’73 කුමන්ත්‍රණයේ දී මිය ගිය චිලී ජනපතිගේ මළ සිරුර පරීක්‍ෂාවට

’73 කුමන්ත්‍රණයේ දී මිය ගිය චිලී ජනපතිගේ මළ සිරුර පරීක්‍ෂාවට

චිලියේ 1973 කුමන්ත්‍රණයෙන් පසු ජනාධිපති මන්දිරයේ තිබී එරට සමාජවාදී ජනාධිපති සැල්වදෝර් ඇලන්ඩේ ගේ මළ සිරුර හමුව තිබුණු අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පළමු වරට පරීක්ෂණයක් පැවැත්වීමට බලධාරීන් දැන් තීරණය කර තිබේ. 1973 සැප්තැම්බර් 11 දා ආඥා දායක හමුදා පාලක ඔගස්ටෝ පිනෝෂේ බලයට ගෙන ආ අමෙරිකානු සහාය ලත් කුමන්ත්‍රණයෙන් පසු මේ දක්වාම ඇලන්ඩේ ගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස සැලකී තිබිණ.

ඇලන්ඩේ ඇතුළු පුද්ගලයන් 726 දෙනකු සම්බන්ධ විමර්ශනයන් සඳහා නඩු පවරා ඇති චිලී චෝදක නිලධාරී බියට්‍රිස් පෙඩ්රාල්ස්, මෙතෙක් පරීක්ෂා නොකළ දේ අධිකරණයෙන් පරීක්ෂා කරනු ඇතැයි කියා තිබේ. එමගින් ඇලන්ඩේට සිදුවූ දේ අනාවරණය වනු ඇතැයි ද ඔහු කීවේය. 1970 දී ඡන්දයෙන් බලයට පත් ඇලන්ඩේ මාක්ස්වාදියෙකි.  එක්සත් ජනපදය සතු එරට ආකර කර්මාන්තය ජනසතු කිරීම ඇතුළු සමාජවාදී පියවර හේතුකොට ගෙන සෝවියට් හිතැති රජයක් චිලියේ ස්ථාපිත වනු ඇතැයි එක්සත් ජනපදයත් චිලී කොන්සර්වැටිව් වාදීනුත් බියට පත්ව තිබිණ.

එකල අමෙරිකානු රාජ්‍ය ලේකම් ව සිටි හෙන්රි කී සින්ගර් හා ජනාධිපති රිචඩ් නික්සන් චිලිය කොමියුනිස්ට් රාජ්‍යයක් වනු දැක්ම අපි‍්‍රය කළහ. කෙසේ වෙතත් ඇතිවූ කුමන්ත්‍රණයේ දී හමුදාව ජනාධිපති මන්දිරය වට කරද්දී ගුවනින් ඊට බෝම්බ හෙළිණ. 65 හැවිරිදි ඇලන්ඩේ ගේ මළ සිරුර මන්දිරයේ තිබී හමුවූ අතර ඔහු සිය දිවි නසා ගෙන ඇති බව ප්‍රකාශ කෙරිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා