මං අලිත් එක්ක රණ්ඩු වුණේ අද ඊයේ නෙමෙයි

මං අලිත් එක්ක රණ්ඩු වුණේ අද ඊයේ නෙමෙයි

නිමල් චන්ද්‍ර අමරසිංහ - සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති

මාතර මාකවිට ඉපිද කොළඹ රාජකීය විදුහලෙන් සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ නිමල් චන්ද්‍ර අමරසිංහ මහතා ලන්ඩන් ලූට්න් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. විධායක ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ සේවය කර ඇති ඒ මහතා කෘතහස්ත පරිපාලන නිලධාරියෙකු වන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයාය.

ඔබගේ සම්පූර්ණ නම

නිමල් චන්ද්‍ර අමරසිංහ

උපන්දිනය

1940. 07.07

ගම් ප්‍රදේශය

මාතර, මාකවිට

මවගේ නම

පර්ල් අමරසිංහ

රැකියාව

ගෘහණියක්

පියාගේ නම

හේමපාල අමරසිංහ

රැකියාව

1963 විශ්‍රාම ලබන විට මාතර දිස්ත්‍රික්කයේ වැඩබලන දිසාපති හැටියට සේවය කළා.

පවුලේ විස්තර

මමත් එක්ක පවුලේ හයදෙනයි. අයියයි, මල්ලියි, නංගිලා තුන්දෙනෙකුයි මට ඉන්නවා.

රාජකීය විද්‍යාලයේ ඔබේ පාසල් ජීවිතය කොහොමද ?

ඒ දවස්වල අද වගේ රාජකීය විද්‍යාලයට යන්න තරගයක් නෑ. මම ඉස්කෝලෙට ඇතුල් වුණේ 1947 දී. සාමාන්‍ය පෙළ වෙනකම් රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තා. පසුව උසස් පෙළ කරන්න මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයට ගියා. උසස්පෙළට කළේ පිරිස් පාලන විෂය.

ඊට පස්සේ...

උසස් පෙළ කරනකොට මට කාමාට් එකෙන් රැකියාව ලැබුණා. ඉන් පස්සේ කාමාට් එකෙන් මට ලන්ඩන් ගිහිල්ලා උපාධියක් කරන්න අවශ්‍ය සියලු පහසුකම් සලසලා දුන්නා. මම ඉගෙන ගත්තේ ලන්ඩන්වල ලූට්න් විශ්වවිද්‍යාලයේ.

කුඩා කාලයේ ඔබේ සිහිනය වුණේ......

කවදාහරි ඉහළට එන්න ඕනේ කියන අධිෂ්ඨානයෙන් තමයි මම නිතරම කටයුතු කළේ. කාමාට් එකේ පරිවාස කාලයක් නැතිව දුන්න එකම ස්ථිර පත්වීම මටයි ලැබුණේ. මම ඒ පත්වීම ගන්න ගියේ තාත්තාත් එක්ක. එදා ඒ සතුටට තාත්තා ඇඬුවා. තාත්තා උප දිසාපති කෙනෙක් වෙලත් එච්චර පඩියක් ගත්තේ නැහැ.

කුඩා කාලයේ තාත්තගෙන් දඬුවම් එහෙම ලැබුණේ නැද්ද

අපෝ ඒවා නම් අනන්තයි. අපිට මාතර අක්කර හයක පොල් ඉඩමක් තියෙනවා. ඒකේ තෙලිජ්ජ මදින්න අවසර දීලයි තිබුණේ. රෑට මා වවුලෝ එනවා තෙලිජ්ජ බොන්න. අපි කැටපෝල අරගෙන උන්ට විදිනවා. උන් වැටෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. මේ වවුලන්ගේ තටුවේ නූලක් ගැටගහලා සරුංගල් වගේ අරිනවා. තාත්තා මේක දැකල අපට හොඳටම ගැහුවා.

ලන්ඩන් විශ්වවිද්‍යාල පරිසරයයි අපේ විශ්වවිද්‍යාල පරිසරයයි අතර වෙනස ඔබ දකින්නේ කොහොමද ?

ඒ ශිෂ්‍යයන් තමන් ආව කාරණය හොඳින් වටහාගෙන හිටියා. ඒ අය ඉල්ලීම් ඉල්ලන්නවත් ස්ට්‍රයික් කරන්නවත් ගියේ නැහැ. මම ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් 14,000ක් හිටියා. නවක වදය තිබුණේ නැහැ. මම ලන්ඩන්වල අවුරුදු දෙකහමාරක් හිටියා. කොහේ හිටියත් ලංකාව තරම් හොඳ නැහැ.

ඔබ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති තනතුරට පත්වුණේ කවදාද ?

2010 මැයි 26 වැනිදා. මේ ආයතනය කලින් තිබුණේ සමාජසේවා අමාත්‍යාංශය යටතේ. නමුත් මෙහි ක්‍රියාකාරිත්වය ගැන ජනාධිපතිතුමා සෑහීමකට පත්වුණේ නැති නිසා මුදල් අමාත්‍යාංශය යටතට ගත්තා.

මොකක්ද මේ සමාජ ආරක්ෂණ මණ්ඩලය කියන්නේ

ඉදිරි අවුරුදු හතර ඇතුළත ශ්‍රී ලංකාවේ හැම වැඩිහිටියකුටම විශ්‍රාම වැටුපක් ලබා දීම අපේ අරමුණයි. රජයේ විශ්‍රාම වැටුප් නොලබන සංස්ථා මණ්ඩල වගේම ස්වයං රැකියා කරන අයටත් මේ විශ්‍රාම වැටුප් ක්‍රමයට එකතු වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි මේ කටයුතු සිදුකෙරෙන්නේ.

අද වෙනකොට අපේ අරමුදලේ රුපියල් බිලියන 1.3ක් තියෙනවා. ඒවා ස්ථිර තැන්පතුවල දාලා තියෙන්නේ. එයින් තමයි විශ්‍රාම වැටුප් ගෙවන්නේ. අපිට දැනට සාමාජිකයන් 3 75000ක් ඉන්නවා. 7625 දෙනකුට විශ්‍රාම වැටුප් ගෙවනවා. තිළිණ, ඉසුරු, සුරැකුම කියලා විශ්‍රාම වැටුප් ක්‍රම 3 ක් තියෙනවා. ඕනෑම කෙනකුට මේකට බැෙඳන්න පුළුවන්.

අනෙක් විශ්‍රාම වැටුපට වඩා මෙහි ඇති විශේෂත්වය කුමක්ද ?

මෙහි රක්ෂණයකුත් තියෙනවා. යම් රක්ෂණ ලාභියෙක් අර්ධ ආබාධිත වුණොත් රු. 25000ක රක්ෂණයක් ගෙවනවා. පූර්ණ ආබාධිත වුණොත් ඒ ආබාධිත වූ දිනේ ඉඳලා - මුළු ජීවිත කාලයටම විශ්‍රාම වැටුප් ගෙවනවා.

මෙහි සාමාජිකත්වය ගන්න පුළුවන් කුමන වයස් කාණ්ඩයේ අයටද ?

අවුරුදු 18 - 59 අතර අයට සාමාජිකත්වය ගන්න පුළුවන්.

මේ මණ්ඩලය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කළොත්.

අපේ දිස්ත්‍රික්ක 22 ක කාර්යාල 22 ක් තියෙනවා. ඒවා පාලනය වෙන්නේ දිසාපති කාර්යාලයෙන්. සාමාජිකයන් බඳවා ගන්නේ ප්‍රාදේශීය ලේකම් මගින් සහ සමාජ සේවා නිලධාරීන් ග්‍රාමසේවා නිලධාරීන් විසින්. මීට අමතරව මේ මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරීන් ප්‍රාදේශීයව ඇවිදලා සාමාජිකයන් බඳවා ගන්නවා. බඳවා ගැනීම් සිදුකරනා ග්‍රාමසේවා නිලධාරීන්ට 15% ක කොමිස් මුදලක් දෙනවා.

ඇතැම් ග්‍රාමසේවා නිලධාරීන් රුපියල් හැට දාහක් වගේ කොමිස් මුදලක් උපයනවා. වසර අවසානයේ හොඳම දිස්ත්‍රික්කය, හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැඩිම බඳවාගැනීම් සිදුකළ ග්‍රාම නිලධාරී, තෝරලා දිස්ත්‍රික් ලේකම් ට ප්‍රාදේශීය ලේකම්ට, ග්‍රාම නිලධාරීන්ට තෑගි දෙනවා. මෙවර උත්සවය ලබන දෙසැම්බරයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා.

සමාජ ආරක්ෂණ මණ්ඩලය ඇති කළේ කුමන අරමුණකින්ද ?

අද මවුපියන්ට සලකන්නේ නැති දරුවෝ කොපමණ ඉන්නවාද ? ඒත් වයසක අම්මට මාසෙකට රුපියල් 5000ක විශ්‍රාම වැටුපක් ලැබෙනවනම් දරුවෝ පොරකයි ඒ අම්මව බලාගන්න. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා රටේම ඉන්න වයෝවෘධ අම්මලා තාත්තලා හිනාවෙලා ඉන්නවා දකින්න. ඒ වෙනුවෙන් තමයි මේක පටන් ගත්තේ.

මැද පෙරදිග ඉන්න අපේ ශ්‍රමිකයන්ටත් මේකට බැඳෙන්න බැරිද ?

මැදපෙරදිග ඉන්න අපේ ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු දෙදෙනෙක් ඒ රටවල සංචාරය කළා. මැද පෙරදිග ඉන්න 25,000 ක් පමණ පිරිස අපේ සාමාජිකයන් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදී විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වෙන්නේ කවදා ද

අපි ඒක ළඟදීම ක්‍රියාත්මක කරනවා. විවිධ වෘත්තීය සමිති මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුප් දෙනවා යැයි කියමින් නොයෙකුත් වංචනික ක්‍රියා සිදුකළා. අපි දැන් අලුතෙන් පනතක් හදලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරනවා.

මීට කලින් ඔබ සේවය කළේ මොන ආයතනවලද ?

ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් හැටියට අරලියගහ මන්දිරේ වසර 04ක් සේවය කළා. පැලවත්ත සීනි සමාගමේ සභාපති ලෙස සේවය කළා. ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නිසි බලධාරියා හැටියට අවුරුදු 08ක් සේවය කරමින් ඔහුගේ සියලු අමාත්‍යාංශය යටතේ වූ ආයතන පාලනය කළා.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කළ කාලයේ ඔබේ අත්දැකීම් විස්තර කළොත්.

ඒ කාලයේ නීතියක් තිබුණා සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රධානීන් අඟහරුවාදා උදේ අටට ජනපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාව හමුවෙන්න ඕනෑ කියලා. හරියටම වෙලාවට රැස්වීම්ශාලාවේ ඉන්න ඕනෑ කියලා. එදාට හැම ආයතනයක් ගැනම ප්‍රගති සමාලෝචනයක් කරනවා.

ඊට අමතරව හැම මාසයකම වාර්තාවක් දෙන්න ඕනෑ. පොඩ්ඩ බැරි වුණොත් බැණුම් ගොඩයි. අපේ අමාත්‍යාංශය ගැන එතුමා නොදන්න දෙයක් නැහැ. අපි කාමරයට ඇතුල් වෙන්නේ උත්තර ඇඟිලි තුඩුවල තියාගෙනයි.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීම පහසුද ?

ඉතාම පහසුයි. මොකද ඔහුට හැම විෂයක් ගැනම පාසල දැනුමක් තියෙනවා.

ඔබ සීමාසහිත කාමාට් සමාගමේ සේවය කළා නේද ?

ජයවර්ධන මහතා ළඟට යන්න කලින් කාමාට් ආයතනයේ වැඩ කළා. එහි සේවකයෝ 800 විතර හිටියා. නිතරම සේවක ප්‍රශ්න. ප්‍රබල වෘත්තීය සමිතියකුත් තිබුණා. වෘත්තීය සමිතියේ අරගලයන් නිසා වැඩවර්ජනයක් සිදුවුණා. එහිදී මම සේවකයන් 168ක් අස්කළා. ඒ අය නඩු කිව්වා. නමුත් නඩුවෙන් සේවකයන් පරාද වුණා.

ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා යටතෙත් ඔබ සේවය කළා නේද ?

විජේතුංග මහත්තයත් එක්ක අවුරුදු තුනක් වැඩ කළා. එතුමා හරිම ජාත්‍යාලයෙන් වැඩ කරපු කෙනෙක්. එතුමා යටතේ මම පැලවත්ත සීනි සමාගමේ සභාපති ලෙස වැඩ භාරගත්තා. ඒ කාලයේ එම ආයතනය බ්‍රිතාන්‍ය සමාගමක් යටතේයි තිබුණේ.

එතැන බ්‍රිතාන්‍ය ජාතිකයෝ 18 දෙනෙක් වැඩ කළා. ඔවුන් කර්මාන්තශාලාවට අවශ්‍ය ඇණ පවා ගෙන්වූයේ බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍ය සමාගමත් ලංකා ආණ්ඩුවත් අතර තිබුණු ගිවිසුමට අනුව පැලවත්ත සමාගමේ වාර්ෂිකව අලාභයක් වුණොත් ඒක ගෙවන්න ඕනෑත් ලංකා ආණ්ඩුවෙන්. ඔවුන් අලාභ පෙන්නලා කෝටි ගණන් මුදල් අරගෙන තිබුණා.

පැල්වත්ත සමාගම විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා නේද ?

ඒක වෙනම රාජ්‍යයක්. අක්කර හතළිස් දහසක් පුරා පැතිරී තියෙනවා. හැම නිලධාරියකුටම නිවසක්, වාහනයක් දරුවන්ට ඉගෙන ගන්න ජාත්‍යන්තර පාසලක් පිහිනුම් තටාක ආදී සියලු පහසුකම් දීලා තිබුණා. නමුත් සුද්දො කෝටි ගණන් සල්ලි හම්බ කරලා තමන්ගේ රටට යැව්වා. දුප්පත් ගොවීන්ට සහනයක් වුණේ නැහැ.

ඔබ එහි සභාපතිවෙලා සිදුකළ වෙනස්කම් මොනවාද?

මගේ සභාපති පඩිය ලක්ෂ 5 යි. ඒකට හේතුව බ්‍රිතාන්‍ය සාමාන්‍යාධිකාරී පඩිය ලක්ෂ 4 1/2ක්. මම ගිහිල්ලා මාස 03ක් ඇතුළත එහි සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් ආපසු යැව්වා. ගිවිසුම අවලංගු කළා. චීන සමාගමක් එක්ක ගිවිසුමක් ගැහුවා. පාලනය ඔවුන්ට භාර දුන්නා. ඉන්පසු චීන නිලධාරීන්ගේ පඩිය අනුව මගේ පඩිය රුපියල් ලක්ෂය දක්වා අඩු වුණා.

සබන් වතුර ගහලා වර්ජකයන් බය කළ කතාවක් ආරංචියි

පැලවත්ත සීනි සමාගමේ සභාපති වශයෙන් සේවය කරද්දී එක් උදෑසනක මගේ කොළඹ නිවසට උදේ පාන්දර 6.00 දුරකථනයෙන් කතා කොට එහි ආරක්ෂක කළමනාකරු (හිටපු උසස් ගුවන් හමුදා නිලධාරියෙක්) කීවා සේවකයන් 30 ක් 40ක් පමණ අපගේ ඉතා උස් වතුර ටැංකි මුදුනේ නැඟ සිටින බවත් තවත් 150ක් පමණ සේවකයන් බිම ඉඳගෙන සිටින බවත්. පැලවත්ත සීනි සමාගමට අයත්ව තිබුණා අංග සම්පූර්ණ ගිනි නිවන ඒකකයක්.

අවශ්‍ය සියලු උපකරණ සහ පුහුණු නිලධාරීන් එහි සිටියා. මම ආරක්ෂක කළමණාකරුට උපදෙස් දුන්නා අප ළඟ ඇති අධි ධාරිතාවයෙන් යුත් බවුසරයට වතුර පුරවා එයට සබන් මිශ්‍ර ද්‍රව්‍යයක් කවලංකොට උඩ නැග සිටින අයට විදින ලෙසට.

ඒ අනුව ඔහු ක්‍රියාත්මක වී වතුර විදින්නට පටන් ගන්නවාත් සමගම උඩ සිටි අය වඳිමින් ඉල්ලා සිටියේ ඔවුන් වහාම ඉන් බසින බව සහ වතුර විදින එක නවත්වන ලෙසයි. එසේම ඇසිපිය හෙලන සැනින් ඔවුන් පහළට බැස්සා.

හේතු සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණේ මොවුන් තාවකාලික සේවකයන් නිසා සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා මෙසේ කළ බවයි. මම එහි ගොස් එම සේවකයන් වහාම සේවයෙන් ඉවත්කළා. නමුත් කරුණු පහදා දී මාස දෙකකට පසු නැවත ඔවුන් සේවයේ පිහිටෙව්වා.

වෘත්තීය සමිති බොහෝ ගණනක් ක්‍රියාත්මක වුවත් පැලවත්ත සීනි සමාගමේ මා සභාපති වී හරියටම අවුරුද්දක් යනකොට අපේ ශුද්ධ ලාභය මිලියන 226යි. එවැනි ලාභ ලබපු ආයතනයක් තමයි රනිල් වික්‍රමසිංහ පුද්ගලික අංශයට විකිණුවේ.

මිලියන අටසිය ගණනකට ආපු ටෙන්ඩර් විසිකරලා මිලියන තුන්සිය ගණනකට විකිණුවා. ඒ විකුණන කොට කෝටි 200ක සීනි ගබඩාවල, කෝටි 120ක ස්ප්‍රිට් ගබඩාවල, හරියට නිකන් දුන්නා වගෙයි. මේක තමයි සෙවණගලටත් කළේ. මේක ජාතික අපරාධයක්. ඒක නිසා තමයි මම මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වුණේ.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සමඟ කටයුතු කිරීම පහසුද ?

අනෙක් රාජ්‍ය නායකයන් සමග සසඳා බලනකොට ජනපතිතුමා ගේ ලොකු වෙනසක් තියෙනවා. එතුමා හමුවෙන්න අරලියගහ මන්දිරයට ගිය මුල්ම දවස මට මතකයි. එතුමා මගේ ළඟට ඇවිල්ලා ඇහුවේ කෑම කෑවද කියලා. එහෙමනම් අපි කෑම ගනිමින් කතා කරමු කියලා එතුමා කිව්වා. ජනපතිතුමා මා ගැන පැහැදිලා ජනපති මන්දිරේම පත්වීමක් දුන්නා.

එතුමාගේ ඔබ දකින විශේෂත්වය කුමක් ද ?

එතුමාට උණුවෙන හදවතක් තියෙනවා. වැරැද්දක් කළොත් බනිනවා. හැබැයි විනාඩි 5ක් යනකොට හිත උණුවෙලා දුක් වෙනවා. මනුස්ස ගතිගුණ උපරිමයෙන්ම තියෙනවා. එතුමා හිනාවෙලා ඉන්නේ නැති වෙලාවක් තියෙනවද ? නිතරම පිරිසුදු හදවතින් ඉන්නේ. රටට ආදරය කරන නායකයෙක්.

අපේ රටේ ඉන්නේ කළ ගුණ දන්න ජනතාවක් නම් එතුමා මුළු ජීවිත කාලයටම නිතරගයෙන් ජනපති තනතුරට පත්කළ යුතුයි.

ඔබ ආයතන කිහිපයකම විධායක ශ්‍රේණියේ තනතුරු දරලා තියෙනවා. ඔබ වැඩියෙන් තෘප්තිමත් වෙන්නේ....

මම ගොඩක් සතුටු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ළඟින්ම ඇසුරු කිරීමට ලැබීම ගැනයි. ඒක මගේ ජීවිතයේ ලොකු භාග්‍යයක්. එතුමා මා කෙරෙහි තැබූ විශ්වාසය නිසා තමයි මාව මෙහි සභාපති කළේ’ මගේ අරමුණ ලබන ඡන්දයේදී ජනාධිපතිතුමාට ඡන්ද ලක්ෂ 5 ක් වත් අරන් දෙන්නයි.

පිරිස්පාලන සේවයේ පරිණත නිලධාරියෙක් හැටියට සමාජයට දෙන පණිවිඩය කුමක්ද?

තමන් කරන රැකියාව හරියට කරන්න. එවිට වැඩි වැටුප් උසස්වීම් ලැබෙනවා. වෘත්තීය සමිති කියන්නේ සම්පූර්ණ මිත්‍යාවක්.

පිරිස් පරිපාලන යට යොමු නොවුණානම් කවුරුන් වෙයිද ?

ව්‍යාපාරිකයෙක් වෙයි.

ඔබේ බිරිය හමුවුණේ කොහොමද ?

බිරිය මගේ ඇවැස්ස නෑනා. පොඩි කාලේ ඉඳලම අපි දන්නවා. අවුරුදු 07ක් ප්‍රේම කරලා විවාහ වුණා.

බිරියගේ නම –

නාලනි පෙරේරා

දූ දරුවන් ගැනත් කියන්න.

පුතාලා දෙදෙනෙක් සහ දුවක් ඉන්නවා. ලොකු පුතා දමින්ද අමරසිංහ. ඕස්ට්‍රේලියාවේ කොන්ට්‍රාස් ගුවන් සමාගමේ ගුවන් නියමුවකු හැටියට සේවය කරනවා.

දහම් අමරසිංහ දෙවැනි පුතා ලන්ඩන්වල ලොයිඩ්ස් බැංකුවේ ශාඛා කළමනාකරුවකු ලෙස සේවය කරනවා. දුව රසිකා අමරසිංහ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල විදුලි සංදේශ සේවා ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස කටයුතු කරනවා.

ඔබේ ආගමික නැඹුරුව කොහොමද ?

මම උදේට බුදුන් වැඳලා බුද්ධ පූජාව තියලා මවුපියන්ට පිං දෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂා කරදෙන්න කියලා ඉල්ලනවා. කිසිම වේලාවක බුදුන් වඳින්නේ නැතිව ගෙදරින් පිටව යන්නේ නැහැ.

මගේ නිවසේ බුදු ගෙයක් තියෙනවා. ඒක හරි බලවත් කියලා මට තේරෙනවා. අද උනත් මම කතරගම යනකොට ඒ පැත්තේ දුප්පත් මිනිස්සුන්ට හාල්, පොල් බෙදනවා. ඒ අය අපට හොඳටම පිං දෙනවා.

කලා කටයුතුවලට ඔබේ කැමැත්ත කොහොමද ?

සිංහල වේදිකා නාට්‍යවලට කැමැතියි. ඒ වගේම සාහිත්‍ය සම්මාන ලැබූ ජයසේන ජයකොඩිගේ “පරසතුරෝ” නවකතාව චිත්‍රපටියකට නිෂ්පාදනය කළෙත් මමයි.

කැමැතිම ගායකයා

අමරසිරි පීරිස්

විශ්‍රාම දිවිය කොහොම ගෙවෙයිද ?

විශ්‍රාම ගන්න බලාපොරොත්තුවක් නැහැ. ජීවත්වන තුරුම ජනාධිපතිතුමා යටතේ රටට දැයට සේවය කරන්නයි බලාපොරොත්තුව.

නිවාඩුවක් ලැබුණාම මොනවද කරන්නේ ?

නිවාඩුවක් ලැබුණු ගමන් මම කැලේ අලි බලන්න යනවා. උඩවලවේ නැත්නම් යාල යනවා. මේ ගමන යන්න මට යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. ඕන වෙලාවක අලි බලන්න නම් ලාහුගල යන්න ඕනෑ.

ලාහුගල වැවේ අලි 306 ක් වතුරට බහිනවා මම වීඩියෝ කරලා තියෙනවා. දවසක් මම යාළුවෝ පස් දෙනෙක් එක්ක ලාහුගල අලි බලන්න ගියා. වනජීවී නිලධාරීන් එපා කියද්දී අපි කැලේ ඇතුළටම ගියා.

අපි වැව ගාවටයි ගියේ. එක පාරටම අලියෙක් පන්නන් ආවා. මම ගස් නගින්න දන්නෙත් නැහැ. ඒ වෙලාවේ ඉබේටම ගහට නැඟුණා. අලි රංචුවක් ආවා. උන් පැයක් විතර ගහ යට හිටියා. අපි පස් දෙනාම ඉතිපිසෝ ගාථාව කිය කියා ගහ උඩට වෙලා ගැහි ගැහී හිටියා. පැයකට විතර පස්සේ අලි රංචුව කැලේට ගියා.

ඔබේ ජීවිතයේ පරමාර්ථය කුමක්ද ?

නැති බැරි අයට උදව් උපකාර කිරීම මගේ එකම අරමුණයි.

ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණේ කවදාද?

මෙවර නුවර පෙරහර අවසානයේදී පෙරහරේ දක්ෂතම නැටුම් ශිල්පීන් හතර දෙනෙකුට අපේ සමාජ ආරක්ෂණ ක්‍රමයේ සාමාජිකත්ව ඔප්පු පිරිනැමුවා.

ඒ අය මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. වයස සම්පූර්ණ වුණාම විශ්‍රාම වැටුප් ගෙවනවා. එදා මම ගොඩක් සතුටු වුණා.

සංවාද සටහන - අයන්ති විතාන
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා