වසර 20ක් පුරා නොහඳුනන ජීවියෙක් මා සමඟ වැඩුණා

වසර 20ක් පුරා නොහඳුනන ජීවියෙක් මා සමඟ වැඩුණා

නාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් මහදිවුල්වැව

සුදත් මහදිවුල්වැව රූපවාහිනියේ වෙනස් මානයක් සොයා ගිය නිර්මාණකරුවෙකි. ‘ධවල රාත්‍රිය’ නිර්මාණයෙන් ඇරැඹි ඔහුගේ නිර්මාණ චාරිකාවේ අනෙකුත් නිර්මාණ අතර ‘දණ්ඩේලූ ගිනි’, ‘නාඳුනන පුත්තු’ හා ‘වනස්පති’ වේ. වාර්ගික අර්බුදය කේන්ද්‍ර කරගෙන ඔහු විසින්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ‘සුදු කළු සහ අළු’ සිනමාව පිළිබඳ නවමු කතිකාවක් ඇති කලේය. දිගු නිහැඬියාවකින් පසු ඔහු අසම්මත රංග ශෛලියේ පුරෝගාමී නාට්‍යකරුවෙකු වූ යුජින් ඉයනෙස්කෝගේ Amendee or How to get rid orite  නාට්‍ය ‘සහතික නොකළ මරණයක්’ නමින් ලබන 24 සහ 25 යන දෙදින තුළදී එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කිරීමට සූදානම් වෙයි. මෙම සංවාදය ඔහුගේ වේදිකා සම්ප්‍රාප්තිය පිළිබඳ ය.

* බොහෝ නිර්මාණකරුවන් වේදිකාවෙන් නිර්මාණ ජීවිතය ආරම්භ කොට පසුව ආත්ම ප්‍රකාශක මාධ්‍යය හැටියට තෝරාගන්නේ සිනමාවයි. ඔබ එයට වෙනස් භාවිතාවකට එළඹීමට හේතුව කුමක්ද?

මේ ප්‍රශ්නය බොහෝදෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් වගේම මේ ප්‍රශ්නය ඇතුළේ සිංහල වේදිකාව සම්බන්ධයෙන් ස්ථාපිතවී තිබෙන වැරදි කියැවීමක් හා වැරදි ස්ථානගතවීමක් අවධාරණය වෙනවා. අපේ රටේ පිළිගැනීමක් තිබෙනවා සිනමාවට හෝ රූපවාහිනියට පිවිසීමට වේදිකාව හරහා යායුතුය කියලා.

මම වේදිකාව සලකන්නේ සිනමාවට පෙර රූපවාහිනියට පිවිසීමට පුහුණු භූමියක් හැටියට නෙවෙයි. වේදිකාව සුවිශේෂ කලාවක්. මම කොළඹ එන්නේ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක්, රූපවාහිනී නිර්මාණකරුවෙක්, පුවත්පත් කලාවේදියෙක් වීමට හෝ වෙළඳ දැන්වීම්කරුවෙක් වීමට නොවෙයි. නාට්‍යකරුවෙක් වීමේ බලාපොරොත්තුවෙනුයි. මගෙ අතින් දින නියමයක් නැතිව කල් දැමුණෙත් මේ කාරණාවම තමයි.

* ඔබ “සහතික නොකළ මරණයක්” නාට්‍යය හරහා සිනමාත්මක ලාංකික වේදිකාවට ගෙන ඒමට උත්සාහ කළාද?

පැහැදිලිවම නැහැ. මම මේ නිර්මාණය හරහා සෙවීමට උත්සාහ කරන්නේ නාට්‍යයට අත තියපු ශුද්ධ කලාවයි. කෙටි කතාවකට හෝ චිත්‍රපටයකට ගෙනඑන්න බැරි නාට්‍යයකින් විතරක් කියන්න පුළුවන් ගුණාංග කියල සෙවීමේ පරීක්‍ෂණයකයි මම නිරතවෙලා සිටින්නේ. යුජින් ඉයනෙස්කෝගේ මෙම නාට්‍යය සංකල්පය ගැන කපිල කුමාර කාලිංග මට මුල්වරට කිව්වෙ මෙයට වසර විස්සකට පෙර දවසකයි.

එදා මගේ හිතේ ඇදුණු රූපය අවුරුදු විස්සක්ම මාත් එක්කම වැඩෙමින්, දිගහැරෙමින්, පැවතුණා. ඒ වගේම දෛවෝපගත ලෙස අයත්ස්කෝ ගේ නාට්‍ය පිටපත් නිෂ්පාදනය සඳහා අනුවර්තනය කරනු ලැබුවේත් කපිල කුමාර කාලිංග මහතායි.

* මේ සඳහා ඉයනෙස්කෝගේ නාට්‍යය පිටපතක්ම තෝරාගත්තේ ඇයි?

පාසල් යන කාලේ සිටම මගේ ළඟ හිටියා වෙනස් විදිහකට දේවල් කියන්න දඟලපු, වචන භාවිතා කළ, රූප භාවිතා කළ මනුස්සයෙක්. පාසලේ හිටපු ගුරුවරු, වැඩිහිටියෝ, විචාරකයෝ මේවා තේරෙන්නේ නැහැ කියන කොට මමද දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ජීවියා ගලවා වළදමනු ලැබුවා.

පසුව මම විෂයක් විදිහට හදාරනකොට මට තේරුණා මම පාසල් කාලේ උත්සාහ කළේ මේ වගේ දෙයක් කරන්න නේද කියලා. දැන් මම ආපහු ගොඩ ගන්නේ මගේ ලඟ ඉඳලා වළදැමූ ඒ ජීවියාම තමයි. ඉයන්ස්කෝ මට වැදගත් වෙන්නේ මෙතැනදියි. ඔහුගේ නාට්‍ය භාවිතාව හා මා තුළ අන්තර්ගතව තිබුණු දෙය එකට සමපාතවී තිබෙනවා. ඔහුගේ නාට්‍යයක් මගේ පළමු වේදිකා ආභාසය බවට පත්ව තිබෙන්නේ එම කරුණ මතයි.

* අසම්මත නාට්‍ය කලාව වර්තමානයටත් අදාළද?

ඉයනෙස්කෝ මේ නාට්‍යය ලිව්වේ 1953 දී. කාල පරතරය තිබුණත් ඔහු කියන්න හදපුදේ තව අවුරුදු ගණනාවක් යනතුරු වලංගුයි. අද සමාජය ඉයනෙස්කෝ නාට්‍යය පිටත ගෙන ඒමේදී අපේ පරිසරයට අනුව එහි වෙනස්කම් කළ යුතුයි. ඔහුගේ භාවිතාව ගැන අධ්‍යයන කරමින් අපි වෙනස්කම් මුල් පිටතට සාපේක්ෂව දැනුවත්ව කළා. ඒ පහසුව නිසා කරපු මගහැරයාමක් නෙවෙයි. එහි ගෞරවය මුළුමනින්ම හිමි විය යුත්තේ අනුවර්තකයාටයි.

අසම්මත රංග ශෛලිය ලෝකයේ බිහිවුණේ ඓතිහාසික පසුබිමක් මතයි. ගී‍්‍රක, රෝම නාට්‍ය කලාවේ සිට මධ්‍යකාලීන එලිසබෙතියානු කලාවට පැමිණීමෙන් පසුව යථාර්ථවාදයේ පියා හැටියට සැළකූ හෙන්රික් ඉබ්සන් යථාර්ථවාදයෙන් ඔබ්බට ගොස් මිනිසුන්ගේ ජීවිතයට සෘජුව මැදිහත්වන අමුතු කතන්දර කලාවක් ගොඩනඟනවා. නාට්‍යකලාවේ අග්‍රඵලය විදිහට සැළකෙන එම මැදිහත්වීමෙන් පසු ලෝක යුද්ධ දෙකක් ඇතිවෙනවා.

ඥානයෙන් උපරිම පරිපාකයට යාමෙන් පසු මිනිස්සු මිනිස්සු ඇණකොටාගන්නා තත්ත්වයකට පත්වීම චින්තකයන් ප්‍රශ්න කරන්නට පටන් ගන්නවා. මිනිසාගේ පැවැත්ම, හෙට දවසේ බලාපොරොත්තු යනාදිය පිළිබඳ, අසම්මතවාදය පැන නඟින්නේ යුද්ධ දෙකකට පසු සමාජය නැවත පිළිසකර කළ යුතුය යන හේතුව මතයි. මෙම කරුණ අපිට වැදගත් වන්නේ වසර තිහක යුද්ධයකට පසු දැන් අපේ සමාජයත් හුස්ම ගන්න පටන් ගෙන තිබෙනවා. ඒ නිසා අසම්මත නාට්‍යය බිහිවීමට බලපෑ වකවානුව හා අද අප මුහුණදෙමින් සිටින වකවානුව අතර සමානකමක් මට දැනෙනවා.

* ඔබ මෙයට පෙර නිර්මාණය කළ “සුදු, කළු හා අළු” චිත්‍රපටය හරහා කියන්නට උත්සාහ කළේත් මෙම කරුණම නොවේද?

එක විදිහකින් බැලුවහම මේ සෑම නිර්මාණයක් අතරම පෙනෙන නොපෙනෙන හුයක් තිබෙනවා. නැත්නම් මට මේ කතන්දරය මේ තරම් සංවේදීවීමට හේතුවක් නැහැ.

* ටෙලිනාට්‍යය කලාවෙන් ඔබ මේ වන විට මුළුමනින්ම ඈත්වී සිටිනවාද? ඉදිරියේදී ගනුදෙනු කිරීමට අදහස් කරනවාද?

ලෝකයේ රූපවාහිනී නාට්‍යය පටන් ගැනෙන්නේ බඩු විකිණීමට යොදාගැනෙන මෙවලමක් හැටියටයි. නමුත් ලංකාවේදී ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ගත්විට ඉතා කලින් ශාස්ත්‍රීය ගනුදෙනුවක් පටන් ගත්තා. මගේ පරම්පරාවේ මිනිසුන් ගණනාවක් එයට දායක වුණා. මම නිර්මාණය කළ ‘වනස්පති’ නිර්මාණයේ එක කොටසක් නිෂ්පාදනය කිරීම සඳහා පමණක් ලක්‍ෂ 16ක මුදලක් යෙදවූවා.

නමුත් අද ඊට වසර පහළොවක් ගතවූ පසු ලක්‍ෂ දෙකහමාරකට ටෙලි නාට්‍යයක් විකුණන තැනට මෙගා ටෙලිනාට්‍ය ඛේදවාචකය නිසා පල්ලම් බැස තිබෙනවා. කර්මාන්තයක් විදිහට වගේම ගුණාත්මක අතිනුත් අද වන විට ටෙලි නාට්‍යය කලාව බිඳවැටිලා තිබෙනවා. කිහිපදෙනෙක් පමණයි යමක් කිරීමට උත්සාහ කරන්නේ. මෙහෙම ඉඳහිට මුණගැහෙන පුංචි පුංචි කාරණා කිහිපයක් හැරුණුවිට සමස්තය තිබෙන්නේ ඛේදවාචකයක. අපිම ආපහු රූපවාහිනියට එනවා නම් එන්න වෙන්නේ වෙනත් විදිහක සිතුවිලි හා ක්‍රමවේදයක් සමඟයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා