ජනතාවට කන්දෙන පසු විපරම් සභාව

ජනතාවට කන්දෙන පසු විපරම් සභාව

රටක රාජ්‍ය නායකයනට දුක් ගැනවිලි නොවිසදී පවතින ප්‍රශ්න ඉදිරිපත් කිරීම කවදත් පැවැති සම්ප්‍රදායක්. විශේෂයෙන් ම සංවර්ධනය වන්නා වූ තුන්වැනි ලෝකයේ රටවල ප්‍රාදේශීය වශයෙන් නොවිසඳී පවතින ප්‍රශ්න ඇති බව ද සත්‍යයක්.

දේශපාලන පක්ෂ ජනතාවට පොරොන්දු රැසක් බලය ලබා ගැනීමට ප්‍රථම ඉදිරිපත් කරනු ලබනවා. ඒවා හැඳින්වෙන්නේ මැතිවරණ ප්‍රකාශන නමින්. බලය ලබා ගැනීමත් සමඟම බලයලත් කණ්ඩායම පිහිටුවනු ලබන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බවට පත් වන්නේ ද එම මැතිවරණ ප්‍රකාශනයයි.

අවසානේ බලයට පත් ආණ්ඩු සමඟ ගනු - දෙනු බේරා ගැනීමේ දී ජනතාව අත ඇති තර්කානුකූල ලියැවිල්ල බවට පත් වෙන්නේ ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය බව අමුතුවෙන් කිවයුතු නැහැ.

රජය අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් නිශ්චිත කාලසීමාවක් ඇතුළත ජනතාව වෙනුවෙන් කළ යුතු දෑ ඉටු කිරීමට බැඳී සිටිනවා.

එම බැඳීම කඩවන්නේ නම් ඊට අදාළව දේශපාලන වශයෙන් ගනු දෙනු බේරා ගැනීමට සිදු වන්නේ ද ජනතාව පත් කරනු ලැබූ මහජන නියෝජිතයන්ට, අපේ රටේ නම් ජනාධිපතිවරයාට, මැති ඇමතිවරුන්ට, නැතිනම් සමස්තයක් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්්ධාන රජයට.

රජයක් ජනතාව වෙනුවෙන් පොරොන්දු වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයක අඩංගු දෑ ඉටු කිරීම ක්‍රියාවට නංවන්නේ රාජ්‍ය නිලධාරීන් හා සේවක සමූහයා හරහායි. මේ සඳහා ලක්ෂ 12ක පමණ රාජ්‍ය සේවයක් රට තුළ ක්‍රියාත්මකයි. මේ ප්‍රමාණය දකුණු ආසියාවේ අනෙක් රටවල්වලට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ගත් කළ වැඩියි.

මේ සඳහා වැය වන මහජන මුදල් කන්දරාව ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායමින් 39%ක් පමණ වෙනවා. උපයන සෑම රුපියලකින් ම ශත 39ක් වැය කරන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන්.

2009 රටේ මුළු ආදායම බිලියන 699ක් නම් රජයේ සේවකයන්ගේ වැටුප් වියදම රු. බිලියන 271ක් වෙනවා. මුළු රටේ ආදායමෙන් 39%ක් වෙනවා. මේ තරම් විශාල මුදලක් වැය කරන නමුත් ඔවුන් සමස්තයක් වශයෙන් ජනතාව වෙනුවෙන් තමන්ට නියමිත රාජකාරිය ඉටු කරනවා ද යන්න ප්‍රශ්නයක්. එසේ ඉටු වන්නේ නම් ජනාධිපතිවරයාට ජනතාවගේ දුක් ගැනවිලි රැගෙන දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යෑමට අවශ්‍ය වන්නේ නෑ.

ඒ සඳහා ඔහු වැය කරමින් සිටින්නේ රටේ ප්‍රතිපත්ති සැකසීම හා අධීක්ෂණයට ඇති කාලයයි. රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් කිරීමට අදාළ උපදෙස් සැපයීමේ කාලයයි. අතරමග වැඩ නතරවී ඇති ගොඩනැඟිලි ගැන, පාලම් බෝක්කු ගැන, මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන පමණක් නොව පුරා විද්‍යා ස්මාරකවල නාම පුවරු සැකසිය යුතු ආකාරය ගැන ද උපදෙස් දීමට හා ප්‍රශ්න කිරීමට රටේ නායකයාට සිදු වී තිබෙනවා.

මෙය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවෙයි. තමන් පත් කර රජයෙන් අත්‍යවශ්‍ය කාරණා ඉටු නොවන විට, අතපසු වන විට හා මන්දගාමී වන විට ජනතාව රාජ්‍ය නායකයා ඇමතීමේ වරදක් නැහැ.

බොහෝ විට ඊට පහළින් සිටින අයට කරන ලද ඉල්ලීම්වලින් පලක් නොවන නිසයි. ජනතාව ජනාධිපතිතුමාට කියන්නේ. මේ නිසා අදාළ බලධාරී නිලධාරීන් පමණක් නොව අදාල මැති ඇමතිවරුන්ට හා ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට ද මේවා පිළිබඳ සොයා බැලීමේ යම් වගකීමක් පැවැරෙනවා.

බොහෝ විට විෂයට අදාළ ඇමැතිවරු හා ප්‍රදේශයේ දේශපාලන නායකයන් ජනාධිපතිතුමාට ඉදිරිපත් කර ඇති අඩුපාඩු ගැන සොයාබලා තිබෙන බවයි අසන්නට ලැබෙන්නේ.

එහෙත් ඒවා සම්බන්ධයෙන් නිලධාරීන් සපයන සමහර පිළිතුරුවලින් සැහීමට පත් වීමට හෝ නිහඬ වීම දේශපාලනඥයන්ට සිදු වෙනවා ද? නැතිනම් ප්‍රශ්න හඹායමින් පසු විපමරක් සිදු නොවන්නේ ද යන්න කියන්න දන්නේ නැහැ.

සමහර රජයේ ගොඩනැඟිලි අනුන්ගේ ඉඩම්වල හදලා. ඒ නිසා ජනතා අයිතියට පැවරීමට නොහැකි ව ඒවා දිරාපත් වෙනවා. එසේ සිදු වූයේ කෙසේ දැයි සොයා බැලීම වැදගත්.

ඒවාට වැය කර ඇත්තේ මිලියන ගණනින් මහජන මුදල්, අනුන්ගේ පෞද්ගලික ඉඩම්වල රජයේ ගොඩනැඟිලි ඉදි කිරීම නිසා මතු වී තිබෙන අවුලට වගකිවයුතු දඬුවම් ලැබිය යුතු කිසිවෙක් නොමැති ද? අඩුම ගානේ ඒවා සම්බන්ධයෙන් යම් ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් ඉදිරියේ දී හෝ එවැනි වගකීමකින් තොර ක්‍රියා නතර වීමට ඉඩ තිබෙනවා.

එක් තැනක රුපියල් 65,000/- ක් පමණ වැය වන විදුලි රැහැනක් ඉවත් කර ගැනීමට නොහැකි වීම නිසා ගොඩනැඟිල්ලක ඉදිකිරීම් නතර වෙලා. එසේ ම එම ස්ථානය අනාරක්ෂිත වෙලා. වසර ගණනාවක් තිස්සේ ප්‍රශ්නය විසඳී නැහැ.

අමාත්‍යංශ දෙකක් අතර ප්‍රශ්ය නොවිසඳී ලිපි හුවමාරු වෙමින් පවතිනවා. රටේ ජනාධිපතිවරයාට මෙවන් සුළු ප්‍රශ්නයකටත් මැදිහත් වීමට සිදු වීම, කණගාටුදායක මෙන් ම ලැජ්ජා සහගතයි.

අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතුයි. එහෙත් එවැන්නක් පෙනෙන්නට නැහැ. එම කාර්යය ඉටු කරන්න ඕනෑ. ජනාධිපතිවරයා දුන් නියෝගය රටම රූපවාහිනියෙන් නැරඹුවා.

වසර ගණනක් එක තැන පල් වුණ මෙවන් සුළු ප්‍රශ්න රටේ හැම තැනම ඇති බවයි කල්පනාවෙන්නේ. මේවායින් පෙනෙන්නේ ජනතාවට රාජ්‍ය නායකයාට ම කතා කරල තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට සිදු වන බවයි.

එය රටක් විඳියටත් නරකයි. රජයේ අනෙක් නායකයන්ට ද මේ තත්ත්වය හොඳ මදි. දිස්ත්‍රික් මට්ටමින් සිදු වන ජනාධිපතිවරයාගේ සංවර්ධන සමාලෝචනය උදාහරණය ගෙන දැන්වත් මෙවැනි අඩුපාඩු සොයා බැලීමේ විදිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශ කටයුතු යොදන්නේ නම් රටට වැඩදායකයි.

මීට අමතරව දිනපතා ම මාධ්‍ය මඟින් විවිධ ප්‍රදේශවල අඩුපාඩු පෙන්වා දෙනු ලබනවා. අදාළ බලධාරීන් ඊට ගනු ලබන ක්‍රියාමාර්ග ද තවමත් අපහැදිලියි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කාරණා නිසි පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ‘මහින්ද චින්තනය’ ප්‍රතිපත්ති ප්‍රකාශනය කල් ඇති ව කල්පනා කර තිබෙනවා.

ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබුණා. එය හැඳින්වෙන්නේ ‘ප්‍රතිපත්ති පසුවිපරම් සභාව’ නමින්.

එහි විමර්ශනයට අදාල කරුණු කාරණා සම්බන්ධයෙන් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ මෙසේයි.

* කඩවුණුපොරොන්දු දේශපාලනය අවසන් කිරීමට මම මතු දැක්මෙන් ක්‍රියාමාර්ග ගනිමි.

* මාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රතිපත්ති පසු විපරම් සභාව’ නමින් පූර්ණ බලැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කොමිසමක් ස්ථාපනය කරමි. එකී කොමිසමේ සාමාජිකයන් ලෙස පත් කරන්නේ විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන බුද්ධිමතුන් ය.

* මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වැඩසටහන් මෙම කොමිසම මඟින් වසර 6කට අදාළ සැලසුම් හා වැඩසටහන් ලෙස සකස් කර එම සැලසුම් ක්‍රියාත්මක කිරීම විවිධ අමාත්‍යාංශවලට පවරා දෙනු ඇත.

* එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වාර්ෂික ඉලක්කයන් නියම කිරීම් ද වාර්ෂික ප්‍රගතිය සමාලෝචනය ද, පසුබෑම් අධ්‍යයනය කොට පිළියම් යෙදීම ද මෙම කොමිසමේ කාර්යභාරයට අයත්වනු ඇත.

සෑම අමාත්‍යාංශයක් ම සිය ඉලක්ක ද, වාර්ෂික ප්‍රගතිය ද, ඉලක්ක සහ ප්‍රගතිය අතර යම් වෙනසක් අත්නම් ඊට හේතු ද දක්වන වාර්ෂික වාර්තාවක් එකී කොමිසමට සැපයිය යුතු වන අතර මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ වාර්ෂික ප්‍රගතිය දක්වන ප්‍රගති වාර්තාවක් කොමිසම මඟින් ප්‍රසිද්ධ කරනු ඇත.

(මහින්ද චින්තන පිටු අංක 74 – 75) මෙම ප්‍රතිපත්ති පසුවිපරම් සභාව දැන්වත් ස්ථාපිත කරන්නේ නම් ජනාධිපතිවරයාට ඍජුවම ලැබෙන මහජන පැමිණිලි අඩු කර ගත හැකි මෙන් ම අදාළ ආයතනය මඟින් පසු විපරමක් කර ප්‍රශ්න අඩු කර ගැනීමට හැකි වෙනවා. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වීම වැදගත්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා