෂය මෙම පිරිස රට සංවර්ධනය කරනු වෙනුවට රාජපක්ෂ පවුල සංවර්ධනය කර ගන්නා බවට චෝදනාවක් කරනවා.

මනුෂ්‍ය ආත්මභාවයක් ලබනවිට කෙනෙකු ලබන සම්පත්ති ගණනාවක් තිබෙනවා. ඒ අතරින් එකක් තමයි පරිවාර සම්පත්තිය. ඒ යටතට තමයි ඥාතින් ගැනෙන්නේ. දුටුගැමුණු රජු ගැන කල්පනා කරන එතුමගේ මල්ලි තිස්ස තමයි හුඟක් වැඩ කළේ. ජනපතිතුමාටත් ගෝඨාභය හා බැසිල් යන ක්‍රියාශීලි සහෝදරයන් දෙදෙනා සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා දිවා රෑ නොබලා කළ සැලැසුම් සහ ඊට යෙදවූ අවධානය නිසා අපිට පුළුවන් වුණා ත්‍රස්තවාදීන් එකතැකට කොටුකරලා යුද ජයග්‍රහණය ලබන්න.

මම නැඟෙනහිරට ගියා. ඒ පළාතේ් සුවිශාල වැඩකොටසක් සිදුවෙනවා. පාරවල් හදලා, විදුලි රැහැන් ඇදලා, ගෙවල් දොරවල් ඉදිවෙමින් තිබෙනවා ඒ පළාතේ. මේවා මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මහතායි. අනාථ කඳවුරුවලට අපි ගිහින් ඇස් දෙකින්ම දැක්කා ඒ ජනතාවට කන්න බොන්න දී රජය සලකන ආකාරය.

* තිස් වසරක් පැවැති ත්‍රස්තවාදය මුළුමනින් පරාජය කැර ස්ථිර සාමයක් අද රටේ ගොඩනැගී තිබෙනවා. මේ අවස්ථාවේ යුද ජයග්‍රහණයේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ කාටද යන්න පිළිබඳ රටේ ප්‍රශ්නයක් මතුව තිබෙනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක ෆොන්සේකා කියන්නේ් ඔහුගේ් මූලිකත්වයෙන් යුද ජය ලැබූ බවයි.

රටක් සමෘද්ධිමත් කළාම ඒ නායකයටයි එහි ගෞරවය හිමිවිය යුත්තේ. දුටුගැමුණු රජු කළ කාර්යය සංසිද්ධියේ ප්‍රතිඵලය සැලකීමේදී එහි ගෞරවය එතුමටයි. වලගම්බා රජු රට නිදහස් කරගත්තා. එහි ගෞරවය එතුමටයි. කියුබාව කිව්වොත් කස්ත්‍රෝ මැලේසියාවේ මහතීර් මොහොමඩ්, වියට් නාමයේ හෝ චිමිං. මේ හැමෝම පාලකයන්. මේ අයටත් උදව් කළ අය ඕන තරම් ඉන්න ඇති. නමුත් ඉතිහාසයේ නම ලියවෙන්නේ එම ජයග්‍රහණය ලබන අවස්ථාවේ සිටි පාලකයාගෙයි.

දැන් මේ යුද්ධය දිනපු නිසා ජනාධිපතිතුමා මැතිවරණවලදී යුද ජයග්‍රහණය විකුණන බවට ෂපක්ෂයේ අය චෝදනා කරනවා. බැරිවෙලාවත් යුද්ධය පැරදුනා නම් එම පරාජය මැතිවරණ වේදිකාවේ විකුණන්නේ විපක්ෂය කියන එක අපි තේරුම් ගන්න ඕන. තිස් වසරක් පැවැති යුද්ධය නිමකරන්න බැරිවුණා කියා ජනතාව දොස් කියන්නේ පෙර සිටි පාලකයන්ට මිස හමුදා නායකයන්ට නොවෙයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන ඉදිරියට ගෙනයෑමට නායකත්වය ලබාදෙන අතරතුර ජනපතිතුමන් විදේශීය බලපෑම් පාලනය කරමින් රටේ ජනතාව වෙනුවෙන් ද කළ මෙහෙවර විශිෂ්ටයි. මේ සියල්ල සැලකීමේදී මෙහි සියලු ගෞරව අපි එතුමාට කිසිදු පැකිලීමකින් තොරව ලබාදීම වරදක් නොවෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා