අන්තරේ මැරයන්ගෙන් සරසවි සිසුන් බේරා ගනිමු

අන්තරේ මැරයන්ගෙන් සරසවි සිසුන් බේරා ගනිමු

මවුපියන් ඇසුරෙන් තාවකාලිකව ඉවත්වී සරසවි බිමට පිවිසුණ දූ දරුවන් කෙරෙහි මවුපියන් අවධානය යොමුවිය යුතු තීරණාත්මක මොහොත දැන් උදාවී ඇති බව අපි පසුගියදා පෙන්වා දුන්නෙමු.

තමන්ගේ දේශපාලන උවමනාවන් කවුරුන් හෝ බිල්ලට දී ඉටුකර ගැනීමට මාන බලන දේශපාලන අනාථයන් සරසවි දරුවන් මැර ක්‍රියාවලට පොළඹවාගෙන ඇති හෙයින් මවුපියන්ගේ ඉවසීමේ සීමාව දැන් ඉක්මවා ඇති බව ද අපි පෙන්වා දුන්නෙමු.

ඒ නිසාදෝ සරසවි බිමෙන් පොලිසියේ යකඩ කූඩුවල සිරවූ දරුවන් වෙනුවෙන් සානුකම්පිතව සිතා බලා සහනයක් ලබාදෙන ලෙස දැයේ දූ පුතුන්ගේ තාත්තා හමුවී මවුපියෝ ඉල්ලා සිටියහ.

උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා පේරාදෙණිය සරසවියේ ප්‍රශ්න ගැන විමසා බලන්නට ගිය මොහොතේ මැර බලය ඉස්මතුකොට ඇඟපත හිරිඇර ගන්නට මාන බලන අන්තරේ මානසික රෝගීහු දෙතුන් දෙනා සරසවි සිසුවියෝ ඉදිරියට තල්ලු කළහ.

කිසිදු ඉවක් බවක් දැනුමක් නොමැතිව ඔවුහු හූ කීහ. ගල් ගැසූහ. කොළඹ දී සිදුවූයේ ද ඒ ටිකමය. මවුපියන් ජනාධිපතිතුමාට සැල කළ සිටි පරිදි සරසවි සිසුන් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යාමට බස්වලට දමාගෙන ඇත්තේ බලහත්කාරයෙන්ය.

පොලිසිය සාමය රකින්නට ඉතා සංවේදීව ක්‍රියා කළ බව රාජ්‍ය නායකයා ද පිළිගෙන තිබේ. මෙල්ල කළ නොහැකි අකීකරු දරුවන් කූඩු කළේ කූඩු කළ යුතු මැරයන් නිදැල්ලේ සිටියදීය.

මේ තත්ත්වය මත උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා දැඩි කෝපයට පත්වී සිටින්නේ හයවරක් විභාගයට පෙනී සිට එයින් සමත්වන්නට නොහැකිව අන්තරේ මැරයෙකු හා තවත් දෙතුන් දෙනෙකු එකතුවී අහිංසක දරුවන් අමාරුවේ දැමීම නිසාය.

කෙසේ හෝ රාජ්‍ය නායකයා හමු වූ මවුපියෝ නිසි තත්ත්වය අවබෝධ කරගෙන සිටිති. මෙහිදී අවවාදයක් වශයෙන් රාජ්‍ය නායකයා කියාසිටියේ තමන්ගේ දරුවන් ගැන මීට වඩා අවධානයෙන් සිටිය යුතු බවය.

ඒ නිසා අපි නැවත වරක් මවුපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කරදණ්ඩ ඉහළ ගිය දූ පුතුන් මැරයන්ට භාර නොදී හැමවිටම ඔවුන් ගැන විමසිලිමත් වන ලෙසය.

එසේ විමසිලිමත් වන්නේ නම් අහිංසක දරුවන් බිල්ලට ගන්නා මැරයන් සිය දාමරික ක්‍රියා අත්හරිනු නොඅනුමානය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා