ජාතික කනිෂ්ඨ සහ යොවුන් බොක්සිං

ජාතික කනිෂ්ඨ සහ යොවුන් බොක්සිං
තරගාවලියේ අවසන් තරග අද

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය හා පාසල් බොක්සිං සංගමය එක්ව සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ සහ ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ අවසන් තරග අද (21) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පාසල් සහ ක්‍රීඩා සමාජ සඳහා විවෘත මේ තරගාවලිය පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර පාසල් හා ක්‍රීඩා සමාජ 62 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 275 දෙනෙකු සහභාගි වූහ.

කනිෂ්ඨ තරගාවලිය සඳහා අවුරුදු 15 – 16 අතර වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදින අතර යොවුන් තරගාවලිය සඳහා අවුරුදු 17 – 18 වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිති.

7 වැනි වරට පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලියේ සූරයන්ට ජගත් බොක්සිං සංගමයේ ජූරි සභික ප්‍රවීණ තරග විනිසුරු හර්බට් ඇඹුල්දෙණිය අභියෝගතා කුසලානය පිරිනමනු ලබන අතර 2 වැනි වරට පැවැත්වෙන යොවුන් තරගාවලියේ සූරයන්ට ආධුනික බොක්සිං සංගමයේ උප සභාපති යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය අභියෝගතා කුසලානය පිරිනමනු ලැබේ.

කනිෂ්ඨ තරගාවලියේ බාලක හා බාලිකා තරග ඉසව් 12 බැගින් පැවැත්වෙන අතර යොවුන් තරගාවලියේ තරග ඉසව් 13 බැගින් පැවැත්වේ.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පසුගිය වසරේ යොවුන් බොක්සිං සූරතාව දිනාගත් අතර කනිෂ්ඨ සූරතාව හිමි කර ගනු ලැබුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා