ව්‍යවහාරික බුද්ධිමතා

ව්‍යවහාරික බුද්ධිමතා

මාර්ටින් වික්‍රමසිංහ

ඩී.ආර්.විජයවර්ධන මහතාගේ අභාවයෙන් දින පහකට පසුව 1950 ජුනි 18 වැනිදා “සිළුමිණ” පත්‍රයේ පළවූ ලිපියකි.

ඩී.ආර්.විජයවර්ධන මහතා ජාති හිතෛෂියකු ලෙස මා හඳුන්වන්නේ කුමක් නිසා දැයි සමහරු ප්‍රශ්න නගනු නිසැකය. ඒ මහතා ජාති හිතෛෂියකු වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. රටත් ජාතියත් උදෙසා ඔහු කළ සේවය වටහාගත හැක්කේ ඔහු කියූ දේ සෙවීමට වෙහෙසීමෙන් නොව කළ දේ සෙවීමට වෙහෙසීමෙනි.

ප්‍රවෘත්ති පත්‍ර පැවැත්වීම හැමට වඩා දුෂ්කර ව්‍යාපාරයකි. සාර්ථක වුවහොත් රටක් ජාතියක් ආණ්ඩුවක් සොලවන්නට තරම් ධනයත් බලයත් එයින් ලැබිය හැකිය. ව්‍යර්ථ වුවහොත් ඒ ව්‍යාපාරය “මහා කඳුමුදුනෙන් පෙරළි පෙරළී එන පර්වතයක් සේ ඇරඹු තැනැත්තා තළා මිරිකා හප කරන්නේය” යනු ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය අරබයා ලියන ලද පොතක සඳහන් වන කියුමකි.

දිනමිණ, සිළුමිණ, ඩේලිනිව්ස්, ඔබ්සර්වර්, ඉරිදා ඔබ්සර්වර්, තිනකරන් සහ ඉරිදා තිනකරන් යන පුවත්පත් හතක් විජයවර්ධන මහතා ආරම්භ කෙළේය. ඒ පත්‍ර සකස් කිරීමට වුවමනා ශූර පත්‍ර කලාවේදීන් පරපුරක් පුහුණු කෙළේය. ශූ®ර සංවිධායක මණ්ඩලයක් තැනුවේය. ඒ පත්‍ර පාට කිහිපයකින් විසිතුරු කොට පැයට විසිදාහක වුවද මුද්‍රණය කළ හැකි යන්ත්‍රයන්ගෙන් යුතු මහා මුද්‍රණාලයක් පිහිටුවූයේය. මුදල් ඇත්නම් මේ සියල්ල කළ හැකිය යනු මහා මෝඩ කියුමකි. මේ සියල්ලම මුදල් විනාශ කළ හැකි තැන් යයි කීම නම් වඩා නුවණට හුරු කීමකි. විජයවර්ධන මහතා මහා දුර්ගයක් ජයගත්තෙකු සේ “ලේක්හවුස් මන්දිරය”, “එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම” යන නම්වලින් හැඳින්වෙන ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය යට කියන ලද සියල්ලෙන් පිරිපුන්කොට දෙදරුම් නොකන දැඩි අඩිතලයක් උඩ පිහිටුවා ලීය.

එය එසේ පිහිටුවාලූයේ දැඩි අධිෂ්ඨානයෙන් සිත, කය, අධ්‍යාත්මය යන තුනම ඒ කාරියට කැප කොට වැඩ කිරීමෙනි. විජයවර්ධන මහතා උදය දහයට කාර්යාලයට ගියේය. තම ව්‍යාපාරයෙහි මුදල් හදල් පිළිබඳ පැත්ත ද මුද්‍රණය හා මුද්‍රණය කරන ලද ඒ පත්‍ර මිනිසුන් නින්දෙන් අවදිවන්නට පෙර ඒ ඒ පෙදෙස්වලට යැවීම ආදී කටයුතු පිළිබඳ පැත්ත ද සෙවීය. විවේචනය කෙළේය. අතපසු කරන ලද වැඩ වගකිය යුතු කළමනාකාරයන්ට පෙන්නුවේය. වැඩ වැරැද්දුවන්ට තරවටු කෙළේය. අවවාද කෙළේය. ඇතැම් විට තර්ජන ද කෙළේය.

දුලබ ප්‍රතිභාව

දවල් එක වන තෙක් මොහොතකදු අපතේ නෑර මෙසේ වැඩ කළ විජයවර්ධන මහතා දවල් එකට තම නිවසට ගියේය. අහර ගෙන අනතුරුව ගෙදරදී ද සිතුවේ තමාගේ ප්‍රවෘත්ති පත්‍රවල ඊළඟ දවසෙහි පළවිය යුතු ආරංචි ආදිය ගැනය. යළිත් තුනට තම කාර්යාලයට ගිය විජයවර්ධන මහතා ප්‍රවෘත්ති සකස් කරන මණ්ඩලයෙහි කර්තෘන්, උපකර්තෘන් හා වාර්තාකාරයන් සමග ද සාකච්ඡා කෙළේය. ඔවුන්ට අමතක විය හැකි කරුණු මතක් කෙළේය.

මහජන ප්‍රශ්න අරබයා ඔවුන් නොසළකන ඇතැම් කරුණු පෙන්නා දුන්නේය. වැදගත් ප්‍රවෘත්තියක් කෙටි කොට ද නිසරු පුවතක් දික්කොට ද පළකිරීමෙන් වැරදි කළවුන්ට තරවටු කෙළේය. මහජනයා ආශාවෙන් කියවන පුවතක් කලට වේලාවට පළ නොකරන ලද විට ඊට වගකිවයුත්තා සොයා ඔහුට අවවාද කෙළේය. තරවටු කෙළේය. රෑ වනතුරු මෙසේ වැඩ කිරීම විජයවර්ධන මහතාගේ දින චරියාව විය.

වයස අවුරුදු හැටක් වනතුරු මෙසේ නොනවත්වා වැඩ කිරීමට ඔරොත්තු දෙන සිතකුත් කයකුත් ලැබිය හැක්කේ දුර්ලභ පුරුෂයකුට පමණි. ඔහු ශ්‍රේෂ්ඨයෙකි.

ඩොනමෝර් වාර්තාව එංගලන්තයෙහි පළවූ අවස්ථාවෙහි විජයවර්ධන මහතා ක්‍රියා කළේ සැණකින් තැනට උචිත දේ කිරීමට ලත් දුර්ලභ ප්‍රතිභා ශක්තිය ඇත්තකු ලෙසිනි. එංගලන්තයෙහි පළවන වේලාවටම මෙහිද ඩොනමෝර් වාර්තාව නිකුත් වෙයි. එහෙත් දෙරටෙහි වෙලාවෙහි වෙනස නිසා මෙහි ඒ වාර්තාව පළවෙන්නේ එංගලන්තයෙහි පළවනදාට පසුදාය. එවිට ඒ වාර්තාව මෙහි පළවන්නේ සවස පත්‍රයෙහිය. ඩේලි නිව්ස් පතෙහි පළවන්නේ ඊටත් පසුදා උදේය. මෙය තම පත්‍රයට පරාජයකි. මදිකමකි. විජයවර්ධන මහතා කළයුත්ත සැණකින් දුටුවේය. එවලේම ක්‍රියා කෙළේය. ඩොනමෝර් වාර්තාව පළවූ වහාම එය පිඬුකොට ලංකාවට විදුලි මගින් දන්වන ලෙස විජයවර්ධන මහතා එංගලන්තයේ තම කාර්යාලයට දැන්වූයේය. එංගලන්තයෙන් එවෙන ඒ සම්පිණ්ඩන වාර්තාව විදුලි මගින් මෙහි ලැබෙන්නේ රෑ බෝ වීය. එහෙයින් එය උපකර්තෘන් විසින් සකස් කොට අකුරු අමුණන්නන් විසින් අමුණා, ශුද්ධිපත්‍ර බලා පසුදා උදය පත්‍රයෙන් පළ කළ නොහැකිය. කුමක් කළ යුතුද ? විජයවර්ධන මහතා සැණකින් එය විසඳුවේය. මොටෝ රථ පෙළක් තැපැල් කන්තෝරුව අසලට යැවුයේය. එංගලන්තයෙන් එවෙන දිග විදුලි පුවත කොළයෙන් කොළය ගෙන මේ මොටෝ රථ පත්‍ර කාර්යාලය බලා වේගයෙන් දිවීය. ආපසු ගිය රථය යළිත් එක කොළය බැගින් ගෙනාවේය. උපකර්තෘන් පෙළක් විසින් වහාම කොළයෙන් කොළය සකස්කොට කොළයෙන් කොළයම අකුරු අමුණන්නන් වෙත යැවුයේය. විජයවර්ධන මහතා එළිවන යාමය තෙක් කාර්යාලයෙන් පිට නොවූයේය. පසුදා උදය වරුවේ ඩොනමෝර් වාර්තාව සහිත ඩේලි නිව්ස් පත්‍රය පළවූයේ අප රට දේශපාලනඥයන් හා ආණ්ඩුවද විස්මයට පත් කරමිනි. ලංකා ආණ්ඩුව ඒ වාර්තාව පිට කළේ ඊට පසුවය.

ප්‍රතිපත්ති ගරුකබව

ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රතිපත්ති ගැන අප එකිනෙකා ගේ මතභේද විවිධය. එහෙත් තුන් බසකින් පළවන ප්‍රවෘත්ති පත්‍ර ලංකාව පුරා පතුරුවන්ට පුළුවන් පරිදි තරකොට පිහිටුවන ලද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විජයවර්ධන මහතාගේ ධී ශක්තියත් ශ්‍රේෂ්ඨත්වයත් කියාපාන ස්මාරකයකි.

කිසිම මහජන සේවකයකුට කුහකයකු නොවී රටේ සියලු දෙනාම සතුටු කළ නොහැක්කේය. ප්‍රවෘත්ති පත්‍රයෙන්ද රටට සේවය කළ හැක්කේ දේශපාලන වාදයන්හි එල්බ ගත්තවුන් අතුරෙන් බොහෝ දෙනකුන් අසන්තෝෂ කරමිනි. විජයවර්ධන මහතා කිසිම තනි පුද්ගලයකු හෝ පක්ෂයක් හෝ මහත්කොට නොසැලකුවේය. එහෙයින් තමාගේ විනිශ්චයෙහිත් ප්‍රතිපත්තියෙහිත් දැඩිව පිහිටා හැම දේශපාලනඥයකු, දේශ සේවකයකු විවේචනය කෙළේය. කුහකකමත් කුහකයනුත් ඔහු නොඉවසුවේය.

කාර්යශූරයකු වූ ඒ මහතා උපායෙන් ජයගත යුතු තැන උපාය වහල්කොට ගත්තේය. සෘජු අවංක ගති වහල්කොට ගතයුතු තැන ඒ ගති වහල්කොට ගත්තේය. දයාව, කරුණාව දැක්විය යුතු තැන ඒ දෙක වහල්කාට ගත්තේය. ඒ සියල්ල වහල්කොට ගත්තේ පෞද්ගලික කීර්තියක් පතා නොවේ. තමාගේ නම, ගම පළකරනවා ගනු පිණිසද නොවේ. ඒ සියල්ලම නොතකා ජීවත් වූවකු වශයෙන් විජයවර්ධන මහතා ලක්දිව අනික් සුප්‍රකට මිනිසුන් ඉක්මවූවෙකි.

රුචි අරුචිකම්

විජයවර්ධන මහතා අනුන්ට පමණක් නොව තමාටද නිර්දය ලෙස ක්‍රියා කෙළේ තමා අතට ගත් කාර්යය සාර්ථකකොට එය අගතැන් පමුණුවනු පිණිසය. ඒ මගින් රටටත් ජාතියටත් සේවය කරනු පිණිසය. ඔහුගේ නිර්දයත්වයට අනුන්ටත් වඩා භාජන වූයේ තමාමය. තමාගේ ශක්තිය දෙදරා බිඳ වැටෙන තෙක් නොනවත්වා වැඩ කිරීම තමාගෙන්ම නිර්දය ලෙස වැඩ ගැනීමකි. ඔහු වැඩ කෙළේ අන්තිම බින්දුව දක්වා තමාගේම ශ්‍රම ශක්තිය මිරිකා වැඩට යොදන්නකු ලෙසිනි. එහෙයින් අනුන් ද එසේ වැඩ කරනු දැකීමට ඔහු ආශා කෙළේය. විජයවර්ධන මහතා නිර්දය ස්වාමියෙකියි යන වැරදි හැඟීම ඇතැමකු තුළ ඇතිවූයේ ඒ මහතාගේ මේ නිසර්ග සිද්ධගතිය වටහාගත නොහැකිවීම නිසායයි මම සිතමි.

විජයවර්ධන මහතා දයාව, කරුණාව, අනුකම්පාව යන ආදී උතුම් ගුණ බෙහෙවින් ඇත්තෙක් විය. එහෙත් දහසයකට වැඩි උගත් නූගත් සේවක පිරිසක් හා දවස් පතා ගැටීම නිසා ඒ උතුම් ගුණ කඳ බඳුනෙන් උතුරා පිට නොවීය. ඒ ගුණ අනවරතයෙන් උතුරා පිටවන්නට වී නම් එය ඒසා විශාල වෙළෙඳ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට මහා බාධාවක් වෙයි. එහෙයින් ඒ ගුණ හදින් නැගී මතු වූයේ විටින් විටය. විජයවර්ධන මහතා ගේ ශ්‍රේෂ්ඨ චරිතය දැක්ක යුත්තේ හැඟීමෙන් තොර වූ සියුම් බුද්ධියෙනි. අප එකිනෙකාගේ ගතානුගතික රුචි අරුචිකම නිසා නගින හැඟීම් අනුව ඔහුගේ චරිතයෙහි දුර්ලභ ගුණාංග දැක්ක නොහැකිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්