අන්තරේට ශාප කරනා අපේ කාලයේ මා - පියෝ

 අන්තරේට ශාප කරනා අපේ කාලයේ මා - පියෝ

රසවි සිසුන් අරගලකාරී විය යුතු ය, යන කතාවට මාන්නය හා මෝඩකම ද එක් වූ විට සිදුවන්නේ මහා විනාශයෙකි. අරගලකාරී වීම සම්ප්‍රදායෙන් හා ජානවලින් ගලා එයි. මාන්නය අවට සමාජය විසින් ගොඩනඟනු ලැබේ.

අන්තරය නම් සංවිධානය විසින් මෝඩකම එන්නත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ නූතන සරසවි ශිෂ්‍යයන් ඒ සියල්ලෙන් සන්නද්ධ බව අපගේ පිළිගැනීම ය. දැන් විනාශය සිදුවෙමින් පවතී. ශිෂ්‍යයෝ මහ පාරේ අරගල කරති. රජයේ ගොඩනැගිලිවලට කඩා වදිති. ඇමැතිවරුනට හූ කියති. අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිමින් නිස්කාරණේ නාකි වෙති.

චීනයේ සරසවි සිසුහු ඒ රටේ ආණ්ඩුවට එරෙහි ව පාරට බැස සටන් කළහ. ඉන් මහා විනාශයක් සිදුවිණි. චීන ආණ්ඩුව සිය ප්‍රතිපත්ති වෙනස් කළේ නැත. ශිෂ්‍යයන් ආර්ථිකය ගැන දැන සිටියේ නැත.

නූතන චීනය තව වසර කිහිපයකින් ලෝක බලවතා පසු කොට ඉදිරියට යනු ඇත. දකුණු කොරියාවේ ශිෂ්‍යයෝ ද, දකුණු අපි‍්‍රකාවේ ශිෂ්‍යයෝ ද එලෙස අරගලවල යෙදුණහ. ඒ දෙරටේ ම ශිෂ්‍යයන් අල්ලා හිරේ දමන ලදී.

රටේ නීතියට එරෙහි ව කටයුතු කිරීමේ අයිතියක් සරසවි ශිෂ්‍යයාට තබා රාජ්‍ය නායකයාටවත් නැත. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් කිහිප දෙනකු චෝදනා මත රිමාන්ඩ් භාරයට ගෙන තිබේ.

ඉහත කී ශිෂ්‍යයන්ගේ මාපියෝ දින කිහිපයකට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූහ. ඔවුන්ගේ කතාව දුක්බර ය. මවුපියන්ගේ අදහසට අනුව ඔවුන්ගේ දරුවන් අන්තරය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් නො මඟ යවනු ලැබ තිබේ.

මේ දරුවන් දේශපාලන වශයෙන් නො මේරූ, අත්දැකීම් අතින් හීන හැඟුම්බර තරුණයන් ය. ඔවුන් නොමඟ යැවූ පිරිසට හා සංවිධානවලට දඬුවම් දිය යුතු යැයි කියන වැඩිහිටියෝ නොමඟ ගිය දරුවන් ගැන අනුකම්පා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. අනුකම්පාව, කරුණාව, සමාව දීම යනු වෙනත් කාරණා ය. වරදට දඬුවම් දීම යනු අනිවාර්යයෙන් සිදුවිය යුතු නියමයෙකි.

ශ්‍රී ලංකාවේ සරසවි ශිෂ්‍යයා යනු වාසනාවන්ත තැනැත්තෙකි. ඔහුට නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබා දී තිබේ. අවශ්‍ය තැනැත්තකුට ප්‍රථම උපාධිය පමණක් නො ව පශ්චාද් උපාධිය පවා නොමිලයේ ම ලබාගත හැකි ය.

ඉක්බිති ව අධි ශිෂ්‍යත්වයක් ලබා විදේශ රටක අධ්‍යාපනය ලද හැකි ය. විශ්වවිද්‍යාල කථිකාචාර්ය පදවියක් ලදහොත්; පඩි පිට සත් වසරක අධ්‍යයන නිවාඩු ලබා ගත හැකි ය.

ප්‍රථම උපාධිය ලබාගත් පිරිසට රාජ්‍ය අංශයේ රැකියා ලැබේ. ඒ සඳහා රජය විශේෂ කැපවීමක් කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ඇති අවස්ථා හා උසස් අධ්‍යාපනයට දක්වන සැලැකිල්ල වෙනත් රටවල දක්නට නො ලැබෙන තත්ත්වයෙකි. කමකට නැති දේශපාලනයක් බදාගන්නා ඇතැම්හු මේ අනගි අවස්ථා අපතේ හරිමින් ජීවිතය නාස්ති කර ගනිති.

අපේ සරසවි තුළ අන්තරය විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලිවලට සමාන මැර කණ්ඩායම් සිටින බව දැනගන්නට ලැබේ. පේරාදෙණියේ මෝරා, කොළඹ මාරා, රුහුණේ බස්සා යනා දී ලෙසින් ඔව්හු හඳුන්වති. සරසවි පාලනය වනුයේ ඔවුන්ගේ අනු - දැනුම මත ය.

පොදු ශිෂ්‍යයෝ ඉහත කී පාතාල කල්ලිවලට බියෙන් තම හැඟීම්, මතවාද හා ඉලක්ක අත්හරිති. ඉහත කී පාතාල කල්ලි විසින් පොදු සිසුන්ගේ සියලු සංවිධාන පමණක් නො ව ස්වාධීන මත පවා මර්දනය කරනු ලැබේ. ඒ අනුව බලන විට අධ්‍යාපනයට අවශ්‍ය වූ නිදහස් පරිසරයක් මෙරට විශ්වවිද්‍යාල තුළ නැත. එය වහාම වෙනස් විය යුතු ය. ඒ වෙනස්වීම කළ හැක්කේ රජයට පමණි.

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා අපගේ විශ්වවිද්‍යාල පද්ධතියට අලුත් ජවයක් දීමට සැලැසුම් සකස් කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. ඒ මහතාගේ එක් අදහසක් වන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය අන්තර්ජාතික මට්ටමින් ඉහළ නංවා නූතන ලෝකය හා පෑහෙන දැනුමකින් ශිෂ්‍යයා සන්නද්ධ කිරීම ය. තවත් අදහසක් වන්නේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ ප්‍රමාණය වැඩිකිරීම ය.

තවත් අගනා අදහසක් වන්නේ විදේශීය සිසුනට මෙරට අධ්‍යාපන අවස්ථා උදාකර දීම ය. එමෙන් ම මෙරට සිසුනට විදේශීය මට්ටමින් යුතු උපාධි ලබාගැනීමට අවස්ථාව උදාකර දීම ය. මේ එක ඉලක්කයක්වත් නරක නැත.

මෙරට විශ්වවිද්‍යාල තව ම පවතින්නේ සාම්ප්‍රදායික තත්ත්වයේ ය. ඒවා වැඩිදියුණු විය යුතු බව විද්වතුන්ගේ මතය වේ. කලකට පෙර මෙරට මහාචාර්යවරු තොග පිටින් විදේශ රටවලට ගියහ.

ඔවුන්ගේ මතය වූයේ වැඩි පඩි ලබාගැනීම සඳහා ම එසේ පිටත් නොවූ බව ය. සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල තුළ සිට තම දැනුම හා කුසලතා මොට කර ගැනීමට උගත්හු කැමැති නො වෙති. ඇමැති එස්. බී. දිසානායක මහතාගේ වැඩපිළිවෙළට මෙරට උගතුන්ගේ අනුමැතිය හා ප්‍රශංසාව හිමිව තිබේ.

එහෙත් අවාසනාවක් ද තිබේ. එනම්; විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු වන යහපත් පරිවර්තනයට එකඟ නො වන කණ්ඩායමක් සිටීම ය. ඔව්හු ශිෂ්‍යයන් මුළා කොට කඩාකප්පල්කාරී වැඩවලට යොමු කරති.

ජනතා විමුක්ති පෙරමුණ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බලහත්කාරකම් කරන බව කව්රුත් දනිති. එය විවේචනයට ලක් කරනු විනා ඊට එරෙහි ව පියවරක් ගෙන ශිෂ්‍යයන්ගේ අනාගතය මල් ඵල ගැන්වීමට වෑයම් කළ කෙනකු දක්නට නැත.

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුණ දක්වන ශිල්ප ඉදිරියෙහි බොහෝ බලධාරීන් දුර්මුඛ වූ බවක් අප දැක තිබේ. දැන් – දැන් ඒ තත්ත්වය වෙනස් වෙන්නට පටන් ගෙන තිබේ.

මෙහිදී වැඩිහිටි ප්‍රජාවගෙන් ද යම් වැඩ කොටසක් ඉටු විය යුතු බව අපගේ හැඟීම ය. තමන්ගේ දරුවන් ගැන සෙවිල්ලෙන් පසුවීමත් ඔවුන්ගේ අනාගතය ගොඩනැඟීමත් වැඩිහිටි පරපුරට භාර කටයුත්තෙකි.

මවුපියනි, ඔබ ගේ සරසවි දරුවා නොමඟ ගොස් තිබේ ද? වහා ම සොයා බලන්න!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා