ෆොන්සේකා පවුලේ අවි ගනුදෙනු විවාදයට සිංහයෙකු නැත්නම් නරියෙකු හෝ බල්ලෙකු එවන්න

ෆොන්සේකා පවුලේ අවි ගනුදෙනු විවාදයට
සිංහයෙකු නැත්නම් නරියෙකු හෝ බල්ලෙකු එවන්න

බොරු කතා කියා විවාදය මග හරින්න එපා-විමල් කියයි

ෆොන්සේකාගේ පවුලේ අවි නිෂ්පාදන සමාගම ගැන විවාදයට සිංහයකු බැරිනම් නරියකු, බූරුවකු හෝ බල්ලෙකු එවන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැවත වරක් අභියෝග කරයි.

එසේ නොමැතිව බහුබූත කතා කියා විවාදය මගහැර නොයන්නැයි හෙතෙම ඉල්ලා සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේ පෙරේදා (30) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවැසීය.

තමන් ඉදිරිපත් කළ අභියෝගය බාරගත හොත් ඉන්පසු යෝජනා කරන ඕනෑම මාතෘකාවක් ගැන ඊට පසු විවාද කිරීමට සූදානම් බවද වීරවංශ මහතා කීවේය.

විපක්ෂයේ සන්ධානය විවාදය සඳහා දෙදෙනකු නම් කළ පසු දිනම තමන්ගේ පාර්ශ්වයේ දෙදෙනා නම් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කෙළේය.

තමන් කළ අභියෝගය බාරගත නොහැකි ඇතැම් අය ඉන් පැන යෑමට පිටස්තරව සිටින අයද ඊට ඈඳා ගැනීමට කටයුතු කරමින් සිටින බවද වීරවංශ මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ ද කීවේය.

මා අභියෝග කෙළේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ අවි නිෂ්පාදන සමාගම ගැන වාදයකට එන්න කියලයි. මා කිව්වේ නැහැ ෆොන්සේකා මහත්තයම එන්න ඕන කියලා. ඒ මහත්තයට එන්න කිව්ව නම් මේ ආත්මේ විවාදය තියන්න වෙන්නේ නැහැ. එම නිසා තමයි නියෝජිතයන් දෙදෙනකු හෝ එවන්න කිව්වේ.

දැන් සමහර පුවත්පත් සාකච්ඡා තියා කියනවා සිංහයෝ, සිංහයොත් එක්ක විතරයි හැප්පෙන්නේ කියලා. අපි කියන්නේ සිංහයා එවන්න බැරිනම් බූරුවෙක් හරි එවන්න කියලයි. අපට අවශ්‍ය ෆොන්සේකාගේ පවුලේ අවි නිෂ්පාදන සමාගම ගැන සත්‍ය තොරතුරු වලින් මහජනතාව දැනුම්වත් කිරීමටයි.

අවි ගනුදෙනු කළ අයුරු, ශ්‍රී ලංකාවේ වත්කම් මිලදී ගත් අයුරු, බැංකු ගිණුම් සාක්කි සහිතව ලිඛිතව ඔප්පුකර පෙන්වන්න මා සූදානම්.

එම නිසා අප බලාපොරොත්තු වෙනවා මේ අභියෝගයට නිසි ප්‍රතිචාර ඉක්මනින් ලැබේවි කියලා. ඊට සූදානමින් සිටින බවද හෙතෙම කීවේය. මේ අවස්ථාවට එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතා සහභාගි වී සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා