‘වෙනිසියුලා රජය පෙරළෙනවා’ ‘කස්ත්‍රෝ 2010 දී මිය යනවා’

‘වෙනිසියුලා රජය පෙරළෙනවා’ ‘කස්ත්‍රෝ 2010 දී මිය යනවා’

අමෙරිකා ‘නිව්ස්වීක්’ සඟරාවේ අනාවැකි
ජනපති චාවේස්ගේ සමච්චලයට ලක්වෙයි

වෙනිසියුලා රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළෙනු ඇතැයි සහ කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ 2010 දී මියෙනු ඇතැයි යනුවෙන් අමෙරිකානු ‘නිව්ස්වීක්’ සඟරාව කැර ඇති පුරෝකතනයක් වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් පෙරේදා සමච්චලයට ලක් කළේය.

දීර්ඝ රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කරමින් “නිව්ස්වීක් අමෙරිකන් අධිරාජ්‍යයේ සඟරාව“ යැයි හැඳින්විය.

ධනපතිවාදයට ආවඩනවුන්ගේ ධනසම්භාරයන්, පුවත්පත් හා රූපවාහිනී ජාල ආදිය නියෝජනය කරමින් අධිරාජ්‍යවාදයේ පැතුම් හා වෛරය පැතිරවීම මේ සඟරාවේ කාර්ය භාරය යැයි ඔහු පැවැසීය.

අලුත් අවුරුද්ද සඳහා නිව්ස්වීක් සඟරාව ඉදිරිපත් කරන පුරෝකතන 10 ක ලැයිස්තුවේ වෙනිසියුලාවේ හියුගෝ චාවේස් පාලනය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළෙනු ඇතැයි පවසා ඇත්තේ එරට උද්ධමනය උග්‍රවීම, විදුලිබල කප්පාදුව, ආහාර හිඟයන් අපරාධ වර්ධනය හා චාවේස්ගේ ජනප්‍රියතාව හීනවීම ආදිය සිදුවන බව අවධාරණය කරමිනි.

21 වැනි සියවසේ සමාජවාදය 20 වැනි සියවසේ පැවති සුපුරුදු හිඟයන් දිළිඳුකම හා අරගල ආදිය දෙසටම යොමුවනු ඇති අතර චාවේස් බලයෙන් පහකොට එරට සාමය හා ස්ථාවරත්වය රැකීමට හමුදාව පියවරගනු ඇති බව නිව්ස්වීක් සඟරාවේ පලව තිබේ.

එහෙත් චාවේස් පවසා ඇත්තේ ඔහුට විරුද්ධව කැරැල්ලක් සිදුවිය හැකි එකම හා රටේ විපක්ෂය වෙනත් රටකින් හමුදාවක් ගෙන ආවොත් පමණක් බවය. ඒ සමඟම එවැන්නකදී සිදුවන ප්‍රති ප්‍රහාරය බෙහෙවින් දරුණු වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය. මීට අතිරේකව කියුබාවේ 83 හැවිරිදි පිදෙල් කැස්ත්‍රෝ මිහිමත වසන අවසන් වසර 2010 බවද නිව්ස්වීක් සඟරාව කියා ඇත.

එහෙත් චාවේස් පවසන්නේ කැස්ත්‍රෝගේ මියයාම ගැන ව්‍යාජ පුරෝකතන දක්වන අමෙරිකාවේ අලුත්ම පුරෝකතනය මෙය බවයි. වසර ගණනාවක පටන් මේ බව ප්‍රචාරය කිරීම ඔවුන්ගේ් සිරිතක් බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා