විෂ්ණු - කතරගම දෙවිවරු සමඟ මට ආධ්‍යාත්මික බැඳීමක් තියෙනවා

විෂ්ණු - කතරගම දෙවිවරු සමඟ මට ආධ්‍යාත්මික බැඳීමක් තියෙනවා

ජානක ප්‍රියන්ත බණ්ඩාරගේ ජීවිතයට එබී බැලීමක්....

හේ වරෙක නීතිඥවරයෙකි. තවත් වරෙක මහේස්ත්‍රාත්වරයකු මෙන් ම අතිරේක දිසා විනිසුරුවරයෙකි. එසේ ම වරෙක හෙතෙම ශ්‍රී ලංකාවේ ලාබාලතම මහා භාරකාරවරයා වන්නේ ය. එතැනින් නොනැවතුණ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය. එතැනින් ද නොනැවතුණු මේ ලාබාල තරුණයා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ද වන්නේ ය. හෙතෙම අද එක්සත් ජනතා නිදහන් සන්ධාන ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලබයි. නමින් ඔහු ජානක ප්‍රියන්ත බණ්ඩාර වේ. ‘දිනමිණ’ ‘දියවන්නාවේ නැදෑයෝ’ ඔස්සේ අප ඔහුගේ ජීවිතයට එබී බැලූ අයුරුයි මේ...

* ඔබේ සම්පූර්ණ නම කොහොමද?

‘මගේ සම්පූර්ණ නම ජයසිංහ මුදියන්සේලාගේ ජානක ප්‍රියන්ත බණ්ඩාර’

* ඔබේ උපන් දිනය, උපන් ගම, පවුලේ තොරතුරු කොහොමද..?

‘මගේ උපන් දිනය 1968 වර්ෂයේ ජනවාරි මස 1 වැනිදා. මම ඉපදී ඇත්තේ අම්පාර පළාතේ ඉඟිනියාගල කියන ඈත දුෂ්කර ගම්මානයක. නමුත් මම කුඩා කල හැදී වැඩුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීර කැටිය බුද්ධියාගම කියන ගමේ අපේ පාරම්පරික නිවසේ..’ ‘මගේ පියාගේ නම දේශප්‍රිය බණ්ඩාර. එතුමා නීතිඥයකු මෙන් ම වැඩබලන මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේ ම ඔහු ජීවත්ව සිටිය දී කොළොන්න ආසනයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළා.

1989 අප්‍රේල් 25 වැනිදා මගේ පියාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතා කෲර ලෙස වෙඩිතබා මරා දැම්මා. මගේ මෑනියන්ගේ නම සිරිමා පද්මිණි ජයසූරිය. පවුලේ සහෝදර සහෝදරියන් ගණන මාත් සමඟ 6දෙනයි.  මම පවුලේ දෙවැනියා. මට වැඩිමල් අක්කා කුමාරි මට බාල නංගි මාලි, ඊට බාල නංගි ශ්‍රීමා, ඊළඟට ඉන්න නංගි නිශාන්ති. බාලම මල්ලී සුගීශ්වර ලෙනින්...’

* ඔබ අකුරු කරවන්නේ...?

‘මම මුලින් ම අකුරු කරවන්න ඇතුල් වුණේ මැදමුලන මහා විද්‍යාලයට. අනතුරුව මණ්ඩාඩුව මහා විද්‍යාලයෙන් ද මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ද්විතියික අධ්‍යාපනය සඳහා මම 1978 වර්ෂයේ දී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ඇතුලු වුණා. මම එහි සිංහල විවාද කණ්ඩායමේ නායකයා ලෙසින් ද බෞද්ධ සංගමය, සිංහල සාහිත්‍ය සංගමය වැනි සංගම්වල සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. පාසලේ හොඳම සිංහල කතිකයා ලෙස මම වසර ගණනාවක දී සම්මාන ලබා තිබෙනවා. ශාන්ත තෝමස් විද්‍යාලයේ මගේ සිංහල ගුරුවරුන් වූයේ අරිසෙන් අහුබුදු, සැදස් කෝපරහේවා, කුඹේ ජයසූරිය, වැනි හෙළ හවුලේ විද්වතුන්...’ ‘මම විශ්වවිද්‍යාලයට තේරුණු අවදියේ ම තමයි ජවිපෙ මගේ පියාව වෙඩිතබා මරා දමන්නේ. ඒ කම්පනයත් එක්කයි මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ..’

* ඔබ විශ්වවිද්‍යාලයට යන්නේ ජාතික ඇඳුම ඇඳගෙන. සෙරෙප්පු සපත්තු දැමීම ඔබ ඒ කාලයේ ප්‍රතික්‍ෂේප කළ බවයි අප අසා ඇත්තේ..?

‘ඔබ කී කතාව ඇත්ත. එවකට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජාතික ඇඳුම ඇන්ඳ සෙරෙප්පු සපත්තු නොදාපු එකම ශිෂ්‍යයා මමයි. ශාන්ත තෝමස් විදුහල වැනි ඉංග්‍රීසි පන්නයට සැකසුණු, එවැනි උරුවක් තියෙන විදුහලක ඉගෙනගත් මම ඒ පාසලෙන් එළියට ආවේ හොඳම හොඳ සිංහලයෙක්, බෞද්ධයෙක් හැටියටයි. ඒ අනුවයි මම විශ්වවිද්‍යාලයට රෙද්ද බැනියම අඳින්නේ. සපත්තු සෙරෙප්පු නොදා යන්නේ. මෙය මුළු විශ්වවිද්‍යාලයටම අලුත් අත්දැකීමක් වුණා.’ ‘ඔය කාලෙම තමයි දඹානේ වැදි පරපුරෙන් දරුවෙක් විශ්වවිද්‍යාලයට ආවේ දඹානේ ගුණවර්ධන කියලා. එයාට ජන මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. විශ්වවිද්‍යාල තුළ හිටපු ජ්‍යෙෂ්ඨයෝ හිතුවා රෙදි බැනියම් ඇඳගෙන, සපත්තු සෙරෙප්පු නොදා ඉන්න ඒ වැද්දා මම කියල.

නවකවදය අවස්ථාවල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ මට කෑ ගහලා කියනවා ‘ඒයි වැද්දා ඔහොම හිටපන්...’ කියලා. එතකොට මම නතර වෙලා ඒ අයට කියනවා’ මම ඒ වැද්දා නම් නෙමෙයි. ඒ දඹානේ ගුණවර්ධන මම නෙමෙයි’ කියලා. ‘එහෙනම් උඹ කොහේද ස්කෝලෙ ගියේ’ කියලා ඒ අය මගෙන් අහනවා... මම ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ගියා කිව්වහම මුලින් ඒ අය පුදුම වුණා.  ඒක සමහරු පිළිගත්තේ නෑ. ඒ අය කියනවා එවැනි විදුහලකින් මෙහෙම මිනිහෙක් එළියට ආවේ කොහොමද කියලා. පස්සේ ඒ අය මට ආදරේ කළා. මාව අගය කළා...’

* විශ්වවිද්‍යාල ජීවිතය තුළ ඔබට අමතක නොවන සිදුවීම් ඇති...?

තරුණ වියේ දී

‘1990 වන විට කොළඹ විශ්වවිද්‍යාලය තුළ තිබුණ තත්ත්වය ගත්තොත් සම්පූර්ණයෙන් ම ජවිපෙ සමූල ඝාතනය වෙලා. ශිෂ්‍ය ව්‍යාපාරය බිඳ වැටිලා එජාපය වැනි කොටස් ශක්තිමත් වෙලා තිබුණේ. කොළඹ විශ්වවිද්‍යාලය තුළ තිබුණා ස්වාධීන ශිෂ්‍ය සංගමයක්. දයා පතිරණ වැනි අය නායකත්වය දුන්න. ඒ අය හැමවිටම කිව්වේ විශ්වවිද්‍යාලය තුළට ඔජායේ වැදි සොමිය ගේන්න ඕනා කියා කියපු උදවිය. ආතල් එක, සොමිය, රැග් එක බකට් එක වෙනුවෙන් පෙනී සිටිය උදවිය.

ඔවුන් නියෝජනය කෙළේ පාදඩ සංස්කෘතිය. ඒ අය මාව දැක්කේ හතුරෙක් විදිහට. නවක වදය අවස්ථාවේ ඔවුන් මාව අමුඩේ ගැස්සුවා. අමුඩේ ගස්සවලා මාව විශ්වවිද්‍යාලය වටේ ම අරන් ගියා.  මම පස්සේ ඔවුන්ට කිව්වා මෙයට එහා පරම්පරා දෙකක් තුනක් ගිය තැන අපේ මුත්තලා අත්තලා අමුඩේ ගහපු මිනිස්සු. අමුඩේ ගහලා ගොවිතැන් බත් කරපු මිනිස්සු. ඒ නිසා මට අමුඩේ ගහන එක ඒ තරම් දෙයක් නෙමෙයි කියලා. මම එදාවත් එවැනි දේවල්වලින් සැලුණු පුද්ගලයෙක් නෙමෙයි...’

* විදෙස් සංචාරවලදී ඔබ තවමත් ජාතික ඇඳුම ද අඳින්නේ... එතකොට සෙරෙප්පු සපත්තු තවම දාන්නේ නැද්ද..?

‘විදෙස් සංචාරවල දී මම තවමත් ජාතික ඇඳුම අඳින්නේ. දැන්නම් මම සෙරෙප්පු පාවිච්චි කරනවා. හැබැයි විශ්වවිද්‍යාල ජීවිතය තුළම මම සෙරෙප්පු සපත්තු නොදා හිටියා. ජාතික ඇඳුම ඇන්දා...’

* මෙවැනි අභියෝගාත්මක දේ කරන්න ඔබ ඔබේ ආත්ම ශක්තිය වඩවා ගත්තේ කොහොමද...?

‘එය මගේ සංසාරික පුරුද්ද වෙන්නැති. සංසාරිකව එන ජානමය දෙයක් කියලයි මම කල්පනා කරන්නේ. ඒ වගේම මගේ තාත්තාගේ මරණයත් සමඟ මට ලැබුණු ශක්තිය – පන්නරය වෙන්නැති. ඒ වගේ ම මා ඉගෙන ගත් පාසලෙන් ලැබුණු පන්නරය ද මෙයට හේතු වන්න ඇති. මනුෂ්‍යයෙක් වුණහම කුමන හෝ දර්ශනයක් තිබිය යුතුයි. දර්ශනයක් නැති මිනිහා හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ. එහාට මෙහාට වැනෙනවා.

එක එක්කෙනාගේ නූල් පන්දුවලට නැටවෙනවා. කුමන අභියෝගයක් ආවත් මගේ ප්‍රතිපත්තිවලින් මම පිට පනින්නේ නෑ. දැන් මට අවුරුදු 44ක් වෙනවා. මේ ජීවිත කාලයම මම මත්පැන් පොඳක් කටේ තියලා නෑ. මම දුම්වැටියක් කටේ තියලා නෑ. මගේ භාර්යාව ඇරෙන්න වෙන කාන්තාවක් මම ආශ්‍රය කර නෑ. මම හොරකම් කරලා, යටි මඩි ගහලා, කොමිස් ගහලා නෑ. මම ගත කරන්නේ ඉතාමත් පිරිසුදු ප්‍රතිපත්ති ගරුක ජීවිතයක්...’

* ඔබ නීතිවේදියෙක්. නීතිය කිව්වහම ජනතාව එක්වරම කියන්නේ ඔය ‘ගිනිකන’ ජොබ් එක කියලා ඔබ ඒ ගැන මොකද කියන්නේ...?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස..

‘මගේ පියාත් අවුරුදු 20ක් නීති වෘත්තියේ යෙදුණු අයෙක්. එතුමාගේ ගුරුවරයා අභාවප්‍රාප්ත කලවාන හිටපු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම මහතා. සරත් අප්පෝ වගේ ම මගේ පියාත් නීතියෙන් ජනතාව ගසාගෙන කෑවේ නෑ. තාත්තාගේ මරණයෙන් අවුරුදු 7ට පමණ පසුයි මම නීති වෘත්තියට එන්නේ.  ඒ වෙනකොට මගේ පළාතේ ගොවිතැන් බත් කරන මිනිස්සු මේ අපේ දේශප්‍රිය බණ්ඩාර මහත්තයා ගේ පුතා කියලා මා දැඩි ආදරයෙන් තමයි වැළැඳ ගත්තේ.  මගේ තාත්තා පෙන්වපු මඟ ඔස්සේ තමයි මගේ නීති වෘත්තිය මම ගෙන ගියේ. මම කිසිදාක නඩත්තු නඩුවකට මුදල් අය කෙළේ නෑ. මගේ තාත්තාගේ ආභාෂය තමයි මගේ වෘත්තීය ජීවිතය තුළත් තිබුණේ..’

‘මේ නීති වෘත්තිය තුළ මට කිසි සැනසීමක් තිබුණේ නෑ. කිසි සතුටක් තිබුණේ නෑ. එය යාන්ත්‍රික මුදල්වලට කෑදර මිනිසුන්ගේ වෘත්තියක් ලෙසයි මට දැනුණේ. මම කල්පනා කළා නීති වෘත්තියෙන් ජනතාවට යමක් කළ යුතුයි කියා.  මට දැනුණා උසාවිය කියන්නේ ජනතාව බියවද්දන තැනක් කියා. ඒ බිය ඇති වී ඇත්තේ ඔවුන් නීතිය ගැන ඇති නොදැනුවත්කම නිසයි. ඒ බිය නැතිකරන්න මිනිසුන්ට නීතිය කියාදිය යුතුයි කියා මා කල්පනා කළා. ඒ අනුව ‘නීතිය ගමට’ කියන වැඩසටහන මම ඇති කළා.  ඒකෙන් මම ජනතාව නීතිය පිළිබඳ දැනුවත් කළා. ජනතාව නීතිය පිළිබඳ දැනුවත් වූ විට නීතියෙන් ජනතාව සූරා කන්න තියෙන ඉඩ ඇහිරෙනවා..’

* කෙටි වයසක් තුළ ඔබ තනතුරු රැසක් දරපු පුද්ගලයෙක්. ඔබේ වයසට මේ තනතුරු රැස ඔබ දරා ගත්තේ කොහොමද?

‘ඒ තනතුරු සියල්ල මට දරාගන්න පුළුවන් වුණා. මොකඳ මනුෂ්‍යයෙක් තුළ අවංකකමයි, කැපවීමයි තියෙනවා නම් ලැබෙන ඕනෑම දෙයක්, ඕනෑම තනතුරක් දරාගත හැකියි...’

* ඇයි ඔබට ‘ජනතා ආණ්ඩුකාරවරයා’ යනුවෙන් සබරගමුවේ ජනතාව ආමන්ත්‍රණය කරන්නේ..?

‘ආණ්ඩුකාරතුමා කිව්වහම අපේ ජනතාව දකින්නේ, ටොරින්ටන් ආණ්ඩුකාරතුමා, බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා, එහෙම නැතිනම් ඔලිවර් ගුණතිලක, විලියම් ගොපල්ලව, වැනි අයෙක් තමයි අපේ මිනිස්සුන්ගේ මනසේ තියන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට කිට්ටුවෙන්න බැරි ආණ්ඩුකාරවරු ලෙසයි ජනතාව හිතන්නේ. නමුත් මම ආණ්ඩුකාරධූරය දැරූ කාලය තුළ මම උත්සාහ ගත්තා ආණ්ඩුකාරධූරය ජනතාකරණය කරන්න. සබරගමුවේ ඈත එපිට හද්දා පිටිසර ගම් දනව්වල ඇවිදිමින්, හේනේ කුඹුරේ, පැලේ පිලේ ජනතාව අතර ගැවසෙමින් ජනතාවගේ ආදරණීය චරිතයක් බවට ‘ආණ්ඩුකාරවරයා’ පත්කරන්නයි මම කටයුතු කළේ. සබරගමුවේ ඕනෑම අයෙකුට මා සමඟ කිසිඳු බාධාවකින් තොරව කතා කරන්න මම Hot Line සේවාවක් පවා අරඹා තිබුණා. ඒ අනුව මම ආණ්ඩුකාරධූරය ‘ජනතා ආණ්ඩුකාරධූරයක් බවට පත් කරපු නිසා වෙන්නැති සබරගමුවේ ජනතාව මා පිළිබඳව එවැනි ‘ආදරණීය බවකින්’ මතක් කරන්නේ..’

 ජානක - පියාරා විවාහවූදා

* ඔබට කොහොමද පියාරා මහේෂි පිනිදිය හමුවන්නේ...?

ඇය හමුවීමත් හරි සුන්දර කතාවක්. ඇයත් කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරිනියක්. මම ඇත්තටම විවාහ වෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. පුංචි කාලයේ මගේ වීරයා වුණේ අනගාරික ධර්මපාලතුමා. මම පුංචි කාලයේ හැඳුණේ වැඩුණේ ආත්තම්මා සහ සීයා ළඟ, ඒ අයගෙන් තමයි කුඩා කාලයේ සිට මම ජාතිකත්වය පිළිබඳ හැගීම් ඇතිවුණේ. ඒ නිසාම මම විවාහ නොවී පූර්ණකාලීනව දේශපාලනය කරනවා කියන සිතිවිල්ලේ හිටියේ.

නමුත් ප්‍රමාදවෙලා හරි විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ දී පමණ මගේ ජීවිතයටත් ආදරය ගලා ආවා. ඒ තමයි පියාරා. ඇය දුරින් මගේ ඥාතිවරියක්. ඇයව මම පුංචි කාලයේ ඉඳලම දන්නවා. 1993 දී පමණ මමත් – පියාරාත් අතරේ ආදර සම්බන්ධයක් ගොඩනැගුණා. පියාරාගේ මහ ගෙවල් ගල්කිස්ස හුළුදාගොඩ මමත් පියාරාත් අතරේ අවුරුදු 7ක පමණ ප්‍රේම සම්බන්ධය පැවැතුණා. අවසානයේ අපි දෙදෙනා 2000 වසරේ නොවැම්බර් 6 වැනිදා විවාහ වුණා...’

* විවාහ වෙන්න ප්‍රථම ඔබ ‘ආදරය’ ගැන කොහොමද හිතුවේ?

‘ඒ කාලයේ දී මම හිතුවේ ආදරය බොළඳ දෙයක් ලෙසටයි. ආදරය අන්ධයි කියලයි මම කල්පනා කෙළේ. නමුත් මම අද විශ්වාස කරනවා මගේ සහකාරිය තේරීමේ දී මගේ තීරණය නිවැරැදියි කියා. පියාරා මට ආදරය කෙළේ මම රෙදි බැනියම් අඳීන, සෙරෙප්පු සපත්තු නොපළදින කාලයේ. මම ඒ කාලයේ නීතිඥවරයෙක් වෙන්න කියා හිතලවත් නෑ. ඒ කාලේ අපේ ජීවිත පවා අවදානම් තත්ත්වයේ තිබුණේ. පියාරා එහෙම මට ආදරය කරන කොට මම දැක්කා අව්‍යාජ බවක්. ඒ වගේ ම ඇය නගරයේ හැඳුණත් වැඩුනත් ඈ තුළ දක්නට ඇත්තේ ගැමි ගතියක්. මම ඇගේ ඒ නිර්ව්‍යජත්වයට, ගැමිකමට ආදරය කළා...’

* ඔබේ දරුවන් ගැන කතා කළොත්..?

‘අපි දෙන්නට දැන් දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. වැඩිමහල් පුතා විභූති අනුහස් බණ්ඩාර වයස අවුරුදු 9යි. ඉගෙන ගන්නේ එන්සෙෆ් ලංකා බෞද්ධ විදුහලේ 4 වසරේ. දියණිය පාරමී අනුත්තරා බණ්ඩාර වයස අවුරුදු 6යි. ඇය ඉගෙන ගන්නේ කොළඹ විශාඛා විදුහලේ දෙවන වසරේ...’

* ඔබේ ලග්නය...?

‘මගේ ලග්නය සිංහ...’

* නක්ෂත්‍රය ගැන ඔබ තුළ ඇති විශ්වාසය...?

 සිය පවුල

‘නක්ෂත්‍රය පිළිබඳව මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. මෙය තාරකා සම්බන්ධ විෂයයක්. ඒ වගේ ම බුදු දහමේ කර්මය පිළළිබඳ ප්‍රකාශනයක් විදිහට මම නක්ෂත්‍රය හඳුන්වන්න කැමැතියි. ඒ වගේ ම එහෙම නක්ෂත්‍රය මට විශ්වාස වූ අවස්ථා රැසක් තියෙනවා. 2004 මහේස්ත්‍රාත්වරයෙක් ලෙස මගේ වැඩ තහනම සිදුවුණා. එදා සිට 2011 මේ දක්වා කාලය තුළ තමයි මගේ ජීවිතයේ වැඩි ප්‍රමාණයක ගැටුම් ඇතිවුණේ. රක්ෂාවල් හයකට මාරුවුණා. ගෙවල් 13කට මාරුවුණා. මේ කාලය මම ගෙවන්නේ සෙනසුරු ඒරාෂ්ටකයක්. ඒ සෙනසුරු ඒරාෂ්ටකය මේ අවුරුද්දේ නොවැම්බර් අවසන් වෙනවා. ඊට පස්සේ මෙයට වඩා හොඳ කල දසාවක් ඒවි කියා මම විශ්වාස කරනවා...’

* දෙවියන් පිළිබඳ ඔබේ විශ්වාසය කෙබඳු ද...?

‘මට දෙවිවරු පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙනවා. මගේ දර්ශනය මේකයි. මම අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙක්. අපේ ජාතිය මෙතේ බුදුහාමුදුරුවන් දකින්න පෙරුම් පුරණ ජාතියක්. මෙතේ බුදුන් දැක නිවන් දකින්න. ලෝකයේ කිසිම ජාතියකට මෙවැනි නිරාමිස ප්‍රාර්ථනයක් නෑ. ඒ වගේ ම ගෞතම බුදුරඳුන්ගේ සම්බුද්ධ ශාසනය, රකින ජාතියක් අපි. ඒ නිසා අන් රටකට, ජාතියකට නැති අධ්‍යාත්මික බවක් මේ රටේ පය ගසාගෙන ඉන්න අපට තියෙනවා.

දුටුගැමුණු රජතුමා මේ රට තෙවරක් සම්බුද්ධ ශාසනයට පූජාකර තියෙනවා. දේවානම් පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ හමුවේ අතපැන් වත්කරලා මේ රට ශාසනයට පූජා කර තිබෙනවා. කිත්සිරි මෙවන් රජතුමා මේ රට දළදා වහන්සේට පූජා කර තිබෙනවා. ඒ නිසා මේ රටේ මේ පොළව සාංඝික දෙයක්. මේ සියලුම දේවල් අධ්‍යාත්මික බලය කේන්ද්‍රගත වී ක්‍රියාත්මක වන තැනක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා මේ රටට කාටවත් කිසිදා හානියක් අවැඩක් කරන්න කාටවත් බෑ...’

* ඔබ අදහන විශේෂ වූ දෙවිවරු ඉන්නවද?

බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධ ශාසනය රකින්න බාරදී ඉන්න විෂ්ණු දෙවි හාමුදුරුවන් සමඟ මට විශාල අධ්‍යාත්මික බැඳීමක් තියෙනවා. කතරගම දෙවි හාමුදුරුවන් තමයි මේ රටේ සිංහල ජාතියේ ආරක්ෂකයා. උන්වහන්සේ සමඟ ද මම දැඩි ආත්මීය සම්බන්ධයක් තියෙනවා...’

* දේශපාලනඥයකු ලෙස ඔබේ අවසාන ඉලක්කය...?

‘මම ජීවත්වෙන්නවත්, වරප්‍රසාද ලබා ගන්නවත් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. මම ප්‍රතිපත්තියක් අනුව දේශපාලනය කරන කෙනෙක්. මගේ දේශපාලනයේ එකම බලාපොරොත්තුව මේ රට බෞද්ධ රාජ්‍යයක් බවට පත්කර ගැනීමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා